*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

එජාප අලුත් නායකත්ව මණ්ඩලය මෙන්න – පොහොට්ටුව අලුත් වෙයි – ශවේන්ද්‍ර දේශපාලනයට? ඉන්දියාවේ මැතිවරණය ලංකාවට බලපාන හැටි – චන්ද්‍රිකා බරටම වැඩේට බැහැලා – දිලිත් ධම්මික සද්ද නැතිලු

  • එජාප අලුත් නායකත්ව මණ්ඩලය මෙන්න
  • පොහොට්ටුව අලුත් වෙයි
  • ශවේන්ද්‍ර දේශපාලනයට?
  • ඉන්දියාවේ මැතිවරණය ලංකාවට බලපාන හැටි
  • චන්ද්‍රිකා බරටම වැඩේට බැහැලා
  • තනතුරු රැසක වෙනස්වීම්
  • දිලිත් ධම්මික සද්ද නැතිලු

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): රජය අයවැය මෙන්ම වැට් බදු වැඩි කිරීම ද පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නට සමත්වූයේ තම ශක්තිය පෙන්නුම් කරමිනි. පොහොට්ටුවේ මන්ත්‍රීවරු එළිපිට කුමන විවේචන ඉදිරිපත් කළ ද අයවැය සම්මත කරගන්නට කටයුතු කළහ. වැට් වැඩිකරන්නට පෙරම භාණ්ඩ මිල අහස උසට නගිමින් පවතී. දැනට එක වේලකින් සැනසෙන රටේ බහුතර ජනතාවට වැට් බදු වැඩිවීමෙන් පසු කුමක් වේදැයි කිව නොහැක.

මුලින් මහා මැතිවරණය ද – ජනාධිපතිවරණය ද කියා තවමත් හරි හැටි තීරණයක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ජුලි මාසයේ කැඳවා සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බැවින් ඊට පෙර මහා මැතිවරණයක් පවත්වන්නේ නම් තවත් මාස එකහමාරක් තුළ ආණ්ඩුව විසුරුවා හැරිය යුතුය. එසේ විසුරුවා හැරීම තුළ කිසිඳු පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි වනු ඇත. එහෙත් ශක්තිමත් සන්ධාන බිහිකිරීම තුළ මෙහි වෙනසක් බලපොරොත්තු විය හැකිය.

එජාප නායකත්ව මණ්ඩලය පත් කෙර් – සෙසු තනතුරු ගණනාවක් අහෝසියි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය මේ වන විට පත් කර තිබේ. ඒ සමග 2024 ජනවාරි 01 වැනිදා සිට පක්ෂයේ තීරණ හා බලතල මෙම නායකත්ව මණ්ඩලය සතුවේ. එතැන් සිට සෙසු නිලයන් ගණනාවක් අහෝසි කෙරේ.

රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු, නවීන් දිසානායක, වජිර අබේවර්ධන එජාප නායකත්ව මණ්ඩලයට පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නව මහා ලේකම්වරයා ලෙස මැතිවරණ සඳහා තරග නොකරන පූර්ණ කාලීනව පක්ෂ කටයුතු වල නිරත විය හැකි පුද්ගලයකු පත් කෙරේ. එසේ පත් කරන තැනැත්තා සම්බන්ධයෙන ලබන සතිය වන විට තීරණය කිරීමට නියමිතය.

පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය යලි නඟා සිටුවීම සඳහා කිසිඳු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවූ බවට රටපුරා පාක්ෂිකයන්ගෙන් චෝදනා නැගී තිබිණි. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පරිපාලන කටයුතු පවා සිදුව තිබුණේ මන්දගාමීව ය. මේ නිසා සිරිකොත කාර්ය මණ්ඩලයේ චිත්ත ශක්තිය පවා පැවතුනේ පහළ මට්ටමක ය. මේ තත්ත්වයට මුහුණදීම සඳහා නව නායකත්ව මණ්ඩලය වෙත වගකීම් රැසක් පැවරී තිබේ. කවර මැතිවරණයක් පැවැත්වුව ද ඊට මුහුණදීම සඳහා සුදානම්වන ලෙස පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ප්‍රධානීන්ට මේ වන විට දැනුම් දී තිබේ. මේ අතර තරුණ තරුණියන් හා කාන්තාවන් පක්ෂය වෙත ආකර්ෂණය කර ගැනීමට හා පක්ෂ වැඩකටයුතු සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ කර ගැනීමට නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කෙරේ.

එජාප නව සන්ධානය පෙබරවාරි මාසයේ….

මේ අතර එක්සත් ජාතික පක්ෂය හා සෙසු පක්ෂ එක්ව පිහිටුවන නව සන්ධානය ලබන පෙබරවාරි මාසයේ පිහිටුවීමට නියමිතය. ප්‍රධාන පක්ෂ හා කණ්ඩායම් රැසක්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් මේ වන විටත් ඊට එක්වීමට කැමැත්ත පල කර තිබේ. පොහොට්ටුවෙන් වෙන්වුණු නිමල් ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායම මෙහි මුලික වගකීමක් දරන අතර ඔවුන් දැනටමත් රනිල් නැවතවරක් ජනපති කරන සටන ආරම්භ කර තිබේ.

පොහොට්ටු ජාතික සම්මේලනය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනය 15 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් ලෙස විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික සම්මේලනයේ දී පක්ෂයේ උත්තරීතර නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කරගන්නා ලදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමින් මහින්ද රාජපක්ෂ පැවසුවේ බොරුව ජනගත කරන්න උත්සහ කරන කණ්ඩායම හමුවේ තව දුරටත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නැති බවත් සමහරු බලය ගැනීමට කලින්ම සූට් මහගෙන සිටින බවත් ය.

සූට් මහගෙන ඉන්න කවුරුත් රට අමාරුවේ වැටුණු අවස්ථවේදී සූට් ඇදීමට ඉදිරිපත් නොවූ බවත් ණය ගෙවීමට ඉතිරිව තිබීම නිසා දැම්ම ගත්තම තනතුරේ ගොඩක් කල්ඉන්න බැරිවේ යැයි සමහරු වගකීම භාර නොගත් බවත්, එවැනි නායකයන්ට බලය දීමට ජනතාව සූදානම් නොමැති බවත්ය.

රට නිවැරදි මාර්ගයටට ගෙන යෑමට ජනතාවට දේශපාලනයක් අවශ්‍ය වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට අවශ්‍ය ආකාරයේ අලුත් රටක් වෙනුවෙන් නව ගමනක් ආරම්භ කරන බව ද සමහරු මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි දැයි ජනතාව දන්වා බව ද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් කීය.

මීළඟ මැතිවරණයෙන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළේය.

අපේම ආණ්ඩුවක් පිටුවීමට සූදානම් විය යුතු බවද, මෙරට ජනතාව මරණ බියෙන් ගලවාගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණක් බවද පැවසූ ඔහු එඩිතර ආණ්ඩුවක් පත් කර ගැනීමට සියලු දෙනාම ඒකරාශී විය යුතු බවද පැවසීය.

බැසිල් රාජපක්ෂ එහිදී මෙසේ ද කියා සිටියේය.

‘මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා.’

පොහොට්ටුවට නව වෙනසක් – අලුත් නිලධාරී මණ්ඩලයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනය පැවැත්වූ දිනට පසුදා සිය නව නිලධාරී මණ්ඩලය පත් කර ගන්නා ලදී. පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණවලට එළඹ ඇත.

මෙහිදී බැසිල් රාජපක්ෂ විසින් මෙතෙක් දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තබා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යළිත් වරක් මහලේකම් ලෙස පත්කර ඇත.
ඊට අමතරව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබේ.

පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි පත්කිරීමටද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිය දේශපාලන මණ්ඩලයටද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු ද මෙවර නිර්මාණය විය. මෙම තනතුරු සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතිකයකු පසුව තෝරාගැනීමට පක්ෂය අපේක්ෂා කරයි.

ශවේන්ද්‍රට ඉන්දියාවෙන් ඉහළ පිළිගැනීමක් …..මාතලෙන් දේශපාලනයට ?

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙවර ඉන්දියාවේ මිලිටරි ඇකඩමියේ නව නිලධාරීන් විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබීම මෙරට ආරක්ෂක අංශ වල මෙන්ම දේශපාලන අංශවල දැඩි කතාබහට ලක්වුණු සිද්ධියකි. මෙවැනි ආරාධනාවක් ලද පළමු ශ්‍රීලාංකිකයා ශවේන්ද්‍ර ය. ඒ සඳහා ඉන්දියාවට ගිය ශවේන්ද්‍ර හට ඉතාම ඉහළ මට්ටමේ පිළිගැනීමක් පිරිනැමිණි. නවදිල්ලියේ සිට දෙහෙරාදූන් වෙත ඔහු රැගෙන ගියේ ඉන්දියානු ගුවන් හමුදාවේ සුඛෝපභෝගී නවීනතම ජෙට් යානාවකිනි.

මේ අතර ඇතැමුන් පවසන්නේ ඉදිරි මැතිවරණයකදී ශවේන්ද්‍ර මාතලේ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසෙන බව ය. එහෙත් ඔහු කවර පක්ෂයකින් ඉදිරිපත්වේදැයි කිව නොහැක. තවමත් ඔහු සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටින්නෙකි. කෙසේ වෙතත් ඉන්දියාව මේ ආකාරයට ශවේන්ද්‍ර ඔසවා තැබීම ගැන බොහෝ දෙනා කලබල වී සිටිති.

ඩලස්ගේ නිදහසේ කොටසක් සජබයට

ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර,මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්ව තිබේ.

ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා සජිත් ප්‍රේමදාස ගේ සජබය සමඟ එක්ව ඇත.

සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්වීම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් මත දෙකක් දරන අතර,රටේ ඇතිව තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදකාරී තත්ත්වය හමුවේ නිදහස ජනතා සභාව ඉතා ඉක්මනින්ම සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්විය යුතු යැයි එම මන්ත්‍රීවරුන් සිවුදෙනා නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කිහිප දෙනකු සඳහන් කර ඇත්තේ, සමගි ජන බලවේගය සමග එක්වන්නේ නම්,යම් කොන්දේසි මාලාවක් සහ වැඩපිළිවෙලක් සමඟ සන්ධානගත විය යුතු බවත් එසේ නැතිව සමඟි ජන බලවේගය සමග එක්වීමේ තේරුමක් නැති බවත් ය.

නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණන දහතුනකි. ඉතිරි නව දෙනා අතරින් තවත් කීපදෙනෙකු සජබ වෙත එක්වීමට නියමිත බවද පැවසේ.

ජි. එල්. පීරිස් හේතු කියයි

මේ අතර අතිශය භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක සමගි ජන බලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් පවසයි.

මන්ත්‍රීවරයා එසේ පැවැසුයේ ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමාඤ්ඥ මාහා නිකායේ අනු නායක කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකිමට පැමිණි අවස්ථාවේදිය.

රජය යැපෙන්න යන්නෙ ජනතාවගේ බදු මුදලින් බවත් අධික බදු බර නිසා ජනතාවට යැපෙන්න තියා ජිවත් විමත් ගැටලුවක් වෙලා, නැතිබැරි මිනිහගෙන් පුලුවන් තරම් බදු අරගෙන ඇති බවත් තියන ධන කුවේරයන්ට අත තබා නෑ. එය කිසිවිටක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරෝපනය කරන්නට පුලුවන් කමක් නැහැ, සියලුම ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ ඉත්තන් බවට පත්වෙලා. සියල්ල ජනාධිපතිවරයා විසින් පාලනය කරනු ලබනවා. ජනතාවරමකින් පත්වු ජනාධිපතිවරයකුට මේසා බලයක් නොතිබු බවද මහාචාර්යවරයා පැවැසීය.

දයාසිරි සජබයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

දයාසිරි ජයසේකර තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සජිත් ප්‍රේමදාස සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ අතර,ඒ හේතුවෙන් ඔහුට මහලේකම්ධුරය ද අහිමි විය.

චන්ද්‍රිකා බරටම වැඩේට බැහැලා …

කොළඹ ටොරින්ටන්හි පිහිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගේ නිවස මේ වන විට මෙරට දේශපාලනයේ ප්‍රධානතම මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. චන්ද්‍රිකා කවදත් මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයකි. 2015 ආණ්ඩු වෙනෙසෙහි තීරණාත්මක චරිතය වුයේ චන්ද්‍රිකාය. මෙවර නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ඇය මූලිකත්වය ගෙන තිබේ. ඇගේ සහය මෙවර කාහට ලැබේදැයි කිව නොහැක. කෙසේ වෙතත් දැඩි රාජපක්ෂ විරෝධයක සිටින ඇය ගේ සහය බොහෝදුරට රාජපක්ෂ වරුන් නොමැති පාර්ශවයකට හිමිවනු ඇත. පොදු අපේක්ෂකයකු සම්බන්ධයෙන් මේ වන විට ඔවුන් සාකච්ඡා කරමින් සිටින බව පැවසේ. රනිල් සමග මෙන්ම සජිත් සමගද චන්ද්‍රිකා කිට්ටුය. යම් ලෙසකින් තරුණ නායකත්වයක් සම්බන්ධයෙන් සිතනවා නම් විමුක්ති කුමාරණතුංග ද හොඳ විකල්පයකි.

ඉන්දියානු මහා මැතිවරණය හා ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය හා පාලන බලය සම්බන්ධයෙන් ඉන්දියාවේ මැදිහත්වීම කාලාන්තරයක් තිස්සේ පවතින්නකි. ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තීරණාත්මක නිසා ඉන්දීය විරෝධී හෝ චීන හිතවාදී ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන්නට ඉන්දියාව ඉඩ දෙන්නේ නැත. විශේෂයෙන්ම පසුගියදා මාලදිවයිනේ චීන හිතවාදී ආණ්ඩුවක් බලයට පත්වීම ඉන්දියාව සසල කර තිබේ. එම නිසා ශ්‍රී ලංකාව තුළ එවන් තත්ත්වයක් නිර්මාණය වන්නට ඉන්දියාව කිසිසේත් ඉඩ දෙන්නේ නැත.
ඉන්දියානු මහා මැතිවරණය 2024 මාර්තු මාසයේ ආරම්භවී මැයි මාසයේ අවසන් වීමට නියමිතය. පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණ වලදී අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂය ජයගත්තද මහමැතිවරණය වෙනුවෙන් ඉන්දියාවේ විපක්ෂයේ සියලු පක්ෂ එක්ව එරට ප්‍රජාතන්ත්‍රවාදය රක ගැනීම සඳහා සන්ධානයක් පිහිටුවා ගෙන තිබේ. ඒ අනුව විවිධ ආසන සඳහා විපක්ෂයේ සන්ධානය මඟින් එක අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය මහා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ජයගත්තද ඔවුන් ලබා ගෙන තිබුනේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 37කි. සෙසු සියයට 63 ක ප්‍රතිශතය අනෙකුත් පක්ෂ ලබා ගෙන ඇති අතර ඔවුන් වෙන් වෙන්ව තරග කිරීම නිසා භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණයට එය ප්‍රධානතම හේතුව විය. මෙවර විපක්ෂයේ පක්ෂ එක්ව සන්ධානයක් හා නිතරඟ ගිවිසුම් අනුව ඒකාබද්ධ වීම නිසා භාරතීය ජනතා පක්ෂයට මහා මැතිවරණයේදී දැඩි තරගයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන වලින් සියයට අනුවකට වැඩි ප්‍රමාණයක හිමිකාරිත්වය පවතින්නේ මෝඩිට හිතවත් ව්‍යපාරිකයන් අතය. එම නිසා විපක්ෂයට ද මැතිවරණ සටන පහසු කටයුත්තක් නොවේ. කෙසේ වෙතත් ඉන්දියාවේ 2024 මහා මැතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න 2024 මෙරට ජනාධිපතිවරනයට ද තීරණාත්මක වනු ඇත.

ප්‍රබල කැබිනට් සංශෝධනයක් – රජයේ තනතුරු රැසක් වෙනස් කෙරේ

මේ අතර ප්‍රධාන කැබිනට් සංශෝධනයක් ඉදිරි සති හතර තුළ කුමන හෝ අවස්ථාවක සිදුවීමට නියමිත බව පැවසේ. එහි දී ප්‍රධාන ඇමති ධුර ගණනාවක විෂය පථයන් වෙනස්වීමට නියමිතය.මේ නිසා ඇතැම් ඇමතිවරු මේ දිනවල වැඩපෙන්වීමට පටන් ගෙන තිබේ. එසේම රටේ ප්‍රධාන තනතුරු කීපයක් ඉදිරි සති හතර තුළ වෙනස්වීමට නියමිතය.ආරක්ෂක අංශයේ තනතුරු ද ඒ අතර වෙයි.

ධම්මික – දිලිත් සද්ද නැතිලු …

මේ අතර ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර මීළඟ ජනාධිපතිවරණයට තරග කරන බව පැවසුන ද දෙදෙනාගේම මැතිවරණ ව්‍යාපාර සිදුවන්නේ මන්දගාමීව ය. රටේ ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් දෙදෙනාම තවමත් තම වැඩපිලිවෙල ඉදිරිපත් කර නොමැත. ජනතා ප්‍රශ්න වලට විසඳුම් මුල් කරගත් ප්‍රයෝගික වැඩපිළිවෙලකින් තොරව ජනතාව ආකර්ෂණය කර ගත නොහැක. ජනාධිපතිවරණයකට රටම සංවිධාන කළ යුතුය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan