ධාවන පථයට අමුතුවෙන් සිදු වීමට හානියක් නැත – ක්‍රීඩා අමාත්‍යංශය කියයි

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW:

මෙම සංගීත ප්‍රසංගය දෙසැ 28 දින පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා එළිමහන් ක්‍රීඩාංගනය ලබාදීමට එකඟ වී තිබුණි. දැනට සුගතදාස ක්‍රීඩාංගනයේ පවතින ධාවන පථය ධාවන තරඟ පැවැත්වීමට නොහැකි, නුසුදුසු මට්ටමක පවතින අතර එය කඩා ඉවත්කර නව ධාවන පථයක් නැවත ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම ආරම්භ කර ඇත.

දැනටමත් ධාවන පථය තුළ වලවල් පවතින අතර එය ධාවන තරඟ සඳහා කිසිසේත්ම භාවිතා කරනු නොලැබේ. ධාවන පථය නැවත සකස් කිරීමට බලාපොරොත්තු වන නිසාත්, එය ඉදිකරන කාලය තුළ දී ක්‍රීඩාංගනය ක්‍රීඩා කටයුතු සඳහා පාවිච්චියට නොගන්නා නිසාත් මෙලෙස සංගීත ප්‍රසංගය සඳහා අදාළ ගාස්තුවලට යටත්ව ලබාදීමට පාලන අධිකාරිය එකඟ විය.
සංගීත ප්‍රසංගයේ වගකීම සංවිධායකයින් සතුවන අතර ප්‍රසංගය පැවැත්වූව ද ධාවන පථයට අමුතුවෙන් සිදු වීමට හානියක් නැත. එනම්, අබලන් වූ මෙම ධාවන පථය කඩා ඉවත් කිරීමට නියමිත බැවිනි.

මෙම සිදුවීම ක්‍රීඩාවට සහ ක්‍රීඩාපථයට සිදුවු විශාල හානියක් ලෙස හුවා දක්වමින් ඇතැම් පුද්ගලයින් කරුණු විකෘති කරමින් සිදුකරනු ලබන ප්‍රකාශ සහ ඇතැම් මාධ්‍ය මඟින් සිදු කරන සදාචාර සම්පන්න නොවන සාවද්‍ය පුවත් වාර්තාකරණයන් ද තරයේ හෙළා දකිමු.

අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයේ දක්වා තිබූ කරුණු ඉහත ඡේදයෙන් අවසන්ය.එහි ඇති “දැනටමත් ධාවන පථය තුළ වලවල් පවතින අතර එය ධාවන තරඟ සඳහා කිසිසේත්ම භාවිතා කරනු නොලැබේ.“ යන්න සාවද්‍ය ප්‍රකාශයකි.ආයතනික ව්‍යහුය විසින් නවතා දමා නැති නිසා එහි ක්‍රීඩකයින් නැතත්,ක්‍රීඩකයින් එහි පුහුණුවීම්වලට සහභාගි වෙයි.මලල ක්‍රීඩාව යනු ධාවන ඉසව් පමණක් නොවන අතර එය ජවන හා පිටිය ලෙස කොටස් දෙකකට බෙදෙයි.මේ සමඟ ඇති රූපයේ ඇත්තේ එම පිටිය ඉසව්වකට භාවිතා කරන උපකරණ සමඟ සංගීත සංදර්ශනය වෙනුවෙන් ගනු ලබන උපකරණය.ක්‍රීඩා අමාත්‍යංශය එම උපකරණ සංදර්ශනය වෙනුවෙන් අඩ තියන්නට ලබා දී ඇද්ද?මේ තිබෙන්නේ පුහුණුව සඳහා භාවිතා කළ උපකරණ තිබියදී ම සංදර්ශනයට අදාළ භාණ්ඩ එහි ගෙනවිත් දමා තිබෙන ආකාරයය.
මේ උස පැනීමේ මෙට්ට සංගීත සංදර්ශනය සඳහා ගායකයාගේ උස පැනීමේ නර්තනයකට යොදා ගන්නට ගෙනවිත් ඇද්ද අපි නොදන්නෙමු.එහෙත් මේ අබලන් මෙට්ට සුගතදාස පිටියේ භාවිතා කරන්නේනම් උස පැනිමේ ක්‍රීඩකයන්ය.එසේම මේ පිංතූර හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට එහි ක්‍රිඩකයින් සිටින බව පෙනෙයි.ඒ කල් තියා ආසනයක් බලාපොරොත්තුවෙන් ප්‍රවේශ පත්‍ර ගැනීමට පැමිණ සිටින අය නොවේය.ක්‍රීඩා ඇඳුමෙන් සැරසී පුහුණුවීම්වල යෙදෙන අයය.


ක්‍රීඩාව ගැන හැඟීමක් නැතුව වැඩ කරන දේ පෙන්වා දුන්නාට පසුව රජයේ කිසිවෙකුත් ඊට මැදිහත් නොවී එම ප්‍රකාශ සාවද්‍යය බව දෘශ්‍යමය සාක්ෂි තිබයදීත් නිකුත් කරන අමාත්‍යංශයේ මාධ්‍ය අංශය කරන්නේ ඇමතිගේ හැඩයට ප්‍රවෘත්තිය සකස් කර දීමය.එහෙත් මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ හැසිරීම නිර්ලජ්ජිත සහ විශ්වාස කළ නොහැකි දෙයක් වන්නේ රටේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ඔලිම්පික් ගිය මලල ක්‍රීඩකයෙකුද වන නිසාය.පත් කර ගෙන සිටින ජාතික තේරීම් කමිටු සභාපති ද ජාත්‍යන්තර පදක්කම් දිනූ,සෑම පක්ෂයක්ම පාහේ ඇමතිවරුන්ගේ වගකීම් සැළකිලිි හැටියට ලබන හිටපු ක්‍රීඩිකාවක්ය.ඇය ඔලිම්පික් නියෝජනය කළ පිරිස සහිත ඔලිම්පියන් සංවිධානයේද ප්‍රබල භුමිකාවක් කරන අතර ඇය අමාත්‍යවරුන්ගේ කැමත්තට ලක්වන හැකියාව ක්‍රීඩාව මෙන්ම උපතින්ම දායාද කර ගත් ඇත්තියකි.
වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයා ද රොෂාන් රණසිංහගේ සමයේ පොළොන්නරුවේ පැල සිටුවීම සඳහා ඔලිමිපියන් සංවිධානයේ නාමයෙන් යොදා ගන්නට ඇය දක්ෂ වූ අතර ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනය සහ ඡායාරූප ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකයෙන් මාධ්‍ය වෙත එවා පළ කරන තුරු ඔලිම්පියන්ස්ලා බොහෝ දෙනෙක් අමාත්‍යවරයාගේ සම්බන්ධය දැන සිටියේ නැත.කාට හෝ 76 වසරක සාපයක් ගැන කී කෙනෙකුට රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය ඒ සාපයේ කොටසකින් නිදහස් කර සිය ජාතික තේරීම් කමිටු ප්‍රධානියා ආරක්ෂා කර ගන්නට හැකියි.
එම මාධය නිවේදන සහ ඡායාරූප සහිත ක්‍රිඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඉතිහාසය ඇඳ සොයා ගන්නවාට වඩා ඒ සඳහා සුදුසුම ක්‍රමය රොෂාන් රණසිංහ අමාත්‍යරයාගේ මාධ්‍ය ලේකම් දැනට අග්‍රාමාත්‍යතුමියගේ මාධ්‍ය ඒකකයේ සිටින බැවින් ඇයගෙන් අසා දැන ගැනීමය.එසේත් නැතිනම් අමාත්‍යංශ මාධ්‍ය ඒකකයේ සිටි විශාලතම අත්දැකීම් ඇති තැනත්තා ද, දැනට අග්‍රාමාත්‍යතුමියගේ මාධ්‍ය එ්කකයේම සිටින අතර ඔහු දයාසිරි ජයසේකරගේ සමයේ සිට අග්‍රාමාත්‍යවරිය ක්‍රීඩා අමාත්‍ය දූරය දරන කාලය දක්වා සියළුම කරුණු ගැන අවබෝධයක් සහ දැණුමක් ඇති අයෙකි.
මේ ආකාරයට කටයුතු දිගින් දිගටම සිඳුවන්නේනම් තව කාලයකට පසු මේ මාධ්‍ය ඒකකය වෙතින් යොමු කරන ලිපියක මෙහි සඳහන්ව ඇති ‘ධාවන පථයට අමුතුවෙන් සිදු වීමට හානියක් නැත‘ යන්න සංශෝධනය කර ‘ක්‍රිඩාවට අමුතුවෙන් සිදු වීමට හානියක් නැත‘ යනුවෙන් ද මාධ්‍ය නිවේදනයක් එවීමට හැකියාව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...

දිට්වා අතර මඟ නැවතූ මණ්ඩතිව්, යළි වැඩ අරඹයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

සෝදිසි මෙහෙයුමකදී බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් හමු වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බලකාය...

බංග්ලාදේශයේ පළමු අගමැතිනි Khaleda Zia ජීවන ගමනින් නික්මෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...