*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (සිවුවන කොටස)

පසුගිය (2021) සැප්තැම්බර් මාසය අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,051.7ක්. ආණ්ඩු මාරුව සිදු වූ 2019 වසර අවසාන වන විට මෙම ණය ප්‍රමාණය වූයේ රුපියල් බිලියන 13,031.5ක් පමණයි. මේ අනුව මාස 21ක කාලයක් තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,020.2කින් ඉහළ ගොස් තිබෙනවා.

ආණ්ඩුව බලයට පත් වී දෙවසරක් ගත වෙන්නටත් පෙර රුපියල් ට්‍රිලියන හතරකින් රාජ්‍ය ණය ඉහළ යාමට හේතුව මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රජය විසින් ආදායම ඉක්මවා විශාල ලෙස වියදම් කිරීම, එසේ නැත්නම් වියදම් අඩු කර නොගෙන ආදායම් අඩු කර ගැනීම, බව පැහැදිලි කරුණක්. එහෙත්, ණය මෙතරම් ඉහළ ගියේ ඒ හේතුව නිසා පමණක්ද?

පරණ ණය ආපසු ගෙවීම සඳහා අලුතෙන් ණය ගත් විට ඒ හේතුව මත ණය ප්‍රමාණය වෙනස් වන්නේ නැහැ. එහෙත් පරණ ණය වල පොලිය ගෙවීම සඳහා අලුතෙන් ණය ලබා ගත් විට ණය ඉහළ යනවා. ඩොලරයේ අගය වෙනස් වීම වැනි හේතු මත දැනට තිබෙන ණය වල වෙළඳපොළ වටිනාකම වෙනස් වූ විටද ණය ප්‍රමාණය වෙනස් වෙනවා. මෙය ණය අඩු වීමක් හෝ වැඩි වීමක් වෙන්න පුළුවන්.

පසුගිය වසර තුළ රජය ආදායම ඉක්මවා රුපියල් බිලියන 687.4ක් වියදම් කළා. පොලී ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 980.3ක් වෙන් කළ යුතු වුනා. ඒ අනුව, අයවැය හිඟය රුපියල් බිලියන 1,667.7ක් වුනා. මීට අමතරව තිබුණු ණය වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 418.0කින් වැඩි වුනා. ඒ අනුව, ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,065.7කින් ඉහළ ගියත් වියදම් කළ හැකි මුදල් සේ රජයට ලැබුණේ එයින් රුපියල් බිලියන 687.4ක් පමණයි.

මේ වසරේ මුල් මාස නවය තුළ තවත් රුපියල් බිලියන 1,954.5කින් රාජ්‍ය ණය ඉහළ ගොස් ඇතත් එයින් රුපියල් බිලියන 606.3ක් වැඩි වී තිබෙන්නේ තිබුණු ණය වලම වටිනාකම වෙනස් වීමෙන්. අයවැය හිඟය රුපියල් බිලියන 1,328.2ක් පමණයි. මේ ප්‍රමාණයෙන් රුපියල් බිලියන 819.5ක් පමණ පොලී වියදම් බව ඇස්තමේන්තු කළ හැකියි. පළමු මාස හත තුළ පමණක් පොලී වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 637.4ක් වැය වී තිබීම සැලකූ විට අගෝස්තු හා සැප්තැම්බර් මාස වලදී අඩු වශයෙන් තවත් රුපියල් බිලියන 182.1ක් පමණ පොලී සේ නොගෙවුවා වෙන්න බැහැ. ඒ අනුව, රජයට ලැබී ඇති වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය වැඩිම වුනොත් රුපියල් බිලියන 508.7ක් පමණ.

මුළු කාලයම සැලකුවොත් රුපියල් ට්‍රිලියන 4 ඉක්මවා රාජ්‍ය ණය ඉහළ යද්දී රජයට වියදම් කළ හැකි සේ අතට ලැබී තිබෙන්නේ එයින් 30% නොඉක්මවන කොටසක් පමණයි. ඒ නිසා, මේ මුළු මුදලම ආයෝජනය කළත් උපරිම වශයෙන් වත්කම් හැදෙන්න පුළුවන් වැඩි වූ ණය වලින් 30% නොඉක්මවන ප්‍රමාණයකින් පමණයි.

රජය ණය ගන්නේ ආයෝජනය කරන්නම නොවන බව අපි දන්නවා. ප්‍රාග්ධන වියදම් රජයේ මුළු වියදම් වලින් 20-30% අතර ප්‍රතිශතයක්. ඒ අනුව, රජයට අයිති වත්කම් ඉහළ ගිහින් තියෙන්නේ ණය ඉහළ ගිය ප්‍රමාණයෙන් 5-10%ක් පමණක් බව කවුරු හෝ කියනවානම් එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඉතිරි 90% හෝ 95% කාගේ හෝ සාක්කුවකට ගිය බවක් හෝ නාස්ති වී ගිය බවක් එයින් අදහස් වන්නේ නැහැ.

මේ ටික පැහැදිලි කළේ කාගෙවත් මඩ හෝදන්න නෙමෙයි. බලයට පත් වෙන්න මොන බොරු කිවුවත්, බලයට පත් වෙන කාට වුනත් ඔය යථාර්තයට මුහුණ දෙන්න සිදු වන බව පැහැදිලි කරන්න. හෙට බලය ගන්න කවුරු හෝ කෙනෙක් ආදායම ඉක්මවා එක සතයක්වත් වියදම් නොකළත්, ලංකාවේ රාජ්‍ය ණය වසරකට රුපියල් ට්‍රිලියන දෙකකින් පමණ වැඩි වෙන එක කෙසේවත් වලක්වන්න බැහැ. ඒ රුපියල් ට්‍රිලියන දෙකෙන් එක සතයක්වත් රජයට වැය කළ හැකි මුදල් නොවන නිසා, ණය වැඩි වූ පමණින් කෙසේවත් අලුතෙන් වත්කම් හැදෙන්නේ නැහැ.

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ආදායම් අඩු කරගෙන වියදම් වැඩි කර ගත්තේ ඔය වගේ තත්ත්වයක් තියෙද්දී. ඊට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව අයවැය තුලනය කරගත්තා. අපි 2017 වර්ෂය ගනිමු. රජයේ ආදායම රුපියල් බිලියන 1,839.6යි. පොලී ගෙවීම් හැර වියදම රුපියල් බිලියන 1,837.5යි. ඒ කියන්නේ රජය රුපියල් බිලියන 2.1ක් ඉතිරි කරලා. සංසන්දනාත්මකව බැලුවොත් සොච්චමක් තමයි. හැබැයි ඒත් කීයක් හරි ඉතිරියක්නේ. පණස් ගණන් වලින් පස්සේ ලංකාවේ ආණ්ඩුවක් කවදාවත් ඔය විදිහට ආදායම් හා වියදම් තුලනය කර ගෙන නැහැ.

දැන් ඔය විදිහට රජයේ ආදායම් හා වියදම් ගලපන්න යහපාලන ආණ්ඩුවට බදු වැඩි කරන්න වුනා. රජයේ වියදම් කපන්න වුනා. ඔය වැඩ වලින් ආර්ථික වර්ධනය අඩාල වෙනවා තමයි. අඩාල වුනාත් තමයි. නමුත් එහෙම නොකර ගිය වේගෙන් වාහනේ එලෙවුවානම් වාහනේ හැප්පිලා දැන් ගොඩක් කල්. රාජ්‍ය මූලනය යම් තරමකින් පාලනය කර ගත් නිසා රට බංකොලොත් වුනේ නැහැ. හැබැයි ආණ්ඩුවට ගෙදර යන්න වුනා.

ඔය තරම් අමාරුවෙන් විශාල කාලයකට පස්සේ අයවැය තුලනය කරගත් 2017 වසරේදීත් රුපියල් බිලියන 904කින් රාජ්‍ය ණය ඉහළ ගියා. මොකද රජයේ වසරේ ආදායම් හා වියදම් තුලනය කරගත්තත් පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්න ණය ගන්න වෙනවා. මේ මුදල රුපියල් බිලියන 735.6ක්. ඉතිරි කරගත් රුපියල් බිලියන 2.1 ඔය වැඩේට ගෑවෙන්නවත් මදි. ඊට අමතරව ඩොලරය ඉහළ යාම ආදී හේතු නිසා තිබුණු ණය ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම ඉහළ යාමෙන්ද ණය ඉහළ ගියා.

රාජ්‍ය ණය අඩු කර ගන්නනම් පළමුව වසරේ ආදායම් වියදම් වලට වඩා වැඩි කර ගත යුතුයි. දෙවනුව, ආදායම් හා වියදම් අතර වෙනස වසර තුළ ගෙවිය යුතු පොලී වියදම් වලට වඩා වැඩි විය යුතුයි. තෙවනුව විණිමය අනුපාතය ඉහළ යාම ආදී වෙනත් හේතු නිසා වැඩි වන ණය ප්‍රමාණය වෙනුවෙන්ද මුදලක් එකතු කර ගත යුතුයි. නුදුරු අනාගතයේදී ඔය සියල්ල කර ණය අඩු කරන එක කිසිවෙකුට නොකළ හැකි දෙයක්. පුළුවන් කෙනෙක් ඉන්නවානම් ගණන් හිලවු සමඟ පෙන්වන්න!

රාජ්‍ය අංශය තුළ සිදුවන දූෂණ, වංචා, නාස්ති වැළැක්විය යුතුයි. එය අවිවාදිත කරුණක්. හැබැයි එහෙම කළා කියලා අයවැය හිඟය අයවැය අතිරික්තයක් කරන්න බැහැ. අයවැය හිඟය අයවැය අතිරික්තයක් කර ගන්නා තුරු වසරින් වසර ණය ඉහළ යනවා. ණය ඉහළ යන විට පොලී වියදම්ද ඉහළ යනවා. අයවැය හිඟය ඉහළ යනවා. ණය තවත් වැඩියෙන් ඉහළ යනවා. ණය වැඩි වීම පාලනය කර ගැනීම කෙසේ වෙතත් ණය වැඩි වන වේගය හෝ පාලනය කරන්නනම් කෙසේ හෝ රජයේ වියදම් කප්පාදු කර ආදායම් වැඩි කර ගන්නම වෙනවා.

පෙර ලිපියේ කතා කළ රාජ්‍ය ව්‍යවසාය වල බරින් නිදහස් වීම මේ සඳහා කළ යුතු එක දෙයක් පමණයි. එය අනිවාර්යයෙන් කළ යුතු දෙයක් වුවත් එය කිරීම ප්‍රමාණවත් නැහැ. තවත් බොහෝ දේ කළ යුතුයි. මේ කිසිවක් දේශපාලනිකව ආකර්ශනීය දේවල් වෙන එකක් නැහැ.

රාජ්‍ය ණය ප්‍රශ්නයට හේතුව නිදහස ලැබූ තැන් පටන්ම දේශපාලනිකව ආකර්ශනීය දේවල් කළ දේශපාලන පක්ෂ බලයට පත් වීමයි. එක පැත්තකින් මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක්. එයින් අදහස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැරැද්දක් කියන එක නෙමෙයි. ඇත්තටම මෙය ප්‍රජාතන්ත්‍රවාදයට හොඳින් ක්‍රියාත්මක විය හැකි පසුබිමක් ලංකාවේ නොතිබීමේ ප්‍රශ්නයක්.

යුරෝපීයයන් පැමිණෙන්නට පෙර ලාංකිකයින් පුරුදුව සිටියේ රජෙකු යටතේ පාලනය වන්නටයි. රාජ්‍ය පාලනය කෙරෙහි සාමාන්‍ය මිනිස්සු මැදිහත් වුනේ නැහැ. යුරෝපීයයන් පැමිණීමෙන් පසුව සිදු වුනේ රජා මාරු වීමක්. ලංකාවේ රජු හෝ රැජින වෙනුවට එංගලන්තයේ රජු හෝ රැජින. බොහෝ ලාංකිකයින්ට ඉංග්‍රීසින් එළවීම හරහා කරගන්න අවශ්‍ය වී තිබුණේ ඉංග්‍රීසි රජා වෙනුවට තමන්ගේම රජෙක් පත් කර ගන්නයි. ඔවුන් බොහෝ දෙනෙක් තවමත් කරන්නේ එයයි. ලංකාව ජනරජයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පමණයි.

අප කොයි තරම් යෝජනා කළත් රජය මත යැපෙන්න බලාගෙන ඉන්න ලංකාවේ ජනතාවට රජයෙන් නිදහස් වෙන්න උවමනාවක් හෝ හැකියාවක් නැහැ. මාක්ස්වාදී සමාජවාදී පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ආණ්ඩුවෙන් පිටත ආණ්ඩුවක් හැදීම පිළිබඳ අදහස ඉදිරිපත් කර තිබුණා. ටික කලකට පෙර පාඨකයෙක් අපෙන් අසා තිබුණු ප්‍රශ්නයක් වුනේද ප්‍රායෝගිකව රජයෙන් නිදහස් වන්නේ කොහොමද කියන එකයි. ඒ අවස්ථාවේදී අප එම ප්‍රශ්නයට සෘජු හෝ විස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මේ ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාව ඇතුළු හැම රටකම වගේ රජය එන්න එන්නම බලවත් වෙනවා. ඒකීය පුද්ගලයෙකුට රජයෙන් ස්වායත්තව ජීවත් වීම එන්න එන්නම වඩ වඩා අසීරු වෙනවා.

වත්මන් ලෝකය තුළ රජය පහසුවෙන් මිනිස් ජීවිත වලට බලපෑම් කරන ප්‍රධානම ක්‍රමය මුදල් පාලනය කිරීමයි. ගනුදෙනු සඳහා රුපියල් භාවිතා කරන තුරු ලාංකිකයෙකුට ලංකාවේ රජයෙන් ගැලවුමක් නැහැ. ගනුදෙනු සඳහා ඩොලර් භාවිතා කරන තුරු ඇමරිකානුවෙකුට ඇමරිකාවේ ෆෙඩරල් රජයෙන් ගැලවුමක් නැහැ. ඇත්තටම ජාත්‍යන්තර ගනුදෙනු කරන වෙනත් රට වලටද ඇමරිකාවේ ෆෙඩරල් රජයෙන් ගැලවුමක් නැහැ. මිනිස් කණ්ඩායමකට රජයෙන් සෑහෙන තරමකින් නිදහස් වී රජය දුර්වල කළ හැකි එක් ක්‍රමයක් වන්නේ ගනුදෙනු අඩු නොකරන අතරම ජාතික මුදල් ඒකකය අත හැරීමයි.

ඇමරිකාවේ හා වෙනත් රටවල අඩු වශයෙන් ක්‍රම තුනකට මෙය සිදු වෙමින් පවතිනවා. බිට්කොයින් ආදී ක්‍රිප්ටෝ-මුදල් ජනප්‍රිය වීම එක පැත්තකින් සිදු වෙනවා. අනෙක් පැත්තෙන් ප්‍රාදේශීය මුදල් ඒකක ජනප්‍රිය වෙමින් තිබෙනවා. තෙවන ක්‍රමය සමාජවාදී ක්‍රමයක් සේ සැලකිය හැකි කාල-බැංකු ක්‍රමයයි.

රජය විසින් කරන්නේ ජනතාව සූරාකෑමක්නම් මෙවැනි ක්‍රමයකින් රජයෙන් නිදහස් වීමේ වාසියක් තිබෙනවා. එහෙත්, ලංකාවේ සිදු වන්නේ එයම නෙමෙයි. බොහෝ දෙනෙකුට රජයෙන් තොර පැවැත්මක් නැහැ. රජය විසින් ආදායම් ඉක්මවා කරන වියදම් රටේ විශාල පිරිසක් අතර බෙදී යනවා. ණය වී තිබෙන්නේ රජය වුවත් ණයට කා තිබෙන්නේ පාලකයින් අතළොස්සක් පමණක් නෙමෙයි. ඒ වගේම, මෙය මෑතකාලීනව සිදු වූ දෙයක්ද නෙමෙයි.

පහත වගුවේ තිබෙන්නේ 2021 සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 17,051.7ට නිදහසින් පසු රට පාලනය කළ එක් එක් ආණ්ඩු දායක වී ඇති ආකාරයයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan