ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

Date:

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.
ඒ පිරිස එක්ක ජීවිතේ බෙදාගන්න.. දුක සැප බෙදාගන්න අපිට සිද්ධවෙනවා එක්තරා කාලයක් තුලදී. එතන තෝරාගැනීමට ඉඩක් නැහැ ටික කාලයක් යන තෙක්.
සමහරවිට අපිට කදිම මිත්‍රයන් මුනගැහෙන්න පුළුවන් පවුල තුලින්ම.

නමුත් යාළු මිත්‍රයො කියන්නෙ එහෙම නෙවෙයි.
මිත්‍රයො කියන්නෙත් එක්තරා සීමා සහිත කොටසකින් අපිට තේරීමක් කරන්න පුළුවන් පිරිසක්.
එක පන්තියේ එකට හිටියත්.. එකම ගමේ එකම අවුරුද්දෙ ඉපදුනත් ඒ හැම කෙනෙක්ම අපේ මිත්‍රයෙක් වෙන්නෙ නැහැ. දැන හඳුනන කෙනා මිත්‍රයාගෙන් වෙනස්.
මිත්‍රයො විදිහට ඉතුරුවෙන කීප දෙනා එක්ක අපි ඇතිකරගන්නෙ බොහොම තද බැඳීමක්.
මේ බැඳීම වාසි බලාපොරොත්තුවෙන් හෝ සමාජයේ අවශ්‍යතාවය මත ඇතිවෙන එකක් නෙවෙයි.
බොහෝ අවස්තාවල එක විදිහට හිතන.. එකම ආකාරයේ සිතිවිලි ඇති.. එකිනෙකා තේරුම් ගන්න පුළුවන් සගයන් මිත්‍රයො බවට පත්වෙනවා.
විශ්වාසය කියන අවකාශය බොහොම වැදගත්.

ජීවිතේ මුල්ම කාලය වූ ළමා කාලයට මොකද වුනේ.? ඒ ගැන හිතන්නෙ වෙන්නෙ නෑ. ඒකට කාලයක්.. අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.

කාලය ගතවෙනකොට හැමෝටම සිද්ධවෙනවා තමන්ගෙම මාර්ග‍යක් හොයාගෙන යන්න.
එහෙමත් නැත්තං පවුලට .. සමාජයට හෝ සංස්කෘතියට අනුගතවෙන්න.
ඉස්කෝලෙ කාලෙන්.. සමහරවිට විශ්ව විද්‍යාල කාලෙන් පස්සෙ අපි හැමෝටම සිද්ධවෙනවා රැකියාවක් හොයාගන්න.
ඊට පස්සෙ වෘත්තීය වශයෙන් ස්ථිර වෙන්න… ව්‍යාපාරයක් ගොඩ නගන්න.
වයස අවුරුදු විස්ස හා තිහ අතර කාලයේ වේගය විදුලියක් වගේ.

ඒත් එක්කම විවාහයට… එතනින් පස්සෙ දරුවන් වෙනුවෙන් කාලය කැපකරන්න වැඪි දෙනෙක්ට සිද්ධවෙනවා.
සමහරු ගම හෝ නගරය අතෑරලා යනවා. තවත් කෙනෙක් විදේශ ගතවෙනවා.
මේ කාලය හරියට වඩදිය බාදිය ගලන කාලෙ වගේ. හැමදේම වෙනස්වෙනවා බලාගෙන ඉන්න ඉක්මනට.
අම්මා තාත්තා මගෑරෙන කාලයක් එනවා. සහෝදර සහෝදරියො මගෑරෙන කාලයක් එනවා.
මිත්‍රයො මගෑරෙන කාලයක් එනවා. ඒක ඒ විදිහයි.
ඒ විතරක් නෙවෙයි තමන්ට තමන් මගෑරෙන්නෙත් මේ කාලෙදිමයි.
මේක යුධ පිටියක්.. මීටර් සීය දිවීමේ තරඟයක්.. සමහර විට මැරතන් එකක්.

අවුරුදු තිස් ගණන්වල වයස අතුරුදන් වුනේ කොහොමද කියලා හිතෙන කාලයක් එනවා.
ඒ ප්‍රශ්ණාර්ථය.. ඒ සිතිවිල්ල බොහොම බරපතලයි.
වයස අවුරුදු හතලිහට ලංවෙද්දි අපි වැඩි දෙනෙක් කලබල වෙනවා.
මගේ ජීවිතෙන් අඩක් ගෙවිලා ඉවරයි. මේකද මගේ ජීවිතේ..? .. මේකද මම බලාපොරොත්තු වුනේ.?
මට ආපහු පෙරලා යන්න පුළුවන්ද?
මම ජීවත්වෙන්නෙ මම කැමති තැනකද.. මම කැමති පුද්ගලයා එක්කද.. මගේ රැකියාව මම බලාපොරොත්තු වුනු විදිහේ එකක්ද.?
සමහරු අනුගතවෙනවා.. සමහරෙක් හැමදේම නවත්තලා තමන් කැමති ජීවිතේ හොයාගෙන යනවා.

ඉඳහිට ලැබෙන විරාමයකදි.. විවේකයදි බලනවා තමන් එක්ක හිටපු යාළු මිත්‍රයො කොහෙද කියලා.
ඒ අයගෙන් වැඩි දෙනෙක් දුර ගිහින්.
සෑම මිනිසාම තමන්ගේම මාර්ගයක් සොයාගත යුතුයි කියලා කොහෙදෝ ලියලා තිබුනා මතකයි.
තවත් තැනක කියනවා සෑම මනුස්සයෙක්ම තමන්ගේම මාර්ගයක් නිර්මාණය කරගතය යුතුයි කියලා.
ක්‍රියේට් කියන වචනයට නිර්මාණය නැමැති වචනය ආදේශ කරන්න බෑ. හේතුව මාණයක් සහිත නිෂ්පාදනවලටත් අපි ක්‍රියේශන් කියලා කියන නිසා.

කොහොම වුනත් හැරිලා බලද්දි තමන්ට තමන්ගෙ ලඟම මිත්‍රයා හෝ දෙන්නා මගෑරිලා.
උන් දුර ගිහිල්ලා. සමහරෙක්ට දුර කථන ඇමතුමක් දීලා.. පණිවිඩයක් යවලා හොයලා බලන්න පුළුවන් මොකද වුනේ කියලා.
ඒත් මගේ වෙලාව උන්ගේ වෙලාව නෙවෙයි. පොඩි විස්කි වීදුරුවක්.. වයින් වීදුරුවක් අතට එන මොහොතෙ ඒ අය මතක් වෙනවා. ඒත් ඒ වෙලාවට අපේ මිත්‍රයන්ගෙ වෙලාව උදේ පාන්දර තුනයි.. නැත්තං උදේම කාර්‍යාලයේ වැඩ කරන වෙලාව. ඉඳහිට කතා කරත්… එදා වගේ නෙවෙයි .. උන් වැඩි දෙනෙක් වෙනස් වෙලා.
කතා කරොත් කියන්නෙ රැකියාවෙ වගකීම.. ප්‍රමෝශන් එක.. අළුත් වාහනේ.. දරුවන්ගේ අධ්‍යාපනය වගේ දේ ගැන. ඇයි එදා වගේ ජීවිතේ ගැන.. කාලය ගැන.. උපත ගැන කතා නොකරන්නෙ.?
උන් වෙනස් වෙලා.
උන් විතරක් නෙවෙයි උන් ගැන හිතන මමත් වෙනස් වෙලා.
එදා දවසට පෙරලා යන්න බෑ. ගියත් එදා හිටපු උන් අද එතන නෑ.. වෙනස් වෙලා. ගොඩාක් දේවල් වෙනස් වෙලා.

ඒ නිසා ඒ කාලය මතකයක් විදිහට තියන එක වඩා හොඳයි.

ගැටළුව තියෙන්නෙ එතන නෙවෙ‍යි. එදා හිටපු ලඟම මිත්‍රයෙක් ගැන හොයලා බලනකොටයි වැටහෙන්නෙ උන් යන්නම ගිහින් බව. ආයෙ කවදාවත් කතා කරන්න වෙන්නෙ නෑ.
ඒක පිලිගන්න ලේසි නෑ. එකට ජීවිතය බෙදාගත්ත.. එකට කාලය හරහා දුවන්න උත්සාහ කරපු යාළු මිත්‍රයන් යන්න ගිහින්.
ඒක වෙන්නෙ කොහොමද?
නමුත් කාල‍යක් එනවා අපිට ඒක පිලිගන්න සිද්ධවෙන.

මේ හැමදෙයක්ම සිද්ධවෙන වේගය හිතාගන්න බැරි තරම් වේගවත්..
වේගවත් වගේම හිතාගන්න බැරි තරම් දුරස්ථයි.
හරියට ක්‍රියාදාම චිත්‍රපටියක් වගේ.

ජීවිතේ ඒ වගෙයි. සංසන්ධනය කරන්න බැහැ. උපදෙස් දෙන්න අමාරුයි… හැම මොහොතක්ම ග්‍රහණය කරගන්න.. විඳින්න උත්සාහ කරනවා හැරෙන්න.
ජීවිතය යුනික්.. තමන්ගෙ ජීවිතය තව කෙනෙක්ගෙ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම වෙනස්.

අන්තිමේදී ජීවිතේ කියන්නෙ මතක ගොඩක එකතුවක් විතරයි.
මතක කියන්නෙ සිදුවුණු හැමදේම නෙවෙයි.
නමුත් සිදුවුනු දේවල් වලින් අපේ මතකයේ ඉතුරුවුනු දේ විතරයි. එදා හිටපු යාළු මිත්‍රයො කියන්නෙ බාහිර පුද්ගලයන් නෙවෙයි .. තමන්ගේම මතකයෙන් කොටසක් විතරයි.

මතකය කියන්නෙත් මායාවක්. හැමදේම මතකයේ රඳවාගෙන ජීවත්වෙනවා කියන්නෙත් එක්තරා විදිහක මායාවක් වගේම අභියෝගයක්.

~ මැල්කම් සන්ග්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...

සුනාමි ඛේදවාචකයට වසර 21 යි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...