විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට සර්ව පාක්ෂික යෝජනා ඉදිරිපත් කරන්න: ව්‍යාපාරික ධම්මික පෙරේරාගෙන් ඉල්ලීමක්

Date:

ශ්‍රී ලංකාව තුළ පෙර නොවූ විරූ පරිදි මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ ගැටළු විසඳා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂ වෙතින් විශ්වාසනීය හා ප්‍රායෝගික යෝජනා කැඳවීමට කටයුතු කළ යුතු බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පෙන්වා දෙයි.

එසේ සිදුකළහොත් පවතින විදේශ විනිමය අර්බුදය කල්නොමරා විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි ජනාධිපතිවරයා විසින් පත්කරන ලද සාමාජිකයන් 16 දෙනෙකුගෙන් සැදුම්ලත් ජාතික ආර්ථික කොමිෂන් සභාවේ සාමාජික ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසන්නේ.

ගෝලීය වශයෙනුත්, දේශීය වශයෙනුත් මතුව ඇති බහුවිධ අර්බුද ශ්‍රී ලංකාවේ ජාතික සන්නාමයට හා කීර්ති නාමයට හානි සිදුකර ඇති බවත්, එය රටට අත්‍යාවශ්‍ය සෘජු විදේශ ආයෝජන, ණය, කොටස් ප්‍රාග්ධනය, සංචාරක කර්මාන්තය සහ අපනයන ගැනුම්කරුවන් කෙරේ ප්‍රභල බලපෑමක් ඇතිකර තිබෙන බවත් ධම්මික පෙරේරා මහතා අවධාරණය කරයි.

මේ අනුව ජාත්‍යන්තර ආයෝජකයන්, ණයදෙන්නන්, ගැනුම්කරුවන්, සංචාරකයන් සහ ගෝලීය හා බහුපාර්ශ්වික සංවිධාන කෙරේ විශ්වාසය ගොඩනැඟීම සඳහා වන ප්‍රායෝගික විකල්පයන් කෙරේ අවධානය යොමුකළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

ජාතික සන්නාමය සාක්ෂාත් කර ගනිමින් මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා වසරක කාලයකට යටත්ව ප්‍රායෝගික හා කෙටිකාලීන විසඳුම් හා උපායමාර්ග පැවතීම අත්‍යාවශ්‍ය බැවින් ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ තම යෝජනා ඉදිරිපත් කළ යුතු බව ධම්මික පෙරේරා මහතා පවසා සිටියි.

මේ සඳහා සියලු දේශපාලන පක්ෂ ද්වීපාර්ශවීය චින්තනයකින් යුතුව කටයුතු කළ යුතු බවත්, එසේ කටයුතු කරන්නේ නම් ගිලිහී ගිය විශ්වාසය යළි ගොඩනඟා ගැනීමට හැකිවනු ඇති බවත් ධම්මික පෙරේරා මහතා යෝජනා කර සිටියි.

මෙම යෝජනා ජනාධිපතිවරයා විසින් ලබා ගත යුතු අතර, ඒ සෑම යෝජනාවකම රටේ ආර්ථිකය සඳහා දායක වන නිර්දේශ ඇතුළත්ව තිබිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

ඉදිරිපත් වන සෑම යෝජනාවක්ම ඩොලර් ඉතුරුම් හෝ ඉපැයීම් කෙරෙහි සෘජු බලපෑමක් ඇති කළ යුතු හෝ ඒ දෙකම කෙරෙහි වාර්ෂිකව ඇතිකරන බලපෑම ගණනය කර තිබිය යුතු බව පෙන්වා දෙන ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ මතුව ඇති අර්බුදයේ ස්වභාවය අනුව පක්ෂ දේශපාලන වෙනස්කම් වලින් තොරව මෙසේ කටයුතු කිරීම හරහා ප්‍රජාතන්ත්‍රවාදය ද ආරක්ෂා වන බවයි.

පෙර නොවූ විරූ ලෙස මතුව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙසේ එක්ව කටයුතු කිරීම තුළින් ජාතික අවශ්‍යතාවය සපිරෙන අතර මහජන සහයෝගය ද සහතික කළ හැකි බව ඔහු යෝජනා කර සිටියි. එසේ කටයුතු කිරීම තුළින් ජාතික සන්නාමකරණ උපායමාර්ගයක් ගොඩනැඟෙන බවත්, ශ්‍රී ලංකාව අර්බුද හමුවේ දේශපාලන මතවාදයන් අභිබවා ගිය විසඳුම් ක්‍රියාත්මක කරන්නේ ය යන ප්‍රභල පණිවුඩය ලෝකය හමුවේ තැබීමට හැකි වන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා යෝජනා කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමක් හා මෙවන් ශක්තිමත් හා අවංක සර්ව පාක්ෂික එකඟතාවයක් තුළ පිහිටා ඉදිරි වසරක කාලය තුළ ක්‍රියාකිරීම තුළින් පමණක් මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට හැකිවනු ඇති බව ද ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් යෝජනා කර සිටියි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...

ලෝක ජනමතයට හිස නමා පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු – යතුරු පැදි පෙළපාලියක්! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට සහය දක්වමින් අද (23) සමාජවාදී තරුණ සංගමය...