රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට එම පක්ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ද වන නාමල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බවට එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී අද (07) පෙරවරුවේ පැවැති “2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය” අමතමින් මහ ලේකම්වරයා විසින් ඒ බව නිවේදනය කළේය.
මෙහිදී අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නේ,
“2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහී ජනාධිපතිධූර අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. අපේ ජනාධිපතිධූර අපේක්ෂකයා තෝරා පත්කර ගැනීමේ දී මූලික කරුණු කිහිපයක් දැඩිව සැලකිල්ලට ගෙන තිබෙනවා. එම සැලකිලිමත්භාවයේ ප්රමුඛ අපේක්ෂාව වූයේ ජනාධිපතිවරණය ජයගැනීම සහ ජයග්රහණයෙන් පසුව මාතෘභූමියේත් පොදු මහජනතාවගේත් සමස්ත ශ්‍රී ලාංකේය සමාජ පද්ධතියේත් යහපත සහ දියුණුවයි. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය පිළිබඳ අවසන් නිගමනයකට එළඹීමේ දී දැඩිව අප විසින් අවධානයට ගත් කරුණු කිහිපයක් තිබෙනවා.
ස්වදේශික සංස්කෘතික හර පද්ධතීන් පිළිගෙන ඊට ගරු කරමින් කටයුතු කළහැකි සහ සමස්ත ශ්‍රී ලාංකේය ජන හදවත් දිනගත හැකි ආකර්ෂණීය නැවුම් නායකත්ව ලක්ෂණවලින් හෙබි අයෙකු වීම, තත්කාලීන සමාජ ආර්ථික සහ දේශපාලනික තත්ත්වයන් පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතුව රට හමුවේ පවතින අභියෝග ජයගනිමින් පොදු ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කළහැකි අයෙකුවීම, මහින්ද චින්තන ජාතික න්‍යාය පත්‍රයේ මූලික ප්රමිතීන් අනුගමනය කරමින් අප රට සතු ජාතික සම්පත් සහ අනන්‍යතාවයන් සුරක්ෂිත කර පෝෂණය කරමින් අනාගතවාදී දැක්මකින් යුතුව දියුණු ජාතික ආර්ථිකයක් වෙත මවුබිම ඔසවා තැබිය හැකි අලුත් නායකයෙක් වීම අවශ්‍ය වෙනවා.
ඊට අමතරව අභියෝග රැසක් මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළ සහ පසුගිය ජාතික මැතිවරණ තුනේදීම අද්විතීය ජයග්රහණයන් වෙත අප පක්ෂය ඔසවා ලැබූ මිලියන සංඛ්‍යාත ජන සමූහයේ පොදුජන අපේක්ෂක්ෂාවන් යතාර්ථයක් බවට පත්කළ හැකි අයෙකුවීම, නූතන ලෝකයේ අතිනවීන ප්රවණතාවයන් පිළිබඳ යාවත්කාලීන දැනුමක් සහිතව ගෝලීය සමාජ සහ ආර්ථික පසුතලයෙහි ශ්‍රී ලංකා ජනරජයේ නාමය අනගිභවනීය අනන්‍යතාවයක් ලෙස සටහන් තැබිය හැකි අලුත් නායකයෙකු වීම ආදිය ගැඹුරින් විමර්ශනයට ලක්ව තිබෙනවා. මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහී ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම්කරන බව ප්‍රකාශ කරනවා” යැයි පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන ඒ මහතා පසුගිය පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ක්‍රීඩා, යෞවන කටයුතු ඇමැතිධූරය ඇතුළුව අමාත්‍යධූර කීහිපයක කටයුතු කළේය. තිස්අටවැනි වියේ පසුවන නාමල් රාජපක්ෂ මහතා පසුගිය 2010 වසරේ පැවැති මහ මැතිවරණයේ දී මුල්වරට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. ඊට අමතරව දක්ෂ රග්බි ක්‍රීඩකයෙක් වන නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වය ද දැරිය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෘත්තියෙන් නීතීඥවරයෙකි.
“ශක්තිමත්ව මැතිවරණය විශ්වාස කරන ලෙසත් තම පක්ෂය විශ්වාස කරන ලෙසත් ඔහු පාර්ශිකයන්ට පවසන අතර පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිසට සාකච්ඡා කර එකඟතාවකට පැමිණ නැවත එක්වන ලෙස එහිදී නාමල් රාජපක්ෂ මහතා තම පාක්ෂිකයන්ට අරාධනා කළා“
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන් වන ඉන්දික අනුරුද්ධ, ඩී.වී චානක, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ප්‍රසන්න රණවීර, තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර, සංජීව එදිරිමාන්න, තිස්ස කුට්ටිආරච්චි, නිපුණ රණවක, ජයන්ත කැටගොඩ මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.