සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): කාටුන් ශිල්පියෙක්ට හොඳ සමාජ දේශපාලන අවබෝධයක් තිබිය යුතුය.එසේම සමාජයේ නාඩි වැටෙන රිද්මය හොඳින හඳුනා ගැනීමට හැකියාවක් ද තිබිය යුතුය.ඒ අතින් කැමිලස් පෙරේරා ගේ ගජමෑන් පමණක් නොව දොං සේතන් ,සිරිබිරිස් ,ඩොල්පිනා වැනි නිරුමාණය කරන ලද කාටුන් චරිත සියල්ලම ඉතාම සූක්ෂම වූ සමාජ භාවිතාවක පලයන් ලෙස හැදින්වීම නිවැරදිය.
කාටුන් චිත්‍රයක සරල ඉරි කැබලි ටිකෙන් මතු කරගන්නා චරිතයක් හෝ වෙනයම් රූපමය සංකේතයක් වචන දහසකට වඩා ප්‍රබලය.උදාහරණයකට ගජමෑන් ගත් විට ඔහු මේ සමාජ පීඩනයේ ගොදුරුක්ව ඇති පොදු මහ ජනයා නිර්මාණය කරයි.ඔහු එදා සිටම ගජමෑන්ගේ ස්වරුපයෙන් සාමාන්‍ය මිනිසාව නිරූපනය කරන්නට වැඩි අවධානයක් දුන්නේය.ඔහු වරප්‍රසාදලාභි සමාජය නියෝජනය නොකරන ඔවුන්ගේ පීඩනයෙන් තැළුම් කන සහ සමාජ හැසිරීම්වල විකෘතිභාවයේ ගොදුරක් වෙන පිරිසව නියෝජනය කළේය.
කුඩා අවදියේ බොහෝ දෙනෙක්ට චිත්‍ර කතාව තහනම් මාතෘකාවක් සේ සැළකූ යුගයක දරුවන් ගජමෑන්ට ආකර්ශණය වූයේ වැඩිහිටියන්ගෙන් සැඟවීය.එහෙත් ඒ යොමුව නිසා දරුවාට සාමාන්‍ය සමාජ දේශපාලනයට සංවේදීව හැසිරෙන්නට සහ වර්ධනය වන්නට ඉඩ ලැබිණ.ඔහු වෙනස්වන ලෝකයට සංවේදි වන්නට මෙන්ම සමාජයේ සිදුවන දේශපාලන ක්‍රියාකාරකම්වල පීඩනයේ ස්වභාවය සරල ලෙස විඳ ගන්නට අවස්ථාව සකසා ගත්තේය.

කැමිලස් ඒ නිසා විටෙක පරම්පරාවකට සමාජය කියා දුන් ගුරුවරයෙක් ලෙස ද ගත හැකිය.සරලව ගැඹුර දකින මඟ ඉගැන්වීම ඔහුගේ කාටුන් කලාවේ සුවභාවය විය.මතුපිටින් පමණක් ගෙන හිනා වී පසෙකට දමනු විනා කැමිලස් පෙරේරාගේ ගජමෑන් හරියට කියා ගන්නට හැකියාව ලැබිණිනම් මගෝඩිස්තුමාලා අන්දන්න සැරසෙන මොහොතේම මේ රටේ ජනතාවට කියවා ගන්නට හැකියාව ලැබෙනවා ඇත.

ඔහු ඡන්දය රැගෙන යන දේශපාලනඥයා යළිත් ඡන්දය එළැඹෙන තෙක් ගම ගැන උනන්දු නොවන බව සහ ඡන්දයකදී හැසිරෙන ආකාරය ගැන කී කාටුනයක් මේ සටහනට අමුණන්න සිතුවේම කැමිලස්ව හරියට කියවා ගත්තේනම් ඔහු මිය යන්නේ ඔහු කළ සේවය නිසා මීට වඩා උසස් තැනකට පැමිණි රටක බව කියන්නටය.නමුත් කැමිලස්ලා කොතරම් පෙන්වා දුන්න ද,ගජමෑන් හරහා තමන් කෙතරම් දුර්වලද,අසම්පූර්ණ ද යන්න සම්බන්ධයෙන් කියවා ගැනීමට මිනිසුන් අපොහොසත්වීමේ ඛේදවාචකය නිසා කැමිලස් පෙරේරාට නික්ම යන්නට වී තිබෙන්නේ සමාජය හිනැස්සූ කෙනෙක් හැටියට පමණක්ය.සැබවින්ම ඔහු ඇති කළ හිනාවේ ගැඹුරට කිමිද ඒ හිනාවේ උරුමක්කාරයා හැටියට තමන්ව හඳුනා ගන්නට ලැබුණේ නම් මිනිස්සු තමන් විහිළුවක් පමණක් කර නොගෙන සිතනු ඇත.

මේ සියල්ල සළකද්දී ගජමෑන් යනු කැමිලස් පෙරේරා සාමාන්‍ය පුරවැසියාව නියෝජනය කරන්නට යොදා ගත් චරිතය ලෙස අරුත් ගැන්වීම වඩාත් නිවැරදිය.එසේ බලන විට ගජමෑන් නියෝජනය කළේ අපවය.ඔහු අපේ මෑන් විය.අප වෙනුවෙන් බොහෝ දේ සිනාසෙමින් හඳුන්වා දෙන්නට ඔහු මුහුණ දුන්නේය.එහෙත් ඒවා අප බඩ අල්ලාගෙන සිනාසෙන්නට පමණක් යොදා නොගෙන ඒ සිනහවේ වින්දිතයා අප බව තේරුම් ගත්තේනම් මීට වඩා වෙනස් ලෝකයක් තනා ගන්නට ඔහු ඇදි කාටුන් ප්‍රමාණයේ අන්තර්ගතය වුව ප්‍රමාණවත් වන්නට තිබිණ.නමුත් අපව කැමිලස්ට වඩා ඔහු පෙන්වා දුන් අපව අන්දන පිරිසගේ ක්‍රියාවන්වලින් ඇඳ ගත්තේය.
ඒ නිසා ඔහු පෙන්වා දුන් මඟේ සිනාසෙමින් සිටි අප ඔහුට සිනාසෙන්නට දෙයක් හරියටම දුන්නේද කියන සැකය සහිතව නික්ම යන ගමණේදි ඔහු විශ්වාස කළ පරිදි දෙව්මව් තුරුළේ සැතපේවා යන්න අපේ පැතුමය.
