සුහුඹුල් යුනිකෝන්වරු හැටියට …. – රුවන් බන්දුජීව

Date:

අවට පවත්නා යම් යම් දෑ ඒවායේ පවත්නා පැහැයෙන් මුදවාගෙන අලුතින්ම වෙනත් වෙනත් වූ වර්ණයන්ගෙන් වර්ණ ගැන්වීමෙහිලා ඔහු තුළ පැවති උමතුව කෙසේවීද යත් ගෙවී ගිය සති අන්තයේදී ඔහු තම පියස්සෙහි වූ උළු කැට සියල්ල බිමට බා, ඒවා වර්ණ කිහිපයකින්ම වෙන් වෙන්ව ගෙන නහවා, තණබිස්ස මත හොවා වියළවා, යළිත් පියස්ස මත රඳවනු ලැබීය. ඉක්බිතිව එළැඹි රැයෙහිදී හේ තිරස් හා සිරස් ලී රේඛා වෛවර්ණයෙන් යුත් ලී හිණිපෙතක් කැඳවා ඒ දිගේ පියස්සට නැග, සිගැරැට්ටුවකුත් දල්වා වර්ණ ගැන්වූ උළු කැට කෙරෙන් හමනා නැවුම් ලැකර් සුවඳින් මත්ව පියස්ස මත දිගා වී හුන්නේය.

හේ කිසිදිනෙක නගරයේ වූ මාර්කැට්ටුව වෙත පැමිණ අන්නපාන සැකසීමෙහිලා යෙදවෙන කිසිවක් මිලට ගත් වග දුටු අයෙක් අවට නිවස්න තුළ නොවූ අතර ඒ වෙනුවට ගොඩනැගිලි තැනීමෙහිලා දෘඪද්‍රව්‍ය බහාලන අලෙවිසැල් වෙතින් නා නා පෑති තීන්ත බාල්දිත්,ලැකර් කුප්පිත්,බුරුසු හා පින්සල් යනාදියත් මිලට ගෙන මැජෙන්ටා වර්ණාලේපිත පා පැදියක නැගී යන අයුරු දුටු පුරවැසියන් ඒ කුඩා නගරයේ බොහෝ විය.

ලී දඬුයෙන් තනා ඇති ගෘහභාණ්ඩාදියෙහි හා ජනෙල් උළුවහු ආදියෙහි ඇති මක්කානි වූ දුඹුරත්, ඉන් වහනය වන වාර්නිෂ් ගන්ධයත් තරම් නොරුස්නා කිසිවක් ඔහු තුළ නොවූ අතර පසුගිය වර්ෂ අවසානයේදී ඔහු තම වත්ත කෙළවර වූ ළිං බැම්ම දීප්තිමත් වූ රතකිනුත්, පනිට්ටුව ප්‍රීතිමත් වූ කහ පෑයකිනුත්, කඹය කොළ පෑයෙනුත් වර්ණ ගන්වා එදා රාත්‍රියේදී ඒ ළිං පඩිය මත සන්සුන්ව නිදා ගත්තේය.

ගෙවී ගිය ඉරු දිනකදී හිමිදිරියේම පිබිදුණු හේ වර්ණ කීපයක් කලවම් කරමින් නිලට හුරු කොළ පෑති දෝ කොළට හුරු නිල් පෑති දෝ සිතාගැන්මට අපෑදිලි පෑයක් තනා, ඉන් බිඳක් සුළැඟිලි වතෙහි තවරා, ඒ පෑය සිය සිතැඟි හා එක්වූ අයුරු දැන හඳුනා තෘප්තියට පත් වූයේ, ඒ පෑයෙන් සිය රයිපලය වර්ණ ගැන්වූයේය. ඉනික්බිති හේ පතොරොම් බහා ලූ පෙට්ටිය රැගෙන ආයේ, එහැම පතොරම් ලා තැඹිලි පෑයකින් නහවා පැදුරක් මත තබා වියළවා යළිත් පෙට්ටියෙහි ලා පසෙක තැබුවේය.

පසුදා සැඳෑවේ ඔහුගේ නිවස්නට පැමිණි ගම්මුලාදෑනියා උස් හඬින් කියා පෑවේ ඔහුගේ පියස්සෙහි ඇති නා නා වර්ණ කරණ කොටගෙන ගුවනින් එන සතුරු යානාවන්ට තම අඩවිය හඳුනාගත හැකි පහසු ඉලක්කයක් වී ඇති බවයි. එහෙයින් වහා ඒ විකාරරූපී උළු කැට බිමට බාවා, චිරාගත ගුරු පෑයෙන්ම නාවා, යළි පියස්සට වැඩම කරවිය යුතු බවයි. පුරුක් අතර මාරුවෙන් මාරුවට සුදු හා තද දම් පෑය තැවරූ උණ බම්බු කඩුල්ලටත් පයින් ගසා ගම්මුලාදෑනියා නික්ම ගිය කල්හි පියස්සට වන් හේ, උළු කැට සියල්ල බිමට බා, ලා කහ පෑය ගෑ සිමෙන්ති පොළොව මත ඒවා වර්ණ අනුව වෙන් වෙන්ව ගෙන අට්ටි අට්ටි ගැසුවේය.

ඉක්බිතිව පැමිණි ඒ රැයෙහිදී සිමෙන්ති පොළොවෙහි දිගා වී සිගැරැට්ටුවක්ද උරමින්, වර්ණාලේපිත බාල්ක හා හරස් පොලු රේඛා අතුරින්, කුඩා හතැරැස් කොටු ලෙසින් දිස්වෙන හිස් අහස දෙස ඔහු බලා හුන්නේය.
ගම්මුලාදෑනියාගේ බස සැබෑ කරවමින් එදා රැයේදී රංචු ගැසී පැමිණි යාබද ප්‍රාන්තයේ සතුරු අහස් යාත්‍රාවෝ එල්ල කළ අනවරත ප්‍රහාරාවලියකින් ප්‍රදේශයේ වූ නිවස්නයන් හා අනෙකුත් ගොඩනැගිලි බොහෝමයක්ම පාහේ සුණුවිසුණු වී යන හඬ ඔහුට වරින්වර ඇසෙමින් පැවතුණි. පියස්සකින් තොර ඔහුගේ නිවස්නය සතුරාගේ ඉලක්ක කෙරෙන් කිසියම් දුරස්ථ බවක් දනවමින් පැවතියද ඊටද යම් යම් අලාභහානි සිදු නොවූයේද නොවේ.

පසුදා හිමිදිරියේම වෙඩිබෙහෙත් වාෂ්පය හා කලවං වුණු අරුණලු කැරලි හරහා ඔහු ගංකරේ ඇවිදින්නට ගියේය. විවිධාකාර සුන්බුන් ද්‍රව්‍ය හා සත්ව මළකුණු අතරෙහි , විසිර ගිය ධාන්‍ය ගෝනි හා බිඳී ගිය ගැල් අසල අන්දමන්දව කල් ගෙවන පණ නුසුන් බූරුවන් රැස එක්කාසු කරගත් ඔහු සිය නිවස්නට උන් හැම කැටුව ආවේය.

හේ එකී බූරුවන්ගේ ලොම් නානාවිධ ලුමිනස් වර්ණයන්ගෙන් පින්තාරු කරවා, ඒ මත රිදීවන් කුඩු විසුරුවා, උන්ගේ නළල් තළ මත වර්ණාලේපිත දාරුමය වූ අං, සම් පටිවලින් බැඳ රඳවා, එහැම දැන් යුනිකෝන්වරු බැව් පවසා සායම් බාල්දි හා බුරුසු කීපයකුත්, නිලට හුරු කොළ පෑති දෝ කොළට හුරු නිල් පෑතිදෝ සිතාගැන්මට අපෑදිලි පෑයකින් යුත් රයිපලයත්, ලා තැඹිලි පෑ පතොරම් පිරි පෙට්ටියත් පමණක්ම රැගෙන වනපෙතට වැද යන්නට ගියේය.

  • * * * * * * * * * * * * * * * *

අංක එක යුනිකෝන් බූරුවා


“එයා මාව පාට කළේ ලුමිනස් රෝස පාටකින්, කැමති පාටක අඟක් තෝරගන්න අපිට ඉඩකඩ ලැබිලා තිබුණා.මං තෝරගත්තෙ අළු පාට.ඒ වෙද්දිත් මං කලින් වැඩකරපු බාර්ලි ගෝනි අදින තවලමේ ගැල් ගොඩක් පොකුරු බෝම්බ වැටිලා විනාස වෙලයි තිබ්බෙ.මේ ලුමිනස් පාට නිසා ආයෙ වෙන තවලම්වල වැඩ ලැබෙන එකක් නෑ කියලා එයා මට මුලින්ම වගේ කිව්වා. කෝම වුණත් එයා අපිව බලෙන් පාට කළේ නෑ.අපි කැමත්තෙන්මයි එයාට ඒකට ඉඩ දුන්නෙ”

අංක එක යුනිකෝන් බූරුවාගේ පෙම්වතිය


“එයා මාව පාට කළේ ලුමිනස් ලා කොළ පාටකින්. මංනම් කැමති වුණේ රෝස පාටටම තමා. ඒත් එයා තමා කිව්වෙ දෙන්නම එකම පාටින් ඉන්නවට වඩා පාට දෙකකින් ඉද්දිත් ලස්සනයි කියලා.අඟට නම් ඉතින් අළු පාට තෝරගත්තට ලොකු අවුලක් නෑ කියලයි එයා කිව්වෙ. කෝම වුණත් එයා අපිව බලෙන් පාට කළේ නෑනෙ. අපි අපේ කැමත්තෙන්ම තමයි එයාට ඒකට ඉඩ දුන්නෙ.”

අංක තුන යුනිකෝන් බූරුවා


“මට යුනිකෝන් කෙනෙක් වෙන්න නම් ආසාවක් තිබ්බෙ නෑ.ඒ නිසා මං කෝමත් මට අඟක්නම් එපා කියලා එයාට කිව්වා.ඒත් සායම් බාල්දියෙ තිබ්බ ලුමිනස් කහපාට දැක්කමනම් මටත් ටිකක් ආස හිතුණා ඒ පාටින් පාට වෙන්න. එයා මෙහෙන් ගිහින් සති දෙහෙකට විතර පස්සෙ අපි ටික රෑට ලගින්න එයාගෙ ගෙයි සිමෙන්තියට ගාල්වුණා.

උළු කැට නැති වහලේ ඉතිරි වෙලා තිබ්බ පාට පාට බාල්කයි හා හරස් පොලු කෑලියි මැද්දෙන් හඳ එළිය වැටෙනකොට – තාරුකා පේනකොට වෙනදට වඩා අපූරුවකුත් තිබුණා.
එදා රෑ එයා ඔය දොළ පාර දිගේ පහළට ගියයි කියන්න තියෙන හොඳම සාක්කිය තමයි දැන් ඔය දොළ දිගට තියෙන ගල් කුළු පාට පාටින් පේන්න තියෙන එක. පල්ලෙහාට යන ගමන් එයා එව්වත් පාට කරගෙනම තමයි යන්න ඇත්තේ.

ඔය කියන දවසෙ රෑ එයා අපි දහතුන් දෙනෙක්ව සැරින් සැරේ පාට කළා. ඒ කියන්නේ ඒ වැඩේට කැමැත්තෙන් ඉදිරිපත් වුණේ අපි දහතුන් දෙනා විතරයි.එයා ගිහින් සති තුනකට විතර පස්සෙ දවසක් රෑ සතුරු ප්‍රාන්තේ තවලම් කාණ්ඩයක් ඇවිදින් අපි ලැගලා උන්නු ගේ වට කළා. උන් අපෙන් නවදෙනෙක්ව කුදලගෙන ගියා.අපි හතරදෙනා පැන ගත්තා.”

අංක හතර යුනිකෝන් බූරුවා


“යුනිකෝන්වරු වුණහම වෙන්න පුලුවන් විනම්බෑසි සේරෝම අපිට කියලා දීලම තමයි එයා අපිව පාට කරන්න පටන් ගත්තෙ. අපිත් ඒවට එකඟවෙලා තමා ලුමිනස් සායම් ගල්වාපු පින්සල් පාරවල්වලට ඉඩ දුන්නෙ.
සුහුඹුල් යුනිකෝන්වරු හැටියට කාගෙහරි සුරංගනා කතාවක් ඇතුළට රිංග ගත්තොත් ටික කාලෙකට හරි අපිට තවලම්වලින් බේරිලා ඉන්න පුලුවන් කියලයි එයා අපිට කිව්වෙ.
ඊට පස්සෙ අපි හතරදෙනා එකතු වෙලා සුරඟන කතාකරුවන් කීප දෙනෙක්ම හොයාගෙන ගිහින් අපේ මේ ප්‍රශ්නය ඒ අයට පැහැදිලි කළා.ඒත් ඒ කිසි කෙනෙක් අපේ කතාව පිළිගත්ත පාටක්නම් පේන්න තිබුන් නෑ

සුරඟන කතා ලේඛිකා රංගනා වර්ණවීර විතරයි අපිට ටිකක්වත් කන් දුන්නෙ. එයා කිව්වෙ එයා ඊළඟට ලියන්න ඉන්න පොතක් ඇතුළට අපි හතරදෙනාව ගන්න උත්සාහ කරන්නම් කියලයි. එයා දැනට ලියමින් ඉන්න සුරංගනා කතා පොත ඇතුළෙ ඉන්න ලා නිල්පාට උල් අඟක් තියෙන යුනිකෝන්ට ඒ වෙලාවෙදි අපේ මේ සංවාදය හොඳට ඇහුණා කියලයි මට හිතෙන්නේ.

කෝමත් සුරඟන කතා ලේඛිකාවගේ මරණ පරීක්ෂණ වාර්තාව දැනටමත් මග එනවා ඇති. එයාම නිර්මාණය කරපු ලා නිල්පාට උල් අඟක් තියෙන යුනිකෝන් එයාට පහර දෙන්න ඉඩ තියෙනවැයි කියන්න පුළුවන් විදිහේ සාක්කි කීපයක්ම එයා ඒ ලියමින් හිටපු සුරංගනා කතාව දෙතුන් පාරක් කියවද්දි අහුවෙනවා.

එදා රෑ අපි රංගනා වර්ණවීරව මුණගැහෙන්න ගියා තමයි.
ඒත් අපි කිසිකෙනෙක් මේ මරණයට සම්බන්ධ නෑ.
ඒ නිසා කරුණාකරලා අපිට යන්න දෙන්න.”

~ රුවන් බන්දුජීව

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...