සතුට මැරුණ හැටි කියන්න කවියෙකුට ඕන වෙන්නෙ ඇයි? කවියා සතුටෙන් පරිභාහිරව හිටගෙන ඉන්න නිසාද? නැත්නම් ඇත්තටම ඒක තමන් විතරක් දන්න ‘රහසක්’ නිසාද? 55 පිටුවෙ ‘සතුට’ කවියෙ සතුට ඇරෙන්න අනිත් ඔක්කොම තියෙන එක ගැන මුලින්ම මම පුදුමයට පත් වුණා. මනුස්ස ජීවිතේක සතුට මනින ඒකකය මොකක් වෙන්න පුළුවන්ද කියලා ආයෙමත් කල්පනාවකට වැටෙන්න ඉඩකුත් මේ කවියෙන් හදලා තියෙනවා. කවිය පටන් ගන්නෙ මෙහෙමයි,
“මේ සතුටු මිනිසාගේ මළගම
සතුටින් සිටින සියල්ලෝම මෙහි පැමිණ ඇත
එතකොට නුඹ නොආවේ මන්ද…..”
මං මේ කවිය උපුටන්නේ ප්‍රියලාල් කොග්ගලගේගෙ ‘ශාපලත් සේපියන්’ කවි පොතෙන්. කොග්ගලගේ කොහොමත් කවිය අල්ලන්නෙම වෙනම තැනකින්. ඒක එක්තරා වැහුණු මනෝ ලෝකයක ඉදලා හිටලා ඇරලා දෙන කවුළුවක් වගෙයි. ඔහු හරිම ප්‍රශ්නකාරීයි. පාරිභෝගික සමාජයේ සිද්ධ වෙන බොහෝ දේවල් ඔහු කවි ඇතුළෙ ප්‍රශ්න කරනවා. හැබැයි හැම කවියකම ඔහුගේ ජීවන දර්ශනය හංගනවා. නමුත් කිසිම මොහොතක ඔහුගෙ කල්පනා ලෝකයට කාවවත් ගන්නෑ. හැමෝටම එළියෙ පුටු දාලා තියෙනවා වාඩිවෙලා ඉන්න. ඒක තමයි සීමාව. කොග්ගලගේගෙ කාව්‍යමය වීර චාරිකාව බරත්, සැහැල්ලුවත් එකම කාසියේ දෙපැත්තෙ තියෙන එකක් කියලයි මට හිතෙන්නෙ.
“…කුණාටුවක ඝෝෂාව
අතීතයෙන් ඇහෙනකොට
කෙනෙකුගේ ජීවිතයම ඉවරයි..”
“…අවමංගල්‍ය සභාවෙන් අවසරයි
මං ඔබට රහසක් කියන්නම්
ඇත්තටම මැරුණෙ සතුට විතරයි
සතුටු නැති මිනිහෙක් තවමත්
ඔබ අතර සැරිසරයි”
එහෙමයි කවි පොත ඉවර වෙන්නෙ.
දැන් මේ සතුට නැතිව අපේ අතර සැරිසරන මිනිහව හොයන්න මහන්සි වෙලා පලක් නැති බව මුලින් හිතට ගන්න එක නුවනක්කාරයි. එහෙම සතුට අහිමි වුණ මිනිස්සු දස දහස් ගාණෙන් ඉන්නවා. ඒත් සතුට මැරුණට මිනිස්සු ඉන්නවා. හරියට නිකං රූපාන්තරණය වුණ සොම්බි වගේ. කවියා මේ කියන ‘රහස’ දැනටමත් දන්න අපි ඇයි කලබල නොවෙන්නෙ කියලා කාටහරි හිතෙන්න පුළුවන්. ඒ කියන්නෙ මේ අපෙත් සතුට අහිමි වෙලාද? ඒ කලබලයට පත්වීමවත් අපිට දැන් දැනෙන්නෙ නැතිද?
මං අර කලින් කිව්ව බරත්, සැහැල්ලුවත් එකම කාසියේ දෙපැත්ත වගේ දැනෙන්නෙ කවියාගෙ වචනවලින් දමා ගැහීමේ හැකියාව නිසයි. ඒවා යට ශෝකය, කෝපය, කළකිරීම, වේදනාව සහ දර්ශනයක් තියෙනවා. වචනවලට ඔහු නිතරම තේරුමක් දෙනවා. හිස් වචන පාවිච්චි නොකරන්න ප්‍රවේසම් වෙනවා. මේක වර්තමාන කවියො වැඩිපුර නොකරන දෙයක්. වචනවලට තේරුමක් දෙන්න උත්සාහ නොකර ඒ වචනවල ශබ්දයට හරි අලංකාරයට හරි වසඟ වෙන කවියෝ හිස් වචන ශබ්ද කරනවා. ඒකෙන් කවියට එකතු වෙන්නෙ බොල් හඬක්. කවියට යම් ආත්මයක් තියෙනවා නම් ඒ ආත්මය ඉතාම නිර්ලජ්ජිත විදිහට විනාශ කරලා දානවා. නමුත් කොග්ගලගේ, වචන එක්ක තමන්ට කරන්න පුළුවන් ගනුදෙනුවෙ බරපතළකම ගැන අවදියෙන්, අවබෝධයෙන් ඉන්නෙ. ඒකයි ඔහු කියන දේවල් අපිට කරන තර්ජන හෝ අපෙන් කරන ප්‍රශ්න කිරීම් වගේ සමහර වෙලාවට දැනෙන්නෙ. ඒ යථා සිහියෙන් පසුවීමේ ගුණයට මම ඉතාම කැමතියි.
කවි පොත් අග සිට මුලට කියවන සින්ඩ්‍රෝමයක් මට තියෙනවා. මං මේ පොතත් කියවන්නෙ අග සිට මුලට. අන්න එතකොටයි 54 වැනි පිටුවෙ කවියක අග කොටස මම උපුටන්නෙ. කවිය පටන් ගන්නෙ 53 පිටුවෙන්, මාතෘකාව ‘සිතුවිල්ලක්’.
“….නොමැරී සිටීමේ තරගයෙන්
අදත් අප දිනූ බව ඇත්ත
එනමුත් කොහොම වේවිද
හෙට නැත්නම් අනිද්දා!….”
ඊට පස්සෙ ඔහුගෙ යෝජනාව වෙන්නෙත් සිතුවිල්ලක්.
“ඒත් මට හිතෙනවා
ආදම්ගේ පාලම නම් පෙකෙණි වැල කපලා
ඉන්දියන් සාගරය ඔස්සේ
පාකර හරින්නට
මේ කුඩා දූපත් බිලින්දා”
දූපතේ අපිව ඔහු ශිෂ්ටාචාරගත කරන්න හිතන්නෙ එහෙම. මේ කවියෙ පටන් ගැන්මේ තමයි අවශ්‍ය වෙඩි උණ්ඩ, මෝටාර්, බට්ටො ආදිය තියෙන්නෙ. ඩයිනමයිට් වළලලා ඒ දිගේ එළපු වෙඩි බෙහෙත් නූල තියෙන්නෙ කවියාගෙ අතේ. ගිනිකූර ගහන්න අයිතිය තියෙන්නෙ ඔහුට. ඉතිං ඔහුට පුළුවන් ඕනෑම වෙලාවක ඒකට ගිනි තියන්න.
“උදෑසන පිටත් වූ තැන් පටන්
පාපුවරුවෙන් නොවැටී
පදික මාරුවක හැපී නොමැරී
දාමරික පිහි පහරක – උණ්ඩයක නොගැටී
රජයේ හෝ රජයට සම්බන්ධ අයගේ
උදහසට ලක් නොවී
නිරුපද්‍රිතව නිවස වෙත පැමිණීමේ
කුඩා ජයග්‍රහණයේ ප්‍රීතිය
මං අදත් භුක්ති වින්දා…”
දැන් තේරෙනවා නේද වෙඩි බෙහෙත් නූල එක අතකින් අල්ලගෙනයි ඔහු නින්දට යන්නෙ කියලත්? මේ ජීවන සටන කියන්න ලාලිත්‍යයක් පාවිච්චි කරන්න බැරි බව ආයෙත් කියන්න වුවමණා නෑ. ඉතිං ඔබේ මුහුණට කඩා පැනීම හෝ අනපේක්ෂිත මොහොතක දොරට තට්ටු කරලා තමයි කියන්න වෙන්නෙ. මේ ලෝකය ඔබ ජීවත් වෙන ලෝකයෙන් පිට වෙනත් සමාන්තර ලෝකයක් කියලා හිතන්නත් පුළුවන්. ඒත් ඒ සමාන්තර ලෝකය තමයි මේ මොහොත කියලා සහ අපේ ජීවිතය කියලා දැනෙනකොට ඇතිවෙන තිගැස්ම කොයිතරම්ද කියලා විස්තර කරන්න හරිම අපහසුයි. කවියක මුහුණ අඳුනගන්න පුළුවන් වෙන්නෙ ඒ කවියෙන් ජනනය කරන හැඟීම අපේ ජීවිතය සලිත කරන විදිහෙන් තමයි. කොහොමත් කෙනෙක් කවියක් කියවන්නෙම යම් සලිත වීමක් අපේක්ෂාවෙන්. ඒ අපේක්ෂාව අවිඥාණිකව එක්කගෙන යන චාරිකාව විසින් තමයි ඒ කවියේ සහ කවියාගේ වයස තීරණය කරන්නෙ.
48 පිටුවෙ අමුතු පෙම් කවියක් තියෙනවා. මාතෘකාව ‘දිස්නයක්’
“රැයේ අඳුරෙහි
ඇස් දෙබෑ කර
දිස්නෙ දෙන්නට
මේ තරම්
සිතේ සිරවුණු
ඇගේ මතකෙට
කවුද ගෑවේ රේඩියම්”
ඔහුගෙ පෙම් කවිත් ප්‍රශ්නකාරීයි. ඒ වගේම පුදුම දීප්තියක් සහිතයි. ඇත්තටම ඔහුගෙ ගොඩක් කවිවල ඔහු විසින්ම රේඩියම් ගාලා තමයි තියෙන්නෙ. අඳුරෙත් දිලිහෙන මේ කවි බොහොම ආකර්ශණීයයි. කවියාගේ වදන් කෝෂයේ මෙන්න මේ වගේ අමුතු උපමා රූපක වැඩ තියෙනවා. මතකයකට රේඩියම් ගානවා වගේ යෙදුමක තියෙන දීප්තිය වෙනත් කිසිම සිංහල වචන කීපයක් එකට පුරුද්දලා ගන්න බැරි තරම්. ඒවා එන්නෙ අතිශය වේදනාකාරී මතකයක් දෙබෑ කරගෙන වෙන්න පුළුවන් කියලා මං අනුමාන කරනවා. මොකද මේ කෙටි පෙම් කවියේ තියෙන වේදනාව වෙනත් දීර්ඝ කවි දහයක් එකට තියලාවත් මට දැනිලා නෑ. ඒක ඉතිං පෞද්ගලිකයි. වෙනත් කෙනෙකුගෙ අදහස වෙනස් එකක් වෙන්න පුළුවන්.
41 වැනි පිටුවෙ 25 වැනි කවියෙත් අමුතු වචන දෙකක් එක ළඟ යොදලා අලුත් තේරුමක් හදපු වචනයක් මුණගැහෙනවා. ඒ ‘ප්‍රේම කෝලාහලය’
ඊළඟට මේ කවි පොතෙන් මට හම්බවුණ ආනන්දනීයම දේ තමයි ‘හඳ’ ගැන ඔහුට තියෙන ආරෝව. හැම තැනම හඳ ඉන්නවා, හඳ තියෙනවා. වෙසක් හඳ තමයි ආපස්සට කියවීමෙන් මුලින්ම හම්බ වුණේ.
“වෙසක් සඳ ඇගෙන් මුදු බව උරාගෙන
සුදු රෙදි එළූ අහසේ ඇන තියාගෙන
තව පව් නොදී ඇරපන් ඩෝ තැබෑරුම”
දැන් මේකෙ ලස්සනම වැඩේ වෙසක් සඳ පවා මුදු බව උරාගෙන තියෙන්නෙ ‘ඇගෙන්’ කියනෙක. පෙම් කවියකුත් වෙන, එහෙමත් නොවන මේ කවියේ ශරීරය වෙනස් වෙන්නෙ අන්තිම පදයට එනකොට. ‘තව පව් නොදී ඇරපන් ඩෝ තැබෑරුම’ මේකෙ පොඩි ‘ෆන් ලවින්ග්’ ගතියක් තිබ්බට ඒකෙ යට තියෙන ශෝකය විටින් විට දියෙන් උඩට එනවා. ආයෙ දිය යටට යනවා.
නැවත ඔහුගෙ හඳ එක්ක තියෙන ආරෝව හම්බවෙන්නෙ 26 පිටුවෙන්. කවියෙ මාතෘකාව ‘සටනක්’.
“ඔරායන් ඔය හටන නවතා මේක පොඩ්ඩක් අහගනින්
බලාපන් ඔය දුන්නෙ මලකඩ ඉදා! මේකෙන් පිහගනින්
උඹට වැඩියෙන් දරුණු තරහක් සඳට මා තුළ ඇති බැවින්
මගේ බර අවි පත්තු කෙරුවා – මචං කන් දෙක වගගනින්”
හඳත් එක්ක තරහ වෙන්න කාරණා තියෙනවා නම් තරහා වෙන්න ඕනා. ඒකට බාධාවක් තියෙන්න බැහැනෙ. ඒත් ඔරායන්ගෙ දුන්නෙ මලකඩ. හටන නවත්තලා මලකඩ පිහින්න ගිහින් ඔරායන් පිහි ඇණුම් කාවිද? ඔක්කොමත් හරි ඔරායන්ට මචං කියලත් කියනවා. මේවා හරිම නාටකීයයි. ඒ වගේම බහු අරුත් සම්පාදනය කරනවා.
ඔන්න ආයෙත් 11 වැනි පිටුවෙන් හඳ හම්බවෙනවා. කවියෙ මාතෘකාව ‘දෘෂ්ටියක්’.
“….ඔබ ගගනගාමියෙක් වෙන්න ඇති
චන්ද්‍ර තරණය කරන්නැති
ඒත් මට හඳ තාම කිරි හට්ටියක්”
ඔන්න කවියා හඳට නිග්‍රහ කරනවා. ආරෝව කොයිතරම්ද ඉතිං!
කවියෙ මුලදි ඔහු යම් අදහසක් ගේනවා. ඒක හරිම බයානකයි. මොකද ජීවිතේ සරල තේරුම ජීවත් වෙන එක කියලා හිතන් ඉන්න බහුතර සාමාන්‍ය ජීවිතේ මේකෙන් කණපිට හැරවෙන නිසා.
“ජීවිතේ සරල තේරුම
මැරෙන එක වෙන්න ඇති….”
ජීවිතේ සරල තේරුම මැරෙන එක කිව්වම මේ අපේ පෘතග්ජන ජීවිතවලට හීන් බයක්, සීතලක් ගලාගෙන යනවා තේරෙනවා. මේ තිගැස්ම නතර වෙන සුළු එකක් නෙවෙයි. ඒක මතු වෙමින්, නැති වෙමින්, ආයෙත් ඉපදෙමින් තියෙනවා.
35 වැනි පිටුවෙ ‘හැරී යාමක්’ කවියේ අග හරියෙන් මම කොටසක් උපුටනවා.
“…කාලය කියන්නෙ පැවතීම මනින
සම්මත ඒකකය විය හැක
නොපැවතීමට කාලයක් නැත
එපමණයි මට මතක”
කාලය ගැන මේ කවියෙන් ගේන ප්‍රවාදයට මම කැමතියි. පැවතීම මනින ඒකකය කාලය වෙන්න පුළුවන් වුණත් නොපැවතීමට කාලයක් නෑ කියද්දි ආයෙ රවුමකින් හැරිලා ගිහින් අපිව කල්පනාවට වට්ටනවා.
22 වැනි පිටුවෙ තියෙන ‘යෝධයෙක්’ කවිය ගේන දේශපාලනය අගත, අනගත හැම කාලෙටම ගලපගන්න පුළුවන්කමක් තියෙනවා. ගලිවර්ලා කොයිකාලෙත් ලිලිපුට් වීදිවල ඇවිදිනවා තමයි. ඒ ඇවිදින්නෙත් ඉතා තදබද වෙලාවල් බලලා. දැන් ඔන්න චලන චිත්‍රයක් වැඩ කරනවා.
“…ගලිවර් පයකට
නොපෑහෙන තෙක්
සතුටින්ය
ලිලිපුට් පුරවර…”
ඇත්තනෙ! මෑත කාලීනව ලිලිපුට් පුරවරයේ උන්නු බහුතරය ගලිවර් සමූහයකින් මිදිලා හුස්ම ගන්නවා අපි දැක්කනේ.
“..කාට හරි මතක නම්
උස් හඬින් කියනවද
යෝධයන් බිම හෙළන යන්ත්‍රය
තල්ලු කර පණගන්න නොහැකිද
වීරයන් බිහි කරන යන්ත්‍රය”
කොපමණ මෙවැනි යන්ත්‍ර අපට ඕනෑවෙයිද මේ කිළිටි දූපතේ පිරිසුදු හුස්මක් ගන්න? ඒක තමයි ප්‍රශ්නය. එහෙම යන්ත්‍ර පණ ගැන්විලා යෝධයන් කියල හිතන් හිටපු චෞරයන්ව බිම හෙළුවා මතකයි. ඒත් සමඟම වීරයෝ බිහි කරන යන්ත්‍රයකුත් පණ ගැන්විලා තිබුණා. ඒකෙන් තමයි ගලිවර්වරුන්ව ලිලිපුට්ටන් බවට රූපාන්තරණය කළේ.
21 වැනි පිටුවේ ‘ශබ්දයක්’ කවියෙන් සැබෑ ශබ්දයක් ඇහෙනවා. ඒකෙ තියෙන්නෙ ඇටකටු පොඩි වෙනව වගේ බයංකාර බවක්.
“ශාපයක් බිඳෙනකොට
ශබ්දයක් ඇහෙනවාද නැද්ද?
සේපියන් හිටිය නම්
හරියටම දැනගන්න තිබ්බා”
සේපියන් කොහොමද මේවා දන්නෙ? මෙහෙමයි වැඩේ සේපියන්ගෙ ඉස්සරහට තව වචනයක් එක්කහු වෙලා අර්ථය සහමුලින්ම වෙනස් කරනවා. දැන් මෙතන ඉන්නෙ ශාපලත් සේපියන් කෙනෙක්. එයා දන්නවා ශාපයක් බිඳෙනකොට ශබ්දයක් නඟනවාද, නැතිද කියන්න. ඒත් මිනිහා ක්ෂිතිජ රේඛාව ගලවලා, තොණ්ඩුවක් වගේ නවලා බෙල්ලෙ දාගත්තා. ශාපලත් සේපියන් මැරුණා. ක්ෂිතිජ රේඛාව ගලවපු නිසා දවස දිග වුණා, ගොඩක් අය රැව්වා. ඒත් ශාපයක් බිඳෙනකොට සද්දයක් ඇහෙනවද, නැතිද කියලා දැනගන්න ක්‍රමයක් නෑ. මළ කෙනෙකුගෙන් මොනවා අහලා දැනගන්නද? මේ ජීවිතය ගැන කවියා හෙළන බැල්ම බොහොම බැරෑරුම්. ඔහු හරියට උස් තැනක වාඩිවෙලා ඉදලා පහළ බලාගෙන ඉන්නවා වගෙයි. ඔහු තමන් දන්න ජීවිතෙන් ගැලවිලා ගිහිල්ලා, ඒ ජීවිතේ ඇතුළේ ඉන්න අය දිහාවට හෙළන බැල්ම වෙලාවකට සානුකම්පිතයි, තවත් වෙලාවකට ශෝකීයි, තවත් වෙලාවකට බොහොම දාර්ශනිකයි. කවියා තමන්ගේ ඒ දර්ශනය බටර් වගේ මෘදුව කවි ඇතුළට රිංගවනවා. ඒකෙන් හානියක් වෙලා නැති බවට සාක්ෂි බොහොමයි.
19 වැනි පිටුවෙ ‘දවසක්’ කවියේ හිත කලබන යෙදුමක් හම්බ වෙනවා. ඒ,
“..අලුයමක් කියන්නෙ
දරුණු භීෂණ සමයකි”
කවියාගේ මේ නව යෙදුම් විසින් ජනනය කරන නව තේරුම් කියවන්නාට ප්‍රහර්ෂයක් අරගෙන එනවා. ඔහු බොහෝ වෙලාවට යෝජනා කරන්නෙ පවතින වචනයකට හෝ මොහොතකට අලුත් තේරුමක්. මේ අලුත් තේරුම කෙනකු දීර්ඝ කල්පනාවට වට්ටවන සුළුයි. මම ඒ ක්‍රියාදාමයට කැමතියි.
පවතින මොහොත අතික්‍රමණය කරමින් ඔහු පනින පිම්ම දීර්ඝ, නොවරදින සුළු එකක්.
18 වැනි පිටුවෙන් මුණගැහෙන කවියේ මාතෘකාව ‘නොගැලීමක්’.
“වැඩි සැර මැහි තෙල් ඉහගන්න ඕන හින්දයි
අලුත් ගොවිරාළ පත්කරගත්තේ…”
මේ උත්ප්‍රාසාත්මක ‘අලුත් ගොවිරාළ’ යෙදුම ඇතුළේ උපහාසයකුත් ගැබ් වෙලා තියෙනවා. මෑතකාලීන දේශපාලන මොහොතක් කවිය ඇතුළේ වර නැඟෙන්නේ ඒ දෙකම කලවම් වෙලා. ඔහුගේ කවි බසේ තියෙන පොහොසත්කම අහුවෙන්නෙ මෙන්න මේ වගේ අවස්ථාවලයි. කවිය විසින් ඉල්ලා සිටින පෙනී සිටීමේ අවස්ථාවට කිසිම වෙලාවක කවියා රිංගාගන්න යන්නෙ නෑ. ඔහු නිතරම කවියෙන් එළියේ ඉන්නත්, කවියට තමන්ගේ දර්ශනය පමණක ඇති පමණට කවන්නත් ඉටාගත්ත කෙනෙක්. නමුත් ඔහුට කවියෙන් ගැලවෙන්න පුළුවන් බහුතර අවස්ථා තිබ්බට අතොරක් පෙම් කවිවලදි ඔහුට කවියෙන් එළියට පැනගන්න වෙලාව මදිවෙනවා. මං ඒ දෙවර්ගයටම කැමතියි. ඒක මගේ චපලකමක්ද මන්දා!! ඒත් ඒවා එහෙම තමයි.
පොතේ පළවෙනි කවියෙන් මං මේ සටහන ඉවර කරනවා. කවියෙ මාතෘකාව ‘හෑරීමක්’. මගේ හිත ගත්ත කොටස තියෙන්නෙ කවිය ආරම්භයේමයි. මේකෙ පොඩි නෝක්කාඩුවකුත් තියෙනවා. ඒත් ඊට වැඩියි පසුතැවීම. එතනින් එහාටත් කැණීමක් කළොත් අප්‍රමාණ ශෝකයක්, වේදනාවක්.
“..සුළඟින් අසමි නැවතී හරි ළෙන්ගතුව
“කොහොමද ඇගිල්ලට ගැලපෙනවද මුදුව?”
ඒ සියල්ලමට උඩින් තැබෑරුමකුත් තියෙනවා. යථා සිහියෙන් මේ සිස්ටම් එක ඇතුළේ ජීවත් වීමේ අපහසුව මේ තැබෑරුමෙන් නිතරම වර නැඟෙනවා.
‘ශාපලත් සේපියන්’ කියන්නෙ මේ අවුරුද්දෙ කියවපු කවි පොත් ගොඩෙන් මම ඉතාම ප්‍රිය කරපු කවි පොතක්. මං යෝජනා කරනවා සටහන කියවන අයටත් කියවලා බලන්න කියලා. ශෝකය මුසු යම් එළියක් පේනවා නිසැකයි ….
~ කාංචනා අමිලානි කරුණාමුනි
RN