ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීමේ ක්‍රියාවලියට සහය වීමක් ලෙස මහ බැංකු චක්රලේඛණය අනුව අර්බුදයට ලක්ව ඇති සියලුම ව්‍යාපාරකයින් සඳහා මාස 03 ත් 06 ත් අතර ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට සියලුම බැංකු එකඟතාව පළකර තිබේ.
මෙම සහනය ලබා දීමේදී කිසිදු අමතර ගාස්තුවක් හෝ අමතර පොලියක් එකතු වීමක් සිදු නොවෙයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය සියලුම බැංකුවල ඉහළ නිලධාරීන්, ණය අංශ වල නිලධාරීන්, මහා බැංකුවේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන අංශය සමඟ අද (17) විශේෂ හමුවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුනනෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී උක්ත තීරණයට එළඹ තිබේ.
එමෙන්ම අර්බුදයට ලක්වූ ව්‍යාපාර සඳහා කඩිනම් මූල්‍ය සහාය ලබා දීම සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් සඳහා එකඟතාවයන් ඇති කර ගෙන ඇත.
ඒ අනුව ප්‍රධාන වශයෙන් ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරගැනීම සඳහා අදාළ ව්‍යාපාරකයින් විසින් තම බැංකු ශාඛාවෙන් ඉල්ලිමක් කළ යුතු වෙයි.
මීට අමතරව ගැටලු විසඳීම සඳහා පොදු යාන්ත්‍රණයක් පිළිබඳව ද එකඟතාවකට පැමිණි ඇති අතර මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද අඩු පොලී සහන ණයක් ලබා දීමට ද සියලුම බැංකු එකඟ වී තිබේ.
ඒ පිළිබඳ මාර්ගෝපදේශ මාලාව මහ බැංකුව විසින් නිකුත් කිරීමට නියමිතයි.
මෙම සහන කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා, බැංකු පද්ධතියේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ඇති අර්බුදයට පත් ව්‍යපාරවල දත්ත හුවමාරු කරගැනීමටත් පොදු දත්ත පද්ධතියක් සහ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව එකඟතාවකට පැමිණ තිබේ.
තවද, කර්මාන්ත අමාත්‍යාංශය සහ බැංකු ක්ෂේත්රය සතිපතා මෙම ක්‍රියාවලිය සමාලෝචනය කරනු ඇති.
මෙම අවස්ථාව සඳහා සූම් යෙදවුම හරහා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එක්වූ අතර, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, බැංකු නියෝජනය කරමින් ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, යූනියන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව සහ කාගීල්ස් බැංකුව නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියහ.
