*
Friday, December 13, 2024
spot_img

Latest Posts

පා.ම.සුසන්ත පුංචි නිලමේ නිදොස්කොට නිදහස් වූ නාලන්ද ඝාතන නඩුව යළි කැඳවාවිද ???

වර්චුවල් රියලටි නැතිනම් වී.ආර්. කියන දේ සමාජගත වෙලා තියෙන වත්මන් පසුබිමකදී දැන් අපිට තියෙන ලොකුම ඇඩික්ෂන් එක ඩ්‍රග්ස්වත්, ඇල්කොහොල්වත්, සෙක්ස්වත් නෙමෙයි. ඒ තමයි ස්ක්‍රීන් ඇඩික්ෂන් කියන එක. වර්චුවල් රියලටි කියන්නෙ සරළවම කියනවා නම් අතථ්‍ය යථාර්ථයක් සමඟ පරිශීලකයාව ත්‍රිමාණ වටාපිටාවක අන්තර්ක්‍රියාකාරීත්වයට ගෙන යන ත්‍රිමාණකරණයකට කියලා කියන්න අපිට පුළුවන්.

ස්මාර්ට් අත් බනු අතර හිර වුණ ජීවිතවල ඇස් ස්ක්‍රීන් ඇඩික්ෂන් එකේ ඇඩික්ට් එකවත් නොදැන ජීවිතය ගත වෙලා යන යුග මොහොතක…අර ඇරිස්ටෝටල් කියන බරසාර දාර්ශනිකයා හැම සාහිත්‍යාංගයකටම සමාන කළ කවිය කියන නිර්මාණාත්මක භාවිතාව මේ වර්චුවල් රියලටි ලෝකය තුළත් ගූගල් එකේ හැටියට මළ භාවිතාවක් විඳියට හඳුන්වලා තිබුණත් අපේ රටේ නම් තාමත් අප්ඩේට් වෙන භාවිතාවක් වෙලා තියෙන එක අපේ මිනිස්සුන්ගෙ කවියට තියෙන ජානමය ඇල්මක් ද කියලත් වෙලාවකට අපිට හිතෙනවා. ඒ වගේම ස්ක්‍රීන් ඇඩික්ෂන් එක නිසා වැඩිපුර සමාජ මාධ්‍යවල කාලය ගත වෙද්දි ගොඩක් අයට කවි ලියවෙනවා. හැබැයි ඒ ගොඩක් අයට කොළයක කවියක් ලියන්න කිව්වොත් ලියන්න බැහැ. අන්න ඒ නිසයි අද වෙනකොට කවි ලිවීම ප්‍රවණතාමය වශයෙන් වැඩි වෙලා තියෙන්නෙ.

සමාජ මාධ්‍යවල එක දිගට ඉහළට පහළට යනකොට කවි රාශියක් පරිශීලකයෙක්ට කියවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් ඒ වර්චුවල් ලෝකය ඇතුළෙ අක්ෂර එකතු කරලා කවි ලිව්වට හැම කෙනාටම කවියෙක් වෙන්න බැහැ. නමුත් ඒ අයට ප්‍රකාශනයේ නිදහස ඇති පදම් භුක්ති විඳින්න පුළුවන්. හැබැයි වල් බූරු විඳියට නම් නෙමෙයි.

දැන් ලියවෙන්නෙ කවි වුණාට ඇරිස්ටෝටල් කියන විඳියට මුලින්ම ලියවිලා තියෙන්න වීර කාව්‍යයනෙ. නමුත් දැන් වීර කාව්‍ය නම් ලියවෙන්නෙම නෑ කියලා කියන්න පුළුවන්. කොහොම නමුත් අපි මේ ප්‍රවේශය ලබා ගත්තෙ කවි ගැන වගේම මෑත කාලයේදී අපේ හදවතට සහ මනසට යන දෙකටම සංයුක්තව ඇලිච්ච කෘතියක් ගැන කතා කරන්නයි.

කොටින්ම කියනවා නම් මෑතකදී පළ වූ ‘ප්‍රසාද් වීරසේකරගෙ’ ’මලවි හී සර මොටයි ’ කවි එකතුව කතා කරන්නෙ නැතුව අහක දාන්න බැරි මට්ටමක තියෙන පොතක් බව අපට දැනුන නිසා ඒ පිළිබඳව යම් සටහනක් ඉතිහාසට එකතු කරන එක නිර්මාණකරණයන් පිළිබඳව කියවීම් ලිපි ලියන අපේ යුතුකමක් සහ වගකීමක් කියලා අපිට දැනුන. එ නිසා ඒ පිළිබඳව ලියන්න අපි තීරණය කළා.

ඒ එක්කම මේකට අදාළම නැති නමුත් ටිකක් ඕප දූප රහට කැමති පාඨකයටත් පුංචි දෙයක් මේකෙන්ම කියලා දැම්මොත් හොඳයි කියලා අපි හිතනවා. සාමාන්‍යයෙන් අපේ රටේ නිර්මාණාත්මක ලේඛනයේ යෙදෙන අයගෙන් සීයට අනූවක් විතරම පුද්ගලිකව අපි අඳුනනවා. නමුත් මේ වෙනතුරු මගේ ඇඟිලිවලින් යාළුකමට හිතවත්කමට කාගෙවත් කෘතියක් ගැන ලියවිලා නෑ.

ප්‍රසාද් මට මුළින්ම මුහුණට මුහුණ මුණ ගැහෙන්නෙත් මේ කෘතිය හරහාමයි. මේ සම්බන්ධයෙන් පොඩි සඳහනක් දැම්මෙ විචාර පොත් කියලා එක එක්කෙනාගෙ අර්ථකථන පරිවර්තනය කරලා දාලා සමහර ප්‍රකාශකයන් ගැන අදාළම නැති විඳියට සඳහන් කරලා ඒ අයවත් මාර්කට් කරලා නොදැනීම කල්ලිවාද හදාගෙන තියෙන සාහිත්‍යය කල්ලි හින්දයි. අපි හැමදාමත් යමක් ලිව්වා නම් ලිව්වෙ නිර්මාණයට අවංකව මිසක හිතවත්කමට අවංකව නෙමෙයි.

මෑතකදි ඒ ගැන හොඳම උදාහරණයක් කියනවා නම් ‘පියැසි කවුළුව’ පොතට අපි ලියපු කියවීම නම් කරන්න පුළුවන්. ඒක පරිවර්තනය කරපු ‘සුභාෂිණී’ අපිව පුද්ගලිකව දැන හඳුනන මිතුරියක් වුණත් ඇය මට ලිපියක් ලියන්න කියලා පොතේ කොපියක්වත් එව්වෙ නෑ. කොටින්ම කියනවා නම් ඒ ලිපිය අපේ වෙබ් අඩවියේ පළ වුණාට පස්සෙයි සුභා ඒක දකින්නෙත්.

ඒ වගේම එක පාරක් අනුරසිරි හෙට්ටිගේ මහතාගේ නවකතාවක පසුගාමී ලක්ෂණ ගැන අපි ‘ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබ් අඩවියට ලිපියක් ලිව්වා. නමුත් අනුරසිරි කියන්නෙ අපි පුද්ගලිකව හඳුනන ගරු කරන හොඳ මිතුරෙක්. නමුත් වැඩේට අවංක අයට මිතුරුකම් අදාළ නෑ කියලා අපි ඉතාම තදින් විස්වාස කරනවා. අවංකවම මේ හෑල්ල අදාළම නෑ තමයි. නමුත් ඉතිං ඇකඩමික් කියන මහාචාර්ය පොරවල් ලියන පොත් වලත් ඔය වගේ කුණු කන්දල් හෑලි අඩංගු වෙන එකේ මේ ලිපියට මේක වැඩියක් නෑ කියලා හිතනවා.

හරි දැන් එහෙනම් මේ පට්ටාන්දරේ පැත්තකින් තියලා අපි කෙළින්ම බහිමු කාරණාවට. ඒ කියන්නෙ ‘මලවි හී සර මොටයි’ කියන කවි පොත ගැන කතා බහට.

අපේ ලාංකීය සමාජය ඉතා ඈත අතීතයේ ඉඳළම කවියෙන් ගොඩ නැගුණු සමාජයක් කියලා කියන එක ඇත්තටම වැරදි කාරණාවක් නෙමෙයි. මොකද සෑම වැදගත් පණිවිඩයක්ම අතීතයේ ඉඳලම අපේ රටේ මිනිස්සු සන්නිවේදනය කළේ කවියෙන්. මේ ලිපිය කතා කරන භාෂාවෙන් ලියන්න ඕන කියන හැඟීම අප තුළ ඇති කරන්නත් ඒ අදහස බලපෑවා.

නමුත් දැන් වර්චුවල් රියලටි කියන එක ඇතුළෙ ජීවත් වෙන ස්ක්‍රීන් ඇතුළෙ හිර වෙලා ඉද්දිත් මිනිස්සු වැඩිපුරම භාවිතා කරන සන්නිවේදන මාධ්‍යය වෙලා තියෙන්නෙ කවි. අද වෙනකොට කවි පොත් තමයි වසරකට පිටවෙන වැඩිම පොත් සංඛ්‍යාව වෙන්නෙ. නමුත් ඒ හැම කවි පොතකටම පාඨකයගෙ හදවතට සහ බුද්ධියට කතා කරන්න බැහැ. නමුත් ප්‍රසාද්ගෙ පොත පාඨකයට දැනෙන්නම ඒ දෙකටම කතා කරනවා කියලා අපිට හැඟුනා.

බුදුන් වහන්සේ සූත්‍ර පිටකයේ එක තැනකදි දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ හැම දාර්ශනික ගැටළුවකම මූල හේතුව භාෂාව කියලා. බටහිර දර්ශනය ලෝකය භාෂාමය ගොඩ නැංවීමක් කියන කාරණාවට එද්දිත් අර බුද්ධකාලීන මතයයි නූතන මතයයි එකිනෙක අතිපිහිත කරවන එක බුදු දහම මාර්කට් කිරීමක්වත් ආගමිකවාදී වීමක් වත් නෙමෙයි. ඒක බුද්ධිමය ප්‍රස්තූතයන්ගෙ සමපාතවීම් ගවේෂණය කරන නූතනවාදයේ ලක්ෂණයක්.

මේ ලියමන ලියන අපි වුණත් පසු නූතන නැතිනම් පශ්චාත් නූතනවාදී කියන වචනය අපේ ලේඛනවල නිතර යොදාගෙන තිබුණත් තවමත් විශ්වීය ලේඛකයන් සහ විචාරකයන් බුද්ධිමතුන් සාහිත්‍යය ගැන කරන කතා බස් වලදි යොදා ගන්නෙ මොඩ(ර්)න් නැතිනම් නූතනවාදී කියන වචනයයි. ඒකට හේතුව තමයි අපි ජීවත් වෙන්නෙ පශ්චාත් නූතනවාදී සමාජයක වුණාට තවමත් පශ්චාත් නූතවාදී සාහිත්‍යයක් බිහි වෙලා නැහැ කියන එක.

කොහොම නමුත් භාෂාව ගැටළුවක් බවට පත් වීම සහ ලෝකය භාෂාමය ගොඩනැංවීමක් කියන කාරණාවට රිදෙන්නම ගහපු බර අවි ප්‍රහාරයක් තමයි ‘ප්‍රසාද් ගෙ මලවි හී සර මොටයි ’ කියන කෘතිය.

ඒ වගේම පළමු වතාවට අපිට පුද්ගලිකව දැනුන දෙයක් තමයි මේ කෘතිය පශ්චාත් නූතනවාදී සාහිත්‍යයකටත් මඟ පෙන්වන කෘතියක්ද කියන කාරණාව. මොකද අපි මෙතනදි මේ වගේ තර්කයක් ඉස්මතු කළොත්, ඒ කියන්නෙ නූතනවාදය තුළ භාෂාව සාහිත්‍යයකරණය තුළ පරම ආධිපත්‍යය හිමිකරගෙන හිටපු මහා ආඛ්‍යායනක් කියලා අපි හිතුවොත්., ලියෝතාද් සරළව පශ්චාත් නූතන වාදය හඳුන්වන්න ගත්ත උදාහරණය වුණ මහා ආඛ්‍යානවල අහෝසි වීම කියන කාරණාවත් එක්ක අපි ඒක සන්සන්දනය කළොත්, ප්‍රසාද් තමන්ගෙ භාවිතාව හරහා භාෂාවේ අපොහොසත්වීම තුළින්ම භාෂාමය ගොඩනැංවීමක් ඉදිරිපත් කිරීම එක අතකට පසු නූතන සාහිත්‍යයකට පාර කැපීමක් හැටියට ගන්න පුළුවන්.

ඒක පුළුල්ව සංවාදයට බඳුන්විය යුතු කාරණාවක් නිසාත් ලියොතාද් කියන්නෙ අර්ථකථන හොයාගන්න ගිහින් අමාරුවෙ වැටිලා ඉගෙන ගත්ත සහ දැනුම සොයා ගත්ත විද්වතෙක් නිසාත් ඒ කතාවට වැඩි දුර ගමනක් මේ ලිපිය තුළදි ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් එම කෘතිය අරබයා අපි එක් ප්‍රධාන තර්කයක් ඒ විඳියට පාඨක ඔබ ඉදිරියෙන් තබන්නෙ සංවාදශීලී වීමට ඉඩ හසර විවර කරමිනුයි.

අපේ සංවේදනයන්, හැඟීම්- දැනීම්, එකී නොකී සෑම දේම වචන වලට අරන් එනකොට වචන කියන්නෙ කොයි තරම් නම් දුප්පත් මෙවලමක් ද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. ලේඛනයේ නිරතවෙන ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත්….ඕනම කෙනෙක් කියන්නෙ නොබෙල් එක ගත්ත ලේඛකයෙක්ගෙන් වුණත් ඇහුවොත්, මෙන්න මේ ප්‍රශ්නය…,ඔබ ඔබේ නිර්මාණය ගැන සීයට සීයක් තෘප්තිමත් වෙනවද? කියලා…ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම කියන්නෙ නැහැ කියලයි.

ඇයි ඔවුන් එහෙම කියන්නෙ? මොකද භාෂාව කියන්නෙ සර්ව සම්පූර්ණ සන්නිවේදන මෙවලමක් නෙමෙයි. ඒ බව හොඳින්ම දන්නෙ ලියන්නො. කොයිතරම් හොඳට ලියන්න උත්සාහ කළත් කවදාවත් කිසිම ලියන්නෙක්ට උපරිම තෘප්තියෙන් සන්තෘප්ත වෙන්න ලැබෙන්නෙ නෑ. මොකද භාෂාව කියන්නෙ නිරන්තරයෙන්ම ඌන පූරණයන් අවැසි වෙන භාවිතාවක්.

ප්‍රසාද් එයාගෙ මේ කවි පොත හරහා කරලා තියෙන ප්‍රධානම මැදිහත්වීම ඒ භාෂාවේ ඌන පූරණ අවැසිතාවය ගවේෂණය කිරීමක් කියලා හඳුන්වන්න අපි කැමතියි. ඒ හැඳින්වීම වඩාත් දාර්ශනිකව ඉදිරියට අරන් යන්න ලියෝතාද්ගෙ මතයක් අපි ඉහතදි යොදා ගත්තා. මේ කෘතිය ගැන වැඩිදුර විමර්ශනයක් කරන කෙනෙකුට පුළුවන් ඒ මතය සංවාදයට බඳුන් කරන්න.

කොහොම නමුත් ප්‍රසාද් මේ කවි නිදහස් කවි කියලා හඳුන්වන්නෙම භාෂාවේ අපොහොසත් බව හුවා දැක්වීමට කියලයි අපි විස්වාස කරන්නෙ. හැම තිස්සෙම නොකියා ඉතිරි වෙන අඩ කවිය කියන මාධ්‍යයෙදි ඉතාම ප්‍රභල සාධකයක්. එහි තීව්‍රතාවය මත තමයි කවිය සාර්ථක හෝ අසාර්ථක නැතිනම් නිරර්ථක වෙන්නෙ. කොහොම නමුත් පාඨකයාට කියවූ පමණින් මතක හිටින් නැති කවි ඇත්තටම කවි කියලා හඳුන්වන්න පුළුවන්ද?. ඒ වගේ දේවල් බහුල වෙලා තියෙන්නෙ වර්චුවල් රියලටි එක දෙ අත්ලට ඇවිත් තියෙන නිසයි. නමුත් ප්‍රසාද් අති සූක්ෂම විඳියට නූතනවාදී පර්යේෂණාත්මක කවියෙක් විඳියට භාෂාවට අභියෝග කරමින් ‘මලවි හී සර මොටයි’ කියන පොත ලියලා සමාජගත කරලා තියෙනවා.

ඔහු නොකියා අපිට කියන්නේ කුමක්ද????

භාෂාව.

සැබැවින්ම අපි භාෂාවේ වහළුන් විය යුතු නැති බවත්, භාෂාව අතික්‍රමණය කිරීමට ක්‍රම විධි අපි හොයාගෙන යන්න ඕන කියන කාරණාවත් ඔහු පාඨකයාට සම්මුඛ කරවලා තියෙනවා.

අපි තවඳුරටත් මේ කතා බහ ටිකක් විෂයානුබද්ධව ඉදිරියට අරන් යමු. හරි එහෙනම් අපි ඒක මෙහෙම පටන් ගමුකො.

ප්‍රංස සංකේතවාදීන් කවිය හඳුන්වගත්තෙ පාඨකයා කවිය අසළ ගැවසෙමින් ඉන්නකොට පාඨකයාට ඇහෙන යමක් විඳියටයි. ඒ කියන්නෙ කවියා කාටහරි කෙනෙක්ට කතා කරන දේ තමයි කවිය විඳියට පාඨකයාට ඇහෙන්නෙ. එතකොට ප්‍රංශ සංකේතවාදීන් කියන විඳියට කවිය රසවිදින පාඨකයා කියන්නෙ තුන්වෙනි පාර්ශවයේ අයෙකුටයි.

එතකොට ප්‍රසාද් තමන්ගෙ පොත හඳුන්වන්නෙ නිදහස් කවි එකතුවක් කියලයි. නමුත් අපි ඒක සංයුක්ත කවි ගොන්නට ඇඩ් කරන්න හඳද්දිම ප්‍රසාද් පොතේ පෙරවදනෙන්ම ඒකට බැරියර් එකක් දාලා කියනවා මේවා සංයුක්ත කවි නෙමේ මේවා නිදහස් කවි කියලා. ඉතිං ඒ අදහසට එකඟවෙලා පොතේ වියමනට පාඨකයා ඇතුළු වෙද්දි කවියේ වියමන තුළ පාඨකයාව සිර කරගන්න ඔහු සමත් වෙලා තියෙනවා කියලා අපිට හිතෙනවා.

ඒ කියන්නෙ අර ප්‍රංශ සංකේතවාදීන් කියන විඳියට කවිය කියවන අපි තුන්වැන්නෙක් බවට පත්වෙලා නම් නෙමෙයි.

ප්‍රසාද් ඒ කවිය කියන්නෙ අපිටමයි. ප්‍රංස සංකේතවාදීන් කියන්නෙ ඇත්තටම උඩගු පණ්ඩිතමානී පිරිසක්. ඒ නිසා ඔවුන්ගෙ කවි අතිශය සංකීර්ණ උපමා රූපක වලින් සන්නද්ධ වුණා. කොටින්ම කියනවා නම් ඔවුන්ට පාඨකයාව අදාළ වූණේ නෑ. කොහොම නමුත් ප්‍රසාද් මේ පොතේදි කරලා තියෙන් සංකේතවාදීන්ගෙ ඒ මතවාදය අනිත් පැත්ත හරවන එකයි. ඒ කියන්නෙ කවියා කියන දෙබස ඇහෙන්නෙ වෙන කාටවත් නෙමෙයි දෙබස ඇහෙන්නෙ අපිටමයි. ඒ කියන්නෙ පාඨකයාටමයි.

ප්‍රසාද් නිදහස් කවි කියන මෙවලම ‘මලවි හී සර මොටයි’ කියන කෘතියෙන් සමාජගත කරලා තියෙන්න අන්න ඒ විඳියටයි. ඒ අනුව බලද්දි හැබැයි මේක නූතවාදයට නෑකම් කියනවත් වැඩියි කියලා අපිට කියන්න පුළුවන්. මොකද සාහිත්‍යය නිර්මාණවල පර්යේෂණකාමී අත්හදාබැලීම් නූතන වාදයේ පැහැදිලි බාහිර ලක්ෂණයක් බව ‘එබ්රාම්ස්’ කියලා තියෙන නිසා. කොහොම නමුත් පසු නූතන කියන වචනයට වඩා බුකර් ත්‍යාගලාභී ලියන්නො පවා තවම යොදා ගන්නෙ නූතනවාදී කියන වචනය බව අපි ඉහතදිත් සඳහන් කළා. ඒ නිසා පශ්චාත් නූතනවාදී කියලා ඉන්න කවියො ප්‍රසාද්ගෙ වැඩේ නූතනවාදීයි කියලා කේවල් කරන්න කලබල වෙන්න අවශ්‍යය නැහැ. එහෙම කේවල් කිරීමක් ඇඩ් වෙනවා වගේ නම් මේ ලිපියේ මැද කොටසේ අපි ලියොතාද්ව අරන් ඇවිත් ඉදිරිපත් කරපු තර්කය දෙස නැවතත් හැරිලා බලන්න. ඒ විතරක් නෙමෙයි නූතනවාදී පර්යේෂණකාමී බව පසු නූතනවාදී නිෂ්පාදනයන් ජනිත කරවන සුළු තත්වයක් මේ වෙනවිට නිර්මාණය වෙමින් තිබෙන බවත් මතක තබාගන්න.

ප්‍රසාද්ගෙ මේ නිර්මාණ භාවිතාව ‘සැමුවෙල් ජොන්සන්’ කවිය ගැන කරන නිර්වචනයත් එක්ක බොහෝ දුරට සමගාමීව ගමන් ගන්නවා. සැමුවෙල් කියනවා මෙන්න මෙහෙම. “ඉතාමත් සාර්ථක කවියක් ආකෘතික වශයෙන් ඉහළට ඔසවන ලද ප්‍රකාශනයක් වෙන නිසා පාඨකයා සමඟ කුළුපග සමීපත්වයක් ගොඩනැගීමට තැත් කරනවා කියලා”. ප්‍රසාද්ගෙ කවි එකතුවත් පාඨකයා එක්ක ගොඩනගා ගන්නෙ අන්න ඒ වගේ අවියෝජනීය කුළුපගකමක්. එය පාඨකයාව වියමන ඇතුළෙ ජීවත් කරවනවා. එය පාඨකයාව විවිධ හැඩ තල හා රටා ඔස්සේ නන්නත්තාර කරවනවා.

ඉතිං, එහෙනම් ඒ විඳියට ප්‍රසාද්ගෙ වියමන ඇතුළෙ පොඩ්ඩක් රවුම් ගහලා බලමුද?.

හරි…එහෙනම් අපි මුලින්ම ගමු මෙන්න මේ කවිය.

මේ කවියට තියෙන්නෙ ‘ඔබෙන් පසු’ කියන මාතෘකාව විතරයි. ඒ මාතෘකාවට යටින් තියෙන්නෙ තනිකරම හිස් පිටුවක්. දැන් මෙහෙම හිතන්නකො…, අර බයිබලයෙන් සාහිත්‍යය කියවීම්, නැතිනම් විචාරයට අරන් ආපු ‘එපිෆනි’ කියන වචනය හරහා මේ මාතෘකාව තුළ පාඨක ඔබ මෝසස් කෙනෙක් බවට පත් වෙලා ඔබේ අහිමි වී ගිය පෙම්වතියක් නැතිනම් පෙම්වතෙක් ගැන මෙනෙහි කරලා බලන්න. ඔබ ඉදිරියේ දහසකුත් සිතුවිලි නිමවෙන බව අපට නොඅනුමානයි. මේ කවියෙ පූරකයාටත් දැනෙන්නෙ අන්න ඒ වගේ වචනයට නඟන්න බැරි සිතුවිලි අනන්තයක් සේම එහිම ප්‍රතිපක්ෂය වූ අන්ත හිස්කමක්…ශූන්‍යයත්වයක්.

හරි දැන් කියන්න අමතක වුණානෙ ‘එපිෆනි’ කියන වචනයේ තේරුම. ‘එපිෆනි’ කියන වචනයේ තේරුම සරළව කියනවා නම් දේවදර්ශනය කියලා කියන්න පුළුවන්. ඒ කියන්නෙ දෙවියන් දර්ශනය වීම. නමුත් සාහිත්‍යය නිර්මාණ කථිකාවට මේ වචනය අරන් එද්දි ඒකේ තේරුම වෙන්නෙ නම් ඒකේ වාචික අර්ථයම නෙමෙයි. ඇත්තටම ඒකෙන් අදහස් වෙන්නෙ ඔබ දන්න බයිබලයේ එන මෝසස් නම් වූ දෙවියන්ගේ පණිවිඩකරුවා දෙවියන් සමඟ සංවාදයේ යෙදී දෙවියන් මෙසේ කීවා මෙසේ කරන්නට යැයි කීවා කියා ඔහුගේ ජනතාවට කියනවනෙ.

අන්න ඒ වගේ කිසියම් හෝ සාහිත්‍යය නිර්මාණයක් දෙවියන් කියලා දැන් ඔබ හිතන්න…,ඒ වගේම මෝසස් කියන්නෙ ඔබ කියලා හිතන්න. එතකොට ඒ නිර්මාණය පරිශීලනය කරලා ඔබ එය තෙවැන්නෙකුට කියවන අන්තර්ගතයට තමයි ‘එපිෆනිය’ කියලා කියන්න පුළුවන් වෙන්නෙ.

ඇත්තටම මේ විඳියට හැම විෂයානුබද්ධ වචනයක්ම සරළව පැහැදිළි කරන්න අපි ගොඩක් උත්සාහ කරනවා. මොකද අපිට නැගෙන ප්‍රධානම චෝදනාවක් තමයි ලියන දේවල් තේරුම් ගන්න අමාරුයි කියන කාරණාව. නමුත් මේ හැම විෂයානුබද්ධ වචනයක්ම සරළව විස්තර කරන්න ගියාම ඒකෙන් ලිපියේ මුඛ්‍ය අරමුණට වෙන හානිය සුළු පටු එකක් නෙමෙයි. ඒ නිසා පාඨකයාටත් වගකීමක් තියෙනවා කියලා අපි හිතනවා. පණ්ඩිතකමට කිව්වා කියලා හිතන්න එපා. නමුත් අපිත් දේවල් දැනගත්තෙ සෑහෙන්න හොයලා බලලා මහන්සි වෙලයි.

හරි ආයිත් මාතෘකාවෙන් පිට පැනීම නවත්වලා අපි ප්‍රධාන කතාවට එමුකො. ඉතිං ප්‍රසාද්ගෙ ඒ ‘ඔබෙන් පසු’ කියන කවිය වචන සහ රූපක යොදාගෙන කරපු කවියක් වුණා නම් ඒකෙන් සිද්ද වෙන්නෙ සීමිත සන්නිවේදනයක්. ඒ කියන්නෙ ඒ පෙම්වතා හෝ පෙම්වතිය වින්ද අහිමිවීමේ වේදනාවේ තරම ප්‍රමාණාත්මක කිරීමකට එතනදි ඒක ලඝු වෙනවා. නමුත් නිකම්ම නිකම් හිස් පිටුවක් පාඨකයාට සම්මුඛ වුණාම මාතෘකාවත් එක්ක පාඨකයා තමුන්ගෙ අත්දැකීම් එක්ක කවියේ මාතෘකාව තුළ අතරමං වෙනවා.

එතකොට ඒක ප්‍රසාද්ගෙ බූට් එක නෙමෙයි. ඒක අපි කාපු බූට් එකක් බවට පත් වෙනවා. අන්න ඒකයි අපි මේ ලියමන ආරම්භයෙදිම කිව්වෙ ප්‍රසාද් කරලා තියෙන්නෙ තමන්ගෙ වියමන තුළ පාඨකයාව අතරමං කරන එක කියලා. ප්‍රංස සංකේතවාදීන්ගේ මතය අනිත් පැත්ත හරවලා පාඨකයා තුන්වැන්නෙක් බවට පත්වීම වෙනුවට පාඨකයා සමස්ථ කවියම බවට පත් වෙනවා. ඉතිං ඇත්තටම ඒක අගය කළ යුතු සාහිත්‍යය භාවිතාවක් නේද?

දැන් අපි තවත් සන්නිදර්ශනාත්මක උපුටනයක් මේ කෘතියෙන් අරන් බලමු. ඊළඟට අපි තෝර ගත්තෙ මාතෘකාවක් නැති කවියක්. මේ කවියට මාතෘකාවක් නෑ කියන ඒකෙත් ලොකු ව්‍යංගාර්ථයක් ගැබ් වෙලා තියෙනවා. මේ පොතේ පටුනෙ මේක හඳුන්වලා තියෙන්නෙ පාර්ලිමේන්තුව කියලා නිසා අපි ඒ කවිය පාර්ලිමේන්තුව කියලම හඳුන්වමු.

බලන්න මේ කවිය දිහා

වචන වලින් මිනී පෙට්ටියක් සේ ඇත් දළ දෙපස සිටුවා තියෙන පාර්ලිමේන්තුව කියන මිනී පෙට්ටියට දෙකෝටි විසිලක්ෂයක් ජනතාවටම කවියා ආරාධනා කරනවා මිනී පෙට්ටියට කරගහන්න එන්න කියලා. ඇත්තටම අපේ රටේ පාර්ලිමේන්තුව මළගමක් බවට පත් වෙලා ඉවරයි කියන කාරණය සබුද්ධික දේශපාලනයේ නිරත ඕනම කෙනෙක් දන්න කාරණයක්. නමුත් මේ කාරණයෙදි ඒ කියන්නෙ මේ කවියෙදි ඇත් දළ සහිත මිනී පෙට්ටිය කියන්නෙ සම්පූර්ණයෙන්ම රූපකයක් කියලයි අපිට නම් හිතෙන්නෙ.

‘එඩ්වර්ඩ් හර්ස්ච්’ රූපකය සම්බන්ධයෙන් මෙන්න මේ වගේ දෙයක් කියලා තියෙනවා. යම් දෙයක් ආශ්‍රිත ව්‍යංගාර්ථයක් හෝ ව්‍යංගාර්ථ පද්ධතියක් රුපකය විසින් වෙනත් දෙයක් වෙත ගෙන යනු ලබනවා. දැන් මේ ඇත් දළ සහිත මීනී පෙට්ටි රූපකය මලවි හී සර මොටයි කියවන පාඨකයාව රැගෙන යන වෙනත් දෙය ඇත්තටම මොකක්ද?. ආයිත් අමුතුවෙන් ඒක කියන්නත් දෙයක් ද? ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව කියන්නෙ මළගමක් කියන එකයි. ඒක දැන ගත්තට පස්සෙ ඒ රටේ මිනිස්සුන්ට දැනෙන්නෙ පශ්චාත්තාපය මුසු ශෝකයක්. කම්පාවක්. කලකිරීමක්. ජුගුප්සාවක්. ඒ විතරක් නෙමෙයි මළගමකින් පාලනය වෙනු ලබන රටක් කියන්නෙ ඒ රටේ අනාගතය අපායක් කියන එකයි.

අනිත් එක මේ කවියට මාතෘකාවක් නෑ කියන එකේ තියෙන ලොකුම ව්‍යංගාර්ථය තමයි මේ රටට අනන්‍යයතාවයයක් නෑ. ඒ වගේම ඉදිරි දර්ශනයක් හෝ හැඳින්වීමක් නෑ සහ දිශානතියක් නෑ කියන එක. කොටින්ම කියනවා නම් තේරුමක් නැති අයාලේ ගමන් ගන්නා රටක්. මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි කියලා මංජුල වෙඩිවර්ධනත් පොතක් ලිව්වෙ ඒ නිසාමනෙ.

වචන දාහකින්වත් කියන්න බැරි ඒ දේවල් පාඨකයා ඉදිරියෙ ප්‍රසාද් සම්මුඛ කරවලා තියෙන්නෙ අන්න ඒ විඳියට සංයුක්ත අක්ෂර රූප මවපු නිදහස් කවියකින්. මෙහිදී රූපකය ඇත් දළ සහිත මළගමක් සහිත සංකේතයක් බවට පත් වෙලා තියෙන හින්දා අර ‘ඩබ්ලිව්.බී. යීට්ස්’ කියන බුද්ධිමතා කියපු ආකාරයටම මේක රසික මනස කළඹවන ලද කවියක්. මොකද ඒ කවියේ රූපකය සංකේතයක් බවට පත් වෙලා තියෙන නිසයි. යීට්ස් කිව්වෙ රූපික සංකේත බවට පත්වෙලා රසික මනස කළඹවන කළ ඉතා ප්‍රභල කවි නිර්මාණය වෙන බවයි.

ඉතිං භාෂාව මහළු වෙලා කියන පශ්චාත් නූතවාදී මතය මෙහිදී සියුම් ආකාරයකට හාස්‍යයට බඳුන් වෙනවද? කියලත් අපිට හිතෙනවා. නමුත් ඒ ගැන කතා කරන්න මේ කෘතිය තීසිසයක් ලියන්න තරම් තෝතැන්නක් කියලා අපිට පුද්ගලිකව දැනෙන නිසා මේ කුඩා ලිපිය ඇතුළෙ ඒ සංකීර්ණ කරුණු කාරණා වපසරිය මඟ හැරලා තවත් සන්නිදර්ශනාත්මක කතා බහකට යමු.

දැන් අපි උපුටා ගමු පටුනෙ මෙන්න මේ නමින් නම් කරලා තියෙන නිදහස් කවිය. ඒ තමයි ‘නාලන්ද සර්පයා දුටුවාද…?’

බුදුන්වහන්සේ දවසක් ආනන්ද හාමුදුරුවෝ එකක් ගමනක් වඩිද්දි වෙළක වැටිලා තියෙන රන් කහවනු පොදියක් දැකලා අහන්නෙ ‘ආනන්ද සර්පයා දුටුවාද?’ කියලයි. නමුත් මේ කවියෙ මාතෘකාව වෙලා තියෙන්නෙ ‘නාලන්ද සර්පයා දුටුවාද?’ කියලයි. එතකොට කව්ද මේ නාලන්ද කියන්නෙ?

නාලන්ද කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණ නන්ද එල්ලාවගෙ පුතාටයි. නාලන්ද කියන්නෙ තාත්තගෙ ආභාසය නිසා දේශපාලනයට ඇවිත් පාර්ලිමේන්තුවට ආපු චරිතයක් වුණාට නාලන්ද කියන්නෙ බැහැලම දේශපාලනය වෙනුවෙන් වැඩ කරපු චරිතයක්. ඒ වගේම වත්මන් පාර්ලිමේන්තු සාමාජිකයො වෙන ඩිලාන් ගෙයි ඩලස් අලහප්පෙරුමගෙයි හොඳම යාළුවෙක්.

කොටින්ම කියනවා නම් මේ තුන්දෙනා ඒ කාලේ ඉඳලා තියෙන්නෙ අපි අර කතාවට කියන්නෙ කිරියි පැණියි වගේ කියලා. අන්න ඒ වගේ තමා මේ අය ඉඳලා තියෙන්නෙ. ඒ වගේම නාලන්දට හිටපු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරණායක වගේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාවත් ඥාති වෙනවා.

ඉතිං කොහොමහරි නාලන්ද දිවි ගමන නිමා කළේ වෙඩි පහරකින්. කුරුවිටදී ඩිලාන් පෙරේරාගේ දේශපාලන ප්‍රතිවාදීන් සමඟ ඇති වුණ වෙඩි හුවමාරුවකදි වෙඩි වැදිලා තමයි නාලන්ද මැරුණෙ. එදා නාලන්ද විතරක් නෙමෙයි පොලිස් කොස්තාපල් කෙනෙකුත් වෙඩි වැදිලා මැරෙනවා. මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණේ එවකට පාර්ලිමේන්තු සාමාජිකයන් වුණ සුසන්ත පුංචිනිලමේ සහ මහින්ද රත්නතිලක ඇතුළු තවත් හතර දෙනෙකුටයි.

ඩලස් අලහප්පෙරුම තමන්ගෙ එක පුතෙකුට නාලන්ද කියලා නමත් දානවා. කොහොම නමුත් අවසානයෙදි සුසන්ත පුංචි නිලමේ නාලන්ද ඝාතන නඩුවෙන් නිදොස්කොට නිදහස් වෙනවා. ඉතිං ඔබට මතකද ඒ ජනප්‍රිය කතාව. දේශපාලන ලෝකයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නොමැත .

ඒ කියමනේ යථාර්ථය තමයි නාලන්ද ඝාතන නඩුවට ඝාතකයෙක් නොමැතිවීම. නමුත් මේ සිදුවීම ගැන කම්පණයට පත් වෙන ප්‍රසාද් නිදහස් කවියකින් ඉතිහාසයට එකතු වූ ඒ සිදුවීම අමතක නොකරන ලෙස වර්තමාන පරම්පරාවටත් මතක හිටින්න නිර්මාණයක් හරහා එය සමාජගත කරලා තියෙනවා. සැබෑ නිර්මාණකරුවෙකුගෙ කාර්යභාරයත් ඒකම නෙමෙයිද හැබෑටම? මොකද ප්‍රශ්නවලට උත්තර හොයන්න නිර්මාණකරුවෙකුට බැහැ. නමුත් ප්‍රශ්නය සමාජගත කරන්නත්, ප්‍රශ්නය ඓතිහාසික කරන්නත් ජාතියක හෘද සාක්ෂිය ප්‍රශ්න කරවන්නත් නිර්මාණකරුවෙකුට පුළුවන්.

ලියමන ටිකක් දිග වැඩි වුණත් අපි තව ටිකක් කතා කරමු නේද?. මොකද මේ කෘතියෙ පුද්ගලිකව අපි කැමති කවි කීපයක්ම තියෙනවා. නමුත් හැම කවියක් ගැනම සඳහනක් කරන්න තරම් ඉඩක් මේ ලිපිය ඇතුළෙ අවකාශයක් නැති වුණත් වැඩි පුරම හදවතේ නැංගුරම් දාපු කවි හතරක් පහක් ගැනවත් කතා කරන එක අපේ යුතුකමක් වෙනවා.

දැන් අපි කතා කරන්න හඳන්නෙ මේ පොතේ පළවෙනි නිදහස් කවිය වුණ ‘දිග සහ පළල’ කියන කවිය ගැනයි. බලන්න පහත ඒ කවිය කතුවරයා ලියලා තියෙන විඳිය.

පහුගිය කාලේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණ ‘සහෝදරයා’ කියන නාට්‍යයයේ දෙබසක් තමයි මට මේ කවිය කියවපු ගමන්ම මතකයට ආවේ. ඒ දෙබස තමයි ‘ එක ගෑණියෙක් ගෙ ආදරෙන් උඹේ හදවත පිරෙන්න තරම් උඹේ හදවත පුංචියිද?…ඒ වගේ මිනිස්සුන්ට දේශපාලන ව්‍යාපාරයක ඉන්න බැහැ බන්…’

මේ උපුට ගත්ත දෙබස සීයට සීයක්ම නිවරදි නොවෙන්න පුළුවන් මතකයෙන් ඒක ලියපු නිසා. නමුත් ඒකේ අර්ථය වුණේ ඒකයි. ඉතිං දේශපාලන ව්‍යාපාර වල පූර්ණකාලීනව නිරත වෙලා ඉන්න අපේ සහෝදරයො තමන්ගෙ කුටුම්භය ඇතුළෙදි හැමදාම ෆේල් වෙනවා. ඒ ෆේල් වීම නැතිනම් අපොහොසත් වීම සිද්ද වෙන්නෙත් මේ සිස්ටම් එකේ අවුලක් නිසා තමයි. නමුත් ඒ වෙලාවට පශ්චාත් නූතනවාදී සමාජයක රාජ්‍යයක ලක්ෂණ පෙන්වන කුඩාම ඒකකය වෙන පවුල කියන එක ඇතුළෙදි කෙනෙක් ෆේල් වෙද්දි ඔහුට මහා ඒකකය වෙන සමස්ථ රජය හෝ ධනේශ්වරය සමඟ සටන් කරන් පුළුවන් ශඛ්‍යතාවයක් තියෙනවද කියන එක නම් ඇත්තටම ප්‍රශ්න සහ උත්තර ගොන්නක වංකගිරියකට අපිව අරන් යන වැඩක් වෙනවා.

දැන් අතුරුදන් වුණ තාමත් හොයාගෙන නැති ප්‍රගීත් එක්නැළිගොඩ ගැන අපි ගමුකො. ඔහු වෙනුවෙන් සන්ධ්‍යා එක්නැළිගොඩ තවමත් අරගලයේ යෙදෙනවා. නමුත් පවුල කියන ඒකකයෙදි ඔහුට ෆේල් වෙන්න වුණා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්.

ඔව් ඒක එක අතකට ඇත්ත . නමුත් ඔහු තමන්ගෙ පවුලට නිවසක් හැදුවා. ළමයින්ට ඉන්නකල් හොඳට ඉගැන්නුවා. දැන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ ඒ දේවල් ඔහු වෙනුවෙන් කරනවා. ප්‍රගීත් ගෙ හිත පළල් වුණ දවසෙම සන්ධ්‍යා අක්කගෙ මුහුණත් දික් වෙන්න ඇති. නමුත් ඇය ඔහු නැතිකමේ අඩුව පුරව ගන්නෙම ඔහුගේ හිතේ තිබ්බ ඒ පළල් බව ඈ අභ්‍යන්තරය තුළ තැන්පත් කරගැනීමෙනුයි. කෙනෙකුට කියන්න පුළුවන් මනෝවිශ්ලේෂණාත්මකව ඒක අවරෝධිත ලක්ෂණයක් කියලත්.

කොහොම නමුත් පී.බී. ගුණසේකර මහත්මයාගේ පොතකත් එනවා මේ නිදහස් කවියට අදාළ කරගන්න පුළුවන් එක සිදුවීමක්. මට මතක විඳියට ‘මරියා සිලොනිකා වස්තුව’ කියන ඔහුගෙ නවකතාවේ තමයි ඒ සිදුවීම තිබුණෙ. ඒ සිදුවීම තමයි සම්මානලාභී වේදිකා නාට්‍යවේදියෙකුගෙ බිරිඳක් දවසක් ගෙදර කන්න බොන්න දේවල් නෑ කියලා නාට්‍යවේදියාගේ සම්මාන ගින්නට දාන්න කියලා ගේ මිදුලට වීසි කරලා දානවා. ඉතිං ඒත් හිත පළල් වුණ පිරිමියෙක් නිසා මුහුණ දික් වුණ ගැහැණියකගෙ කතාවක්.

සිද්ධාර්ථගෙ හිත පළල් වෙච්ච දවසෙත් යශෝධරාගෙ මුහුණත් අනිවාර්යෙන්ම දික් වෙන්න ඇති. කොහොම නමුත් මහා වෘක්ෂයක මුල් පොළෝ අභ්‍යන්තරයේ තියෙනවා වගේ ඔය ගොඩක් සමාජ දේශපාලන වැඩවල නිමග්න වෙලා ඉන්න සහෝදරයන්ගෙ සහෝදරියන්ගෙ ළබැඳියන් ඉන්නෙ අර වෘක්ෂයේ මුල් තියෙන අඩවියෙයි. ඔවුන් සාරය ලබා දෙනවා වුණාට වේරම්භ වාතය ඔවුන්ව ස්පර්ශ කරන්නේ නැහැ.

ඉතිං හිත පළල් වූ සහෘදයන්ගේ ළබැඳියන් අත්විඳින්නේ නම් පීඩනයම පමණයි. මේ දේ හැම කුටුම්භයකම එහෙම වෙනවා කියලා අපිට කියන්න බැහැ. නමුත් දී ඇති ප්‍රස්තූත විෂය අනුව අන්තර්ගත වපසරිය වෙන්නෙ අපේ කථිකාවට භාජනය වුණ පරාසය බවයි අපිට හැඟෙන්නෙ.

හරි එහෙනම් දැන් මේ දිග ලියමනේ අවසාන සන්නිදර්ශනාත්මක උපුටනය වශයෙන් අපි මෙන්න මේ කවිය අරගමු. කවිය තමයි ‘පළමු හාදුව’. බලන්න ඒක ලියලා තියෙන විඳිය.

අපේ ජීවිතේ කවදාවත් අපි කාටවත් අමතක නොවන අත්දැකීම් වලින් එකක් තමයි පළමු හාදුව කියන්නෙ. ඒක දෙන්න කොයිතරම් නම් කට්ටක් අපි කන්න ඇතිද? ඒක ලබා ගන්න ඔබ කොයි තරම් කට්ටක් කන්න ඇතිද?. ඒක කරන්න අමාරු…., ඒ කියන්නෙ කටු තියෙන මලක් කඩා ගන්නවා වගේ වැඩක්. නමුත් රෝස මලේ කටු තිබ්බා කියලා මල නෙලා නොගන්නෙ කව්ද?. ඒ නිසයි කවියෙ ‘රෝස මලේ නටුවෙ කටු?’ කියන පැදි පේලිය කපා දාලා තියෙන්නෙ.

අවසාන වශයෙන් අපි මේ දේවල් ටිකත් කිව්වොත් හොඳයි කියලා හිතනවා. ප්‍රසාද් මේ නිදහස් කවි පොතේ කවි වලට යොදා ගෙන තිබෙන ප්‍රස්තූත විෂයන් ඉතා බහුතර පාඨක පිරිසක් ආමන්ත්‍රණය කරන්න පුළුවන් ප්‍රස්තූත පරාසයක්. නමුත් මේ කෘතිය සමාජගත කරලා තියෙන සංයුක්ත රූපමය ගතිය නිසා බහුතරයක් පාඨකයන් මේ පොත අතට අරන් ආපහු පොත් රාක්කයෙන් තියන්න පුළුවන්. නමුත් මේක එහෙම පැත්තකට කරන්න පුළුවන් වැඩක් නම් නෙමෙයි කියලයි අපිට දැනුනෙ. මොකද භාෂාව මහළු වෙලා කියන පසු නූතවාදී මතිමතාන්රය නව විධි ක්‍රමයකට භාවිතාවට අරන් එන එක….., ඒ කියන්නෙ නූතනවාදී සාහිත්‍යමය පර්යේෂණකාමීත්වයක් තුළින් පසු නූතනවාදී සාහිත්‍යය උදෙසා මං තැනීම අවංකවම පැත්තකින් තියන්න බැරි කාරණාවක්.

හරි එහෙනම් කෙටියෙන්ම කියන්නම්කො. වර්වුවල් රියැලටියෙ හිර වෙලා ඉන්න ඔබට මේ කෘතිය හරහාත් ලැබෙන්නෙ වර්චුවල් අත්දැකීමක්ම තමයි. ඒ නිසා නිකමට වගේ පොත කියවලා බලන්න. නැහැ එපා. පොත පරිශීලනය කරලා බලන්න. ඒත් බැරිම නම් නිකම්ම පිටු පෙරළලා බලන්නකො.

සටහන
බාසුරු ජයවර්ධන

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan