කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය මෙරටට !

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

අද (10) පෙරවරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී බංග්ලාදේශ අගමැතිනිය සඳහන් කර ඇත්තේ, ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බවයි.

සමූපකාර ක්‍රමවේදය අනුව බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අධ්‍යයනය කොට එහි අත්දැකීම් ද ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලාංකික කෘෂි ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බංග්ලාදේශයට යැවීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එකඟතාවය පළ කල බව පැවසේ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන්ද මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුමේ කටයුතු අවසන් වූ පසුව බංග්ලාදේශය සමඟද නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

බංග්ලාදේශයේ පෞද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කරන බවට ද බංග්ලාදේශ අගමැතිවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පොරොන්දු වූවාය. දෙරටේ ආයෝජන මණ්ඩල සම්බන්ධීකරණය කරමින් මෙම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ද නායක දෙපළ සාකච්ඡා කළ බව පැවසේ .

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරුණු බව වාර්තා වේ .

බංග්ලාදේශයේ පැවැත්වෙන බිම්ස්ටේක් සමුළුවට සහභාගී වන ලෙස මෙහිදී බංග්ලාදේශ අගමැතිවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළ අතර එම සමුළුව පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලයක් බැවින් ඒ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍ය අලි සබ්‍රි යන මහත්වරුන් සහභාගී කරවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංගලාදේශ අගමැතිවරියට දැනුම් දෙනු ලැබීය.

මැතිවරණයෙන් පසුව තමා බංග්ලාදේශයේ සංචාරයකට පැමිණෙන බවට ද ජනාධිපතිවරයා බංග්ලාදේශ අගමැතිවරිය වෙත පොරොන්දු වී තිබෙන බවද කියැවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමට හැකිවීම පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බව මෙහිදී අදහස් දක්වමින් බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

එම කටයුතු වෙනුවෙන් බංග්ලාදේශයෙන් මෙන්ම ඉන්දියාවෙන් ලැබුණු සහයෝගය මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කර සිටි බවද පැවසේ .

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සහ බංග්ලාදේශ දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...