*
Sunday, January 12, 2025
spot_img

Latest Posts

අලුත් නොවන ක්‍රීඩාව පරණ සෙල්ලම් එක්ක 2023 බලා……

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සිඳුවන ආකාරය අලුත් අවුරුද්දට වෙනස් වෙයිද?
යන ආකාරය කුමක්ද?
ක්‍රීඩාව භාර අමාත්‍යවරයාගේ සිට අමාත්‍යංශයේ,සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා දක්වා කන කා තමන්ගේ වැඩේ මුදුන් පමුණුවා ගැනීමට වෙහෙසෙන පුද්ගලයන් සමඟ යාම දැනට තියෙන ක්‍රමය ය.කන කෑම යනු බන්ධනාගාර පරිසරය ඇතුළත කේලාම් කීම සඳහා යොදන වචන මාලාවක්ය.බොහෝ වෙලාවට තමන්ට තමන් සම්බන්ධයෙන්ම අවිශ්වාසයක් තිබීම ලංකාවේ දේශපාලකයා සහ ඉහළ නිලධාරීන් සතු මානසික ගැටළුවක්ය.ඒ නිසාම තමන් සම්බන්ධයෙන් වන සැකය නිසා තමන්ට අනතුරක්,අභියෝගයක් එල්ල කරන සමාජයක් ඔවුන් අපේක්ෂා කරයි.එවැනි වට පිටාවක ස්වාධින මිනිසුන් දුටු විට ඔවුන් බියට පත් වේ.ඒ හරහාම ඒ බිය වැඩි කරන තොරතුරු ඉදිරිපත් කරමින් අවිශ්වාසය පළල් කරන අය විශ්වාසවන්තයෝ වෙති.කන කන්නේ ඒ විශ්වාසවන්තයෝය.
ක්‍රීඩාවක් සඳහා පරිපාලනයට පත්වීමට එකිනෙකට වෙනස් ක්‍රම දෙකකි.එකක් එම ක්‍රීඩාව ආශ්‍රිතව පිහිටුවා,ලියා පදිංචි කර තිබෙන ක්‍රීඩා සමාජ බහුතරයක කැමත්තෙන් බලයට පත්වීමය.දෙක ඒ බලයට පත් වූ පිරිසගේ වරදක් නම් කර ඔවුන් ඉවත් කළ අවස්ථාවක අමාත්‍යවරයාගේ ආශිර්වාදය අනුව අතුරු කමිටුවක බලවත් අයෙක් වීම ය.ඊට අමතරව අමාත්‍යවරයා පනතේ බලය ප්‍රකාරව තමන්ට පැවරෙන බලයෙන් පත් කරන ජාතික ක්‍රීඩා සභාව,ජාතික තේරීම් කමිටුව යනාදියේ තනතුරු දැරීම වේ.
මේ ජාතික ක්‍රීඩා සභාව වේවා,තේරීම් කමිටු වේවා නියෝජනය කරන ස්වාධිනව වගකීමට අවංක වන මිනිසුන් නැතිවාම නොවේය.හැබැයි හිඟය.උදාහරණයකට ඔබ අසළ කෙනා ලෝකයේ හොඳම විලවුන් භාවිතා කර ඇතැයි සිතන්න.ඔහුත් සමඟ ඔබ කුණු ඇලක් ළඟින් ඇවිද යද්දී ඔබට දැනෙන්නේ ඒ සුවඳද?
රොෂාන් රණසිංහ හෝ ක්‍රීඩා අමාත්‍යංශයේ, සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවලට මේ ඇල සුද්ධ කරන්න අවශ්‍යය බව නොපෙනේ.ඇල අසළම ජීවත්වෙන්නෙක් ඊට හුරු වෙනු විනා එම ජීවිතය දමා යන්නේ නැත.සමහර විට දමා යන්න තැනක් නැතිකම ද හේතුවකි.එහෙත් එයට හුරු වී එය සාමාන්‍ය කොට ජීවත්වන්නෝ ද ඇත.ඒ අනුව තැන වෙනස් කරන්නට හයියක් අමාත්‍යවරයාට සහ අමාත්‍යංශ,සංවර්ධන දෙපාර්තමේන්තු බලධාරීන්ට හැකියාව තිබියදී එයම නඩත්තු කරනවාද යන්න සිතා බැලිය යුතුය.
අපි මේ පත් කර ඇති කමිටු ගැන විමසා බලමු.
බොහෝ විට ඔලිම්පික් කමිටුවේ සිට ක්‍රීඩා සමාජ දක්වාම ඊට හිමි ඡන්ද සහිත ක්‍රීඩා සමාජ හෝ ඡන්දහිමි සාමාජිකත්වයේ බහුතර කැමත්තෙන් බලයට එන්නට නොහැකි වූ පිරිස්ය.ක්‍රීඩාව පාලනය කරන්න එම ක්‍රීඩාවේ බහුතර කැමත්ත ඇති පිරිසක් පත් කරගන්නේ ක්‍රීඩාවට කැමත්තෝය.අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් බලය පවරන්නේ එම පිරිස විසින් අනුමත නොකරන ප්‍රති පාර්ශවයකටය.එතකොට ක්‍රීඩාව ඉදිරියට තල්ලු කරන්නට බලයට පත් වූ පිරිස උත්සාහ කරන්නේනම්.එය නොසෙල්වන්නට ගැට ගසා තිබෙන්නේ අමාත්‍යවරයාගේ නියෝජනයය.
දැන් බහුතර කැමත්ත හරිම එකද කියා පැනයක් එන්නේය.විය හැකිය, නොහැකිය.එය සාපේක්ෂය.උදාහරණයකට ආණ්ඩුවම ගත් විට ඉතිහාසයේ වැඩිම කැමත්තක් ඇතිව බලයට ආ ආණ්ඩුවය.දැන් ඒ කැමත්ත ඇත්තටම තිබේද යන්න ගැන මිනිස්සුන්ට සිතා ගන්නට අපහසු නැත.නමුත් ඇතුවා හෝ නැතුවා ආණ්ඩුව පාවිච්චි කරන්නේ බහුතරය දුන් බලය ය.ඒ බලය දුන්නා කියා කැමති දෙයක් කරන්නට ඉඩක් දෙන්න මහ ජනතාව සූදානම් විය යුතු නැත.විරෝධ සහ අරගල එන්නේ එතැනදී ය.
ක්‍රීඩා පරිපාලනවලට ද එසේමය.කැමති විදිහට නටන්නට විනාශ කරන්නට ඉදිරිපත් වේ නම් පාලනය කළ යුතුය.එහිදී පාලනය කරන්නේ කවුද කියන එක ද වැදගත්ය.ඒ බලය ඔවුන්ගේ විරුද්ධවාදියාට දී ඇති විට සිඳුවන්නේ නිරන්තර කකුළෙන් ඇදීමය.එවැනි දේ අමාත්‍යවරයා පත් කළ කමිටු හරහා පත් කර පුද්ගලයන්ගෙන් වෙන බව බහුතරය විශ්වාස කරයි.එසේනම් විශ්වාසයට ගත හැකි වඩාත් ස්වාධින මිනිස්සු පිළිගැනීමට හැකි පරිදි වගකීම්වලට පත් කර නැත.
කුමන හෝ ක්‍රීඩා පරිපාලනයක හෝ ඔලිම්පික් කමිටුවේ නිලධාරියාට එරෙහිව වැඩ කරන්නට පුළුවන් ඉඩක,එම පරිපාලන පුටුවකට තරග වැද පරාජය වූ අයෙක් ගෙනවිත් ඉන්දුව විට කොට්ට පොර ගැටුමකි.අමාත්‍යවරයාට ඇති දේශපාලන සබඳකම් මත,එසේත් නැතිනම් මිත්‍රකම් මත මේ පුටු පිරවීම සිඳුවන්නේ අද ඊයෙක නොවේය.එය අසාර්ථක බව දැන දැනම එම ක්‍රමයම පිනවීම හිරිකිතය.
ලංකාවේ ක්‍රීඩාවේ අධ්‍යාපනය දැන් ඉහළට ඔසවන්නට විවිධ අන්දමේ ක්‍රියාකාරකම් සිඳු කෙරෙමින් ඇත.විශේෂයෙන් විශ්ව විද්‍යාල මට්ටමෙන් ඒ දේවල් විශාල ප්‍රමාණයක් සිඳු වෙයි.ඒ වචනයට අනුවම ගත් විට විශ්විය මට්ටමෙන් ක්‍රීඩාව කළමණාකරනය කරන හැටි එම අංශයන් යාවත්කාලින වීමක් ද සිඳු වෙයි.නමුත් ක්‍රීඩා අමාත්‍යංශයේ එක කමිටුවක එවැනි ඇඳුරෙක් සිටී ද?
නැත යන්න පිළිතුරය.
එසේම ක්‍රීඩාව විෂයක් සේ උගන්වන විශ්ව විද්‍යාලවලද ප්‍රායෝගික ක්‍රීඩාවට ඇති ඉඩ අල්පය.එය පුළුල් කර උපාධියේ වැඩි කොටසක් බවට ප්‍රායෝගිකත්වය ගෙන එන්නේ කෙසේද යන්න සාකච්ඡා කරන්න හැකි මට්ටමක මේ කමිටුවල කී දෙනෙක් සිටියි ද?අඩුම තරමේ මේ තත්ත්වය සාකච්ඡා කරන්න හැකි මට්ටමක උසස් අධ්‍යාපන අමාත්‍යංශය භාර ඇමතිවරයාත් නැත.ඔහු ටයි කෝට් අදින්නේ එය අදින්නට පටන්ගත් දවස මානසිකත්වයේ සිටය.උපාධියකට ලියනවා යන්නට වඩා උපාධියක් කරනවා යන්න තවමත් මේ පොළවේ ප්‍රායෝගික නැත.
රටේ සමස්තය සේ ම ක්‍රීඩාවේදීත් එහි ඉහළ පුටු ප්‍රශස්ත මට්ටමක පාලනයක් ඇති කරන්නට මහනසි වෙනවාට වඩා කුමාර ලීලාවෙන් ප්‍රශස්ති ඇසීමට කැමතිය.ඒ නිසා ඔවුන් වන්දිභට්ටයන්ට වැඩි කැමත්තක් දක්වයි.වන්දිභට්ටයෝ ඒ හරහා පඬුරු පාක්කුඩම් ලබා තමන්ගේ අවශ්‍යයතාවයන් තහවුරු කරන්නට කැමතිය.ඒ නිසා 2023 ට ගමන් කරන්නෙත් අපි ඒ සම්ප්‍රදායන් එක්කය.ඒ අතරේ විය හැකි සංශෝධන හැටියට අපිට හමුවන්නේ අමාත්‍යවරයාට එපා වූ හෝ කවුරුන් විසින් හෝ එපා කරවූ හෝ අමාත්‍යවරයාටත් ඉහළින් ආ බලපෑමකින් එපා කියන්නට බල කරන පිරිසකට දොරටු වැහෙන සේ සංශෝධනය.නැතිනම් කුමන හෝ පුද්ගලයෙක්ට බලය පවරන්නට හැකි ආකාරයට වන සංශෝධනය ය.
මේවා ජාත්‍යන්තර වශයෙන් අභියෝගයට ලක්වෙන්නේ ඒ නිසාය.අලුත් වෙනස්කම් ජාත්‍යන්තරයට ගැලපෙන්නෙ නැහැ කියා අභියෝගයට ලක් වීම මේ වන විටත් ආරම්භ වි අවසන්ය.එසේ ජාත්‍යන්තර එකඟතා නොසළකා හැර ක්‍රීඩා අමාත්‍යංශයේ නීති අංශය මෙය ඉටු කළා ද?නැතිනම් නීති අංශයට උපදෙස් දීමට නීති කේෂ්ත්‍රයේ විශාරදයන් කැඳෙව්වාද ඒ අනුව මේ දේ සිඳු කරාද?ඇත්තටම අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවම මේ දේ සිඳු කළාද?නැතිනම් තවත් පිරිසක් මේ සඳහා පිටතින් ආ නියෝග නිසා යොදා ගන්නට සිදු වුණාද?අමාත්‍යංශ නීති නිලධාරියාට ජාත්‍යන්තර ක්‍රීඩා නිතිය සම්බන්ධයෙන් හදාරන්නට ඔලිම්පික් කමිටුව හරහා ජාත්‍යන්තර සහය සහ පාඨමාලාවක් වැඩ මුළුවක් ලබා දීමට හැකිය.නමුත් ඒවා සිඳු වි නැත.ඊට හේතුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය ජත්‍යෙන්තර ඔලිම්පික් කමිටුවටවත් වලංගු නැති මට්ටමක තිබිය යුතු බව සිතන්නට ක්‍රීඩා අමාත්‍යංශයට එන අමාත්‍යවරුන්ට කණ සැපීමේ සේවය දානය කරන්න බැදී සිටින අය හුරු කරන බැවිනි.
අමාත්‍යවරයා ද අමාත්‍යවරයා නායකත්වය දෙන අමාත්‍යංශයට ද නීතිය එක සමාන ද යන ගැටළුව බැදී පවතින අතර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි කබරගොයා සහ තලගොයාගේ වෙනස සළකන්නට ද එම නීතියට හැකියාවක් ඇත.
උදාහරණයකට සංශෝධනයට ඇතුළත් වෙන මේ වගන්තිය ගැන අවධානය යොමු කරමු.
“කෙසේ වුව ද,කිසියම් නිලධාරියෙකු හෝ කමිටු සාමාජිකයෙකු ක්‍රීඩා පණත හා ඒ යටතේ පත් කරක ලද යම් පිළිගත් කමිටුවක් විසින් පවත්වන ලද විධිමත් පරීක්ෂණයක් මඟින් හෝ අදාළ ජාත්‍යන්තර සංගමය හෝ ඊට අනුබද්ධ ජාත්‍යන්තර සංගමයක් විසින් හෝ විනය හේතු මත හෝ;”
මේ ක්‍රීඩා සංගමයක නිලධාරියෙක් ඉවත් කිරීමට අමාත්‍යවරයාට ඇති හැකියාව සංශෝධනයේ පෙන්නා දෙන ආකාරය ය.
ඊට, අදාළ ජාත්‍යන්තර සංගමය හෝ ඊට අනුබද්ධ ජාත්‍යන්තර සංගමයක් විසින් යන්න ඇතුළත් වන්නේ මේ මොහොතේ රගර් සභාපතිවරයාව තහනම් කරන්නට අමාත්‍යවරයාට ගන්න වූ තීරණය සාධාරණය කරන්නටය.ආසියාව ඊට අනුබද්ධ සංගමයක් යන්න පාදක කරගෙන එම තහනම වලංගු කිරීමේ උත්සාහය හොයා ගන්න ආකාරයෙන්ම පාපන්දු සම්මේලනය තහනම් කිරීමට මීට පෙර නොහැකි වූවේ මේ වගන්තිය එහි නොතිබි නිසා කියා ද කියන්නට පුළුවන්.
දැන් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා තැනක ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දොස් පවරනවනෙ අයිසීසියට දැන්වීමට පෙරදේශීය වශයෙන් කළ යුතු දේ ගැන.ක්‍රීඩා අමාත්‍යවරයා නව පනතෙන් නමුත් අනුබද්ධ සංගමයක් හෝ තහනම් කරානම් තමන්ට තහනම් කරන්න පුළුවන් කියා කියා තිබෙනවා.මේක පරස්පර නැද්ද?එසේම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතය පරිදි පත් කළ හැකි ක්‍රීඩා සභාව,තේරීම් කමිටුව වැනි දේ සඳහා පත්කළ යුතු පුද්ගලයන් කවරාකාරයක් ගත යුතුද කියන ප්‍රශ්නයට මේ සංශෝධනය ඇතුළෙන් පිළිතුරක් දී නැහැ.
ක්‍රීඩා සංගම් හෝ නිලධාරියෙක් තහනම් කරන්න හේතු හදාගන්න අමාත්‍යවරයාගේ කමිටුවක දැනට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සැකකාරියෙක් ඉන්නවා.ඒ කමිටුවේ ඇය නිලධාරියෙක්.මේ කොහේ හරි අනුබද්ධ ක්‍රීඩා සංගමයක තීරණයක් නෙමෙයි.රටේ උත්තරීතර අධිකරණය ඉදිරියේ සැකයට බඳුන් වී සිටින අයෙක්.
දැන් එතකොට සියළුම දෙනා නොවුණත් අමාත්‍යවරයාගේ පත්වීම් ඇතුළෙ ඉන්නෙ කවුද?
අධිකරණයේ සැකයට බඳුන් වි විනිශ්චයට ලක් වී සිටින අය.
යම් යම් අවස්ථාවල විවිධ ක්‍රීඩාවන්හි පරිපාලනයට තරග වැඳ පරාජය වූ අය.
අතුරු කමිටු සේ පත් වූ අවස්ථාවල සමහර අවස්ථාවන් හී ඒ කමිටුවල තිබූ මුදල් මිලයන ගණන් ඉවර කර පැමිණ අය
තනතුරු දරද්දී අධික සේ එම පරිපාලන ව්‍යහුයන් ණය කළ අය
ජාත්‍යන්තර වශයෙන් දඩ ගැසීම් වලට යටත් වූ පරිපාලන තීරණවලට ඉදිරි පෙළේ සිට නායකත්වය දුන් අය
අමාත්‍යවරයාගේ කමිටුවල ඉන්න ඇතැම් අය මෙසේ නොවේද?
එසේනම් ක්‍රීඩා පණතේ තමන්ගේ බලය පරිදි තමන්ගේ අවශ්‍යයතාවයට පත් කරන අය අතරේ පිළිගත හැකි පුද්ගලයන් සිටියිද?වගකීම් දරන අය නිවැරදිම අයද?
ඒ අය මතින් යැපෙන අමාත්‍යවරයා මේ රටේ බිම් මට්ටමේ බලය ලබාගෙන පරිපාලකයන් වන අයව ඉවත් කිරීමට හැකි හේතු නිර්මාණය කරන්නේ තමන්ට අවශ්‍යය පරිදි හොඳ නරක තීරණය කරන්න බලය ඇති බවට පෙන්නමින්ය.එය සමාන නැත.ක්‍රීඩා නීතිය ඉදිරියේ තමන්ගේ බලය සමාන අයුරෙන් බෙදී යන්නේ නැති බවක් මෙයින් හැඟවෙන්නේය.
යම් කිසි අයෙක්ට පණතේ නැති බව කියා වරදට දඬුවම් නොදි සිටිය හැකිද?ක්‍රීඩා පණතේ නොවුණාට එම කරුණු සමඟ අධිකරණයට යා හැකිය.පණත යොදාගෙන අමාත්‍යවරයා එසේ කළ ද රටේ පොදු නීතිය යටතේ කටයුතු කරන පුරවැසියෙක් හැටියට අධිකරණයේ අමාත්‍යවරයාගේ තීරණ අභියෝගයට ලක් කරන්නට ද හැකිය.විශේෂයෙන් රටක නීතිය ඉදිරියේ වරදකරුවෙක් වූ අයෙක්ට සැකයට භාජනය වී සිටින අයෙක්ට තනතුරු දීමට එම රට එකඟ නොවීම සම්බන්ධයෙන් (නීතිය පදනම් කරගෙන) ජාත්‍යන්තර සංගම් ප්‍රශ්න නොකරනු ඇත.නමුත් එය ක්‍රිඩා අමාත්‍යවරයා හෝ අමාත්‍යංශය අවධානය යොමු කර නැත.හේතුව එවැන්නන් ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍යය බව ඔහුගේ බලය පැවරුණු කමිටු දිහා බලද්දී දකින්නට තිබිමය.

ලංකාවේ ක්‍රිඩාවට අදාළ පිරිස් ද ඇතුළත්ව අසු වූ මහා මිත්‍යාවක් ඇත.ඒ අප ඉන්ටර්නැෂනල් නොවී නැෂනල් වුවහොත් මාරය යන්නය.ඒවා ඉතිං පැමිණි පොලිටිකල් මාෆියාව ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය.ඒ ආකාරයෙන් ක්‍රීඩාව දෙස බැලුවහොත් පුළුල්ම අදහස තිබුණ ක්‍රීඩා ඇමතිවරු හැටියට හමුවන්නේ වී.ඒ.සුගතදාස සහ කේ.බී රත්නායකයන් පමණි.රත්නායකයන් ක්‍රිඩා පණත ගෙන ඒමෙන් පසුව එය පුළුල් කරන්නට හැඳූ හැම උත්සාහයක්ම පාහේ වැටෙන්නේ යම් පටු අදහසකින් කරන ලද මැදිහත්වීම් හැටියටය
එළැඹෙන අවුරුද්දේ ක්‍රීඩාව ඉන්ටර්නැෂනල් කිරීමට නම් එයට කිබෙන නැෂනල් ගාය අඩු කර අමාත්‍යංශයේ නීති අංශය ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා නීතිය හැදෑරීමට යොමු කර එය වෙනස් කරන්න.ඇමිතගේ නීතිය නොවන රටේ නීතිය අභිබවා නොයන ජාත්‍යන්තර සළකුණක් වන ක්‍රිඩා නිතියක් ගැන හිතන්න.ඒ නීතියට අමාත්‍යවරයා ද යටත් ක්‍රීඩාවද යටත් නිදහස්,ස්වාධින පෞරශයක් එකතු කරන්න.රොෂාන් රණසිංහ තනතුරෙන් යන දවස කවදා වුවත්,ඒ තත්ත්වය ඇති කරන්නට පසුබට නොවුණහොත් කේ.බී.රත්නායකයන්,සුගතදාසයන් මෙන් මැකි නොයන නමක් තබා යා හැකි වනු ඇත.
ලංකාව තමන්ට අයිති රටක් නොව ලෝකයට අයිති රටක්,එහි පුරවැසියෝ ලෝකයට සාපෙක්ෂව ඉහළ ජීවිත ගත කළ යුතුය කියන දේශපාලන නායකත්වයක් ක්‍රීඩාවටත් අවශ්‍යය වෙනවා.සමස්තය එසේ නොමැති වුවත් ක්‍රීඩාව හෝ එසේ කර හැකිද යන්න සළකා බලන්න පුළුවන්නම් වැදගත්.මොකද මේ වැඩේ තියෙන්නෙ මනුස්ස ශරරි එක්ක.ඒවා දේශපාලන කඹ ඇදිලිවල පටලවා තෙහෙට්ටු කරන්න එපා.උන් පිට්ටනිවල වෙන මහන්සිය ඇති.ඒකට සාධාරණයක් කරන්න.අසාධාරණයක් නොවන මට්ටමේ නීතිමය රාමුවක් තනලා නිදහසේ හුස්ම ගන්න පුළුවන් ක්‍රීඩාවක් හදමු.දැනට පොදුවේ පරිපාලනමය වශයෙන් ඒ ඒ ක්‍රීඩාවට ඇත්තටම හානි කරන පරිපාලන ඒකක,නිලධාරින් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න ඕනි ආකාරය ජාත්‍යන්තරය ඉදිරියේ කතා කරලා දැනගන්නත් පුළුවන්.
පුළුවන්නම් කතා කරලා බලන්න.ඔලිම්පික් කමිටුව හරහා ක්‍රීඩා අමාත්‍යංශයට ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය ගැන හදාරන්න ඉඩක් හදාගන්න බැරිවෙන එකක් නැහැ.රටවල්වල ක්‍රීඩාව තහනම් වුණේ ඇයි?ඒ තහනම් ඉවත් කර ගත්තේ ඇයි යන කාරණාද දැනගැනීම වැදගත් වෙයි.මැදට කරත්තෙ දාලා, දෙපැත්තට හරවලා – දෙපැත්තට ගොන්නු දෙන්නෙක් බැන්දොත් කරත්තෙ යන්න බැහැ.මෑත කාලයේ ඉන්දියාවේ සහ කුවේට් හී ජාත්‍යන්තරව වූ යම් යම් ජාත්‍යන්තර වාරණ සඳහා බල පෑ හේතුන් පවා මේ කාරණාවලදි ප්‍රයෝජනයට වැදගත් වෙයි.ඒ නිසා දෙපැත්තටම ගොන්නු බඳින්නෙ නැතුව ඇදගෙන යන්න බැදපු එකාගෙන් වැඩ ගන්න.තවත් සරලව කිව්වොත් රටේ ක්‍රීඩා නීතියට අනුව පත් වූ නිලධාරීන් එක්ක වැඩ කරගෙන යාමට මුල් තැන දී,ඔවුන්ගේ විරුද්ධවාදීන් උකුලේ තබාගෙන කකුලෙන් ඇදීම නවත්තන්න.
ඉරුණු වැරහැලි කඩමාල්ලක් මිස කිසිවක් වෙනස් කර පමණින් අලුත් වි නැත.ඔබට නෙපෙනෙන තරමටම නොපෙනෙන පැත්ත ඉරී ඇත.ක්‍රීඩා අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයටත් සංවර්ධන දෙපාර්තමේන්තුවටත් කිව හැක්කේ එපමණය.

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan