එන්න මගේ ප්‍රිය මිතුරෝ ලියූ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා ජීවන ගමනින් බැස යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW): මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

හැත්තෑව දශකය අපගේ කලාවේ වසන්ත සමය යන්න බොහෝ විචාරකයන් ගේ මතයයි. හැත්තෑව දශකයේ චිත්‍රපට, වේදිකා නාට්‍ය, සාහිත්‍යය, විශේෂයෙන් නවකතා, කෙටිකතා, කවිය, ගුවන් විදුලි හා සරල ගීතය ආදී වූ සියලු නිර්මාණ ක්‍ෂේත්‍ර තුළ වූ පිබිදීම, අපි අත්විඳ ඇත්තෙමු.

ධර්මසේන පතිරාජයන්ගේ 1974 දී අහස් ගව්ව නිර්මාණයේ ඉදිරිපත් කළ ගීතය ට සම්බන්ධ රූප රාමුවෙහි දුටු සියල්ලෝ ද මිතුරෝ වෙති. ගීතය ලියූ රචකයා ද, සංගීතවත් කළ සංගීතඥයා ද, ගැයූ ගායකයා ද අතිජාත මිත්‍රයෝ වෙත්. ගීයේ අවසන, මෙසේ ය.

” කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්, එකමුතු වී අපි ඉමු මිතුරෝ, එන්න මගේ පිය මිතුරෝ” යනුවෙනි.

චිත්‍රපටයේ රූපාවලිය තුළ අප දකින මිතුරන් වන්නේ කලන්සූරිය, කොස්තා, බෝගොඩ, බන්දුල, ස්වර්ණා මල්ලවාරච්චි හා සුනිලා ගලප්පත්ති ය. ගේය පද රචකයා මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ය. සංගීතඥයා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ය. අප කවුරුත් දන්නා හඳුනන මාස්ටර් ය. ගයන්නේ විශාරද සනත් නන්දසිරි ය.

ඒ මහතා මියවන විට 80 වැනි වියෙහි පසු වූ අතර, සන්නිවේදනය විෂයට අදාළ මහාචාර්යවරයෙකු වන චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

තවද, ගීත රචකයෙක්, සිනමාව හා රූපවාහිනිය පිළිබඳ හසළ දැනුමක් ඇති අපේ ගුරුවරයෙක්. මේ සියල්ල අතර ඔහු ගත්කතුවරයෙක්. ඔහු ලියූ බොහෝ ග්‍රන්ථවල විශාල ගැඹුරක්, පර්යේෂණාත්මක මට්ටමක් වගේ විදග්ධ ලක්ෂණ ගැබ් වුණා.

නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කතා ආදිය ඇතුළත්ව ඔහු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථ ප්‍රමාණය 54ක් පමණ බව සඳහන් වේ.

එමෙන්ම ශාස්ත්‍රීය ලිපි, පුවත්පත් ලිපි, නාට්‍ය, ගීත සහ වෘතාන්තමය සහ විචාර පිළිබඳ මාධ්‍ය වැඩසටහන් ආදියෙන් නිර්මාණකරණය සඳහා දමහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා විශාල සේවයක් ලබා දී ඇති බව පැවසේ.

මේ ඔහු විසින් ලියූ ඒ සදා නොමැකෙන අපූරු පද වැලයි.

“ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්න පෙර
අරුණලු උදයේ දිලිසෙන පිනි මත
පියමන් කරමින් – අහස් ගව්වටයි ළං වෙන්නේ

හිරු රැස් දැඩි වී හැකිලී ගුලි වී
සැඟවී යාදෝ පිනිකැට මිහි තුළ
පා පෙරැළී ගොස් රැ‍ඳේ ද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ

ඉරහඳ නැති වී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළක් සුසුමක් හදින් ගලනතෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ….”

ඔබට සුබ ගමන් ඇඳුරුතුමණි !!!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...