ඒ එක්දාස් නවසිය
හැත්තෑ ගනං වල දවසක මං
බදුල්ලට යන්න කොටුවෙ ඉස්ටේසමෙන්
නයිට් මේල් එකට නැග්ගා !
සෙනග පිරිලා ඉතිරිලා තැලිලා පොඩිවෙලා
පොල්ගහවෙලට යන්තම් ආවා !
රාත්‍රියේ අඳුර විදගෙන
මහා සද්දෙන් දුම්රිය ඇදුනා.
නවත්තන නවත්තන ඉස්ටේසමෙන්
මිනිස්සු නැග්ගා බැස්සා,
ගම්පොල පහුවෙද්දි
එක පෙට්ටියක දහයක් වත්
නැති තරමට සෙනග අඩු උනා !
කිසිම මනුස්ස පුලුටක් නැති පාලු ඉස්ටේසමක
අඳුර මැදින් ගැහැණියක් මතුවුනා
කලබලෙන් මම හිටපු පෙට්ටියේ
ඉදිරිපස දොරෙන් දුම්රියට ගොඩවුනා
පියකරු මුහුණක් සායම් ගාපු දෙතොලක්
එහෙත් සිනහවක සේයාවක් නොවුනා
දොර ලඟ හිටගෙන ඇගේ ඇස්
මැදිරියෙ සියලුම අසුන් පුරා දිවුනා
මදක් නැවතී හිඳ ඈ ඇවිත්
මගේ අසුනේ වම් පසින් නැවතුනා !
විටෙක මිහිදුම විටෙක බිංගෙවල්
රාත්‍රී අහස පුරා තරු රටා දුම්රියට පාර කිව්වා
ජනේලෙන් එබී ඈත කඳු දිහා බලාගෙන
මම මගේ මනෝරාජික ලෝකයේම උන්නා !
සිහින් ඉකිබිඳුමක් දුම්රියේ හඬ පරදමින්
මගේ අසලින් සෙමෙන් නැගුනා
කුමක්දෝ මුමුණමින් නෙත් කඳුළු වගුරමින්
ඈ හඬන බව මම දුටුවා !
කිසිත් නොකියා මගෙනුත් නොවිමසා
ඇගේ හිස මගේ උරහිසට බරවුනා
සියුම් ඉකිහඩ මහා හැඬුමකට
මොහොතකින් විළාපයකට පෙරළුනා !
ඇයි ඔබ හඬන්නේ ? කා නිසාදැයි තැවෙන්නේ ?
ඔබ කොහේද යන්නේ? කොහේ සිටදැයි එන්නේ ?
ඇගෙන් අහන්නට මට සිත්වුනේ නැතත්
කිසිවක් නොවිමසා කිසිවක් නොකියා
නන්නාඳුනන හඬන්නියකට මගේ උරහිස දුන්නා !
ඇගෙ හැඬුම නොතකා දුම් රිය වේගයෙන් ඇදුනා
ඇල්ල ඉස්ටේසම පහුවෙද්දි ඇගෙ හැඬුම නැවතුනා
කඳුළු පිසදා අසුනෙන් නැගිට මාදෙස බලා හිනැහුනා !
මොහොතකින් ඈ මැදිරියේ දොරකඩ
ඈත බලාගෙන උන්නා
දුම්රියේ කණපාට එලියෙන්
ඇගේ මුහුන පැහැදිළිව පෙනුනා
සැනසුමක සේයාවක් මද සිනහවක්
කුමක්දෝ ප්‍රීතියක් තිබුනා
එහෙත් ඇසිපිය ගසන වේගයෙන්
ඈ ආරුක්කු නමයෙ පාලමෙන් පැන්නා !
~ MKCP ශෂීන්
RN