Sunday, December 4, 2022
spot_img

Latest Posts

දිනකට ළමා අපයෝජන 33ක් ! රටක් වශයෙන්ම අප මෙතැනින් කොතැනටද … ? – 1

වයස් සීමාවන් ඇතුව වෙන්කරලා මේ දවස් 333 (මාස 11) ඇතුළේ ලැබුණ, ළමා අපචාර සහ ළමා හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 10,713යි. මේක ඇතුළේ තියෙනවා බරපතළ කාරණා තුනක්. එක මෙයින් 1,632ක් වයස් කාණ්ඩය මොකද්ද ? අවුරුදු 5ට අඩු. අවුරුදු 6 – 10යි අතර 2,626යි. අවුරුදු 5ට අඩු කියන්නේ අපි ‘කිරිසප්පයෝ’ කියලා අපේ ගම්වල කියන්නේ. මේ දෙකේ එකතුව 4,258ක්. ඒ කියන්නේ හරියටම 40%ක් වයස අවුරුදු 10ට අඩු පුංචි දරුවෝ

  • ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම ( 2021.12.17 )

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව අවුරුදු 18ට අඩු පුරවැසියන් දරුවන් ලෙස සැලකේ. ඒ අනුව දරුවකු දෙමව්පියන්ගේ ආදරය, ආරක්ෂාව හා දයාව ලබමින් සමාජයේ රැකවරණයට ලක්විය යුතු අයෙකු ලෙස පිළිගැනේ.

නමුත් අනාගත ලෝකයේ වගකීම දරන්නට සිටින දරුවන් කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්වීමේ ඛේදවාචකය දිනෙන් දිනම ඉහළ නඟිමින් පවතී. දරුවන් කෙරෙහි අනර්ථයක් සිදුවන ඕනෑම ක්‍රියාවක් අපයෝජනයක් ලෙස සලකන අතර මෙහිදී ශාරීරික වශයෙන් සිදුවන අපයෝජනයන් හා ලිංගික අතවර මුල්තැනක් ගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විග්‍රහයට අනුව “සියලුම ආකාරයේ කායිකව හා මානසිකව ළමයාට කරන්නා වූ නොමනා ක්‍රියා, ලිංගික අපයෝජන, නොසලකාහැරීම් හා කෲර ලෙස සැලකීම් හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතුකොටගෙන ළමයාගේ සෞඛ්‍යමය පැවැත්ම, සංවර්ධනය, වගකීම, විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානිකර විය හැකි ක්‍රියාකාරකම්” ළමා අපයෝජන හා ළමා හිංසන වේ.

ලංකාවේ දිනකට වාර්තා වන ළමා අපයෝජන සංඛ්‍යාව 33ක් බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසන අතර ඒ පිළිබඳ මහත් කම්පනයට පත්වන ඔහු කියා සිටින්නේ එයින් සැලකියයුතු පිරිසක් අවුරුදු 05 ට අඩු දරුවන් බවයි. මහජන නියෝජිතයින් වශයෙන් තේරී පත්වී මේ වනවිටත් මහජන මුදලින් නඩත්තු වන අමාත්‍යවරයෙකු මෙසේ කිසිවක් කරකියාගත නොහැකිව ජනතාවට මෙම අපරාධයෙහි වගකීම සහ වගවීම පැවරීම පිළිබඳව අපට ද ඇත්තේ මහත් කළකිරීමකි, කම්පාවකි.

දරුවන් වෙනුවෙන්, දරුවන් අපචාරයෙන්ගෙන් වළක්වා ගැනීමට මෙරට තුළ මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන රාශියකි. ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරයන්ට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිකය 1999 වර්ෂයේදී පිහිටුවා ඇත. එදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ ඔවුන් සිය ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව ඇති බව පැහැදිලිය. පොලිස් පැමිණිලි දිනෙන් දින ඉහළ යෑමට සාපේක්ෂව දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඇති අවදානම් තත්වය තේරුම් ගෙන ඊට අවශ්‍ය ලෙස සිවිල් සමාජය බලගැන්වීම, දැනුවත් කිරීම මෙන්ම හිංසනයට ගොදුරු වූ දර්වන් නිසි පරිදි පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ වගකීම අධිකාරිය නොසලකා හැර ඇත.

අධිකාරියේ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබන නීති අංශය, මනෝ සමාජයීය අංශය, විමර්ශන අංශය මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයත්, මීට අමතරව දිස්ත්‍රික්ක 25 තුළම අනුයුක්ත කර ඇති දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරීන්, දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332 ආවරණය වන පරිදි අනුයුක්ත කර ඇති ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරීන් ආදී අතිවිශාල යාන්ත්‍රණයක් සහිත ළමා ආරක්ෂක අධිකාරිය දිනපතා පැමිණිලි 33ක් වාර්තාවන තත්වයක් තුළත් නිද්‍රාශීලීව සිටීම අතිශයින් අප්‍රසන්නය, පිළිකුල් සහගතය.

මහජන බදු මුදලින් නඩත්තු වන මොවුන් හට නිවැරදි ප්‍රතිපත්තියක්, නීති රාමුවක් හරහා රජයේ වගකිව යුතු නිලධාරීන්ට බලපෑම් කරමින් සිය වගකීම ඉටු කළ නොහැකි නම් මෙම ආයතන තවදුරටත් බදු ගෙවමින් පවත්වාගෙන යන්නේ ඇයිද යන ප්‍රශ්නය සාමාන්‍ය ජනතාව හමුවේ පැණ නැඟේ. දෙමව්පියන්ගේ වටිනාම සම්පත දරුවන් ය. ඒ වටිනාම සම්පත රැකදීමට නොහැකි යාන්ත්‍රණයකින් සංඛ්‍යා දත්ත පමණක් ඉදිරිපත් කිරීම රටක් අපේක්ෂා කරන්නේ නැත.

මෙහි හොඳටම හාස්‍යජනක කරුණ වන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ධුරය පිරිමියෙකු වෙතම පවරා තිබීමයි. එයත් කැබිනට් අමාත්‍ය ධුරයක් නොව රාජ්‍ය අමාත්‍ය ධුරයකි. පාර්ලිමේන්තු මැතිවරණවලදී කාන්තා නියෝජනය වෙනුවෙන් අවධානය යොමුකරන දේශපාලන පක්ෂ සියල්ලම රටට දරන්නට සිදුව ඇති මේ හානිය පිළිබඳ ලැජ්ජාවට පත්විය යුතුය. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කිසිදු කාන්තා නියෝජනයකින් හඬක් අවදි නොවීම ඊටත් වඩා අභාග්‍ය සම්පන්න තත්වයකි. ඔවුන්ගේ දරුවන් සුරක්ෂිත වීම මත ඔවුන් ඇසුරු කරන සමාජ තලයට හා සමාජ වටපිටාවට ගම්වල අන්ත පීඩනයට හා ගොදුරට නිරාවරණය වී ඇති දරුවන් වෙනුවෙන් කිරි එරෙන්නේ නැත.

රටේ නීතිය හා නීතිය ක්‍රියාත්මක කරවීමේ යාන්ත්‍රණය වළපල්ලට ගිය තැනක එහි වන්දිය ගෙවන්නට ගෙවන්නට සිදුව ඇත්තේ කිසිත් නොදත් අහිංසක දරුවන්ටය. විරැකියාව, මන්දපෝෂණය, දරිද්‍රතාවය, උද්ධමනය හා තාක්ෂණ අවභාවිතාව යන සියල්ල රටේ සදාචාර, සංස්කෘතික සීමාවන් අගාධය වෙත ගෙන යමින් ඇත.

මෙතෙක් හිංසනයට, පීඩනයට හා ලිංගික ගොදුරු බවට පත්වූ සියලුම දරුවන් වෙනුවෙන් ඉහත සඳහන් සියලුම දෙනා වගකිව යුතුය. ඉන් ඔවුන්ට මිදිය නොහැක. අවසානයේ මේ වනවිට මේ රට දරුවන් සමග ජීවත් වීමට නුසුදුසු තැනක් බවට පත්ව ඇත. කණගාටුවට කරුණ නම් එම ගැටලු විසඳෙන ඡායාමාත්‍රයක්වත් දක්නට ද නොමැති වීමය.

  • සශිකලා මධුශානි

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.