*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

වඳුරු උණ: ඔලුවෙන් හිටන් කිව්වත් හැදෙන්නැති මීඩියාකරුවන්ගේ වඳුරු කුණුහරුප

සංස්කාරක (LGBTIQ)

අගෝස්තු 18, කොළඹ (LNW): වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සමරිසි ලිංගික සබඳතා අපරාධ වරදක් ලෙස සලකමින් දණ්ඩ නීති සංග්‍රහයේ විවිධ වගන්ති අවභාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා දක්වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ඔවුනට වධහිංසා පැමිණවීම ආදී ක්‍රියා වළක්වනු වස් එකී වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කරමින් දොළවත්ත මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනැවිත් මේ වන විට වසරකට අධික කාලයක් ගත වී තිබේ.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත්කළ කාලසීමාවතුළ ඊට විරෝධය පළකරමින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පවා නිශ්ප්‍රභා කරමින් ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ පළමු වරට, වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සමරිසි ලිංගික සබඳතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බවත්, ඒ අනුව එම සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරය ප්‍රමාණවත් බවත් නිගමනය කිරීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

මෙම පනත් කෙටුම්පතට ඉදිරිපත්කළ විරෝධතා අතර පැවති එක් තර්කයක් වූයේ එසේ වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීමෙන් ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියේ ඉහළයාමක් ඇතිවිය හැකි බවයි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය තුළින් මෙම තර්කය ද බැහැරකළ බව සිහිපත් කිරීමට අපි කැමැත්තෙමු.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් වූ වර්ෂයේ මැතිසබය තුළ එය එතරම් උණුසුම් මාතෘකාවක් බවට පත්ව නොතිබුණ ද, ඉතිහාසය ඉතිහාසය විසින්ම යළි ආවර්ජනය කරන්නාක් මෙන් මැතිවරණ උණුසුමක් මධ්‍යයේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව පිළිබඳ සංවාදය යළි කරළියට පැමිණ තිබේ. මෙරට ඉතිහාසයේ පළමු වරට සියලු ප්‍රධාන ආගමික උත්තරීතර සභා විසින් සමරිසි පුද්ගලයන් හට සමාන අයිතිවාසිකම් ලබා දීමට විරෝධය පළකරන ආකාරයක් දක්නට ලැබී තිබේ. එමෙන්ම ඇතැම් දේශපාලඥයන් ද මීට විරෝධය එල්ල කරන ආකාරයක් නිරීක්ෂණයකළ හැකිය. 

ඇවිලෙන ගින්නට පිදුරු දමන්නාක් මෙන් විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ නවතම ආයුධය බවට දැන් පත්ව තිබෙන්නේ මෑත දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානමක් ලෙස නම්කළ වඳුරු උණේ mpox තත්ත්වයයි. අප්‍රිකාව තුළ මෙම mpox තත්ත්වයේ ව්‍යාප්තිය දරුණු මට්ටමකට පැමිණ ඇති අතර, මෙය අනෙකුත් රටවලට ද ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරුණු දක්වා තිබේ.

ඉතින් මෙය සමරිසි ප්‍රජාවට අදාළ වන්නේ කෙසේ ද?

වඳුරු උණ හෙවත් මංකිපොක්ස් (monkeypox) තත්ත්වය ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය විය හැකි බවට මීට වසර දෙකකට පෙර නිවේදනය වූ අතර, එය පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් (Men who have Sex with Men: MSM) අතර ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් ඇති බවට මතයක් පළව තිබිණි. පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් යනු සමරිසි පුරුෂයන් නොවන බවත් මෙම පදය විද්‍යාත්මකව යොදා ගැනෙනුයේ හුදෙක් පුරුෂයන් අතර සිදුවන ලිංගික චර්යාව මත පදනම්ව බවත් LNW අප විසින් අවස්ථා ගණනාවක දී පෙන්වා දී තිබේ.

පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් අතර සමරිසි පුරුෂයන්, ද්වීරිසි පුරුෂයන් පමණක් නොව විෂමරිසි පුරුෂයන් ද සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී තිබෙන පසුබිමක, එය සමරිසි පුරුෂයන් ඉලක්කකොට ගෙන එච්අයිවී වැනි ආසාදන ව්‍යාප්තියේ අවදානම ඔවුන් අතර වැඩි බවට මතයක් ජනගත කර තිබෙන්නේ වෛද්‍යවරුන් විසින් නොව මාධ්‍ය විසින් බවට ද අප විසින් අවස්ථා ගණනාවක දී පෙන්වා දී තිබේ.

වඳුරු උණ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී ද මෙම තත්ත්වය එලෙසම වලංගුවන අතර, ඒ අනුව පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් අතර වඳුරු උණෙ හි mpox තත්ත්වයේ ව්‍යාප්තියේ ඉහළ යාමක් නිරීක්ෂණයකළ හැකි නම් එය විෂමරිසි පුරුෂයන් ට ද අදාළ බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

80 දශකයේ සහ 90 දශකයේ මුල් භාගයේ ඒඩ්ස් වසංගත තත්ත්වයක් පැවති සමයේ පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් අතර එච්අයිවී ව්‍යාප්තිය ඉහළ යාමක් සිදුවූයේ සමරිසි ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් සමාජයේ පැවති අපකීර්තිමත් ආකල්ප නිසා ඔවුන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සායන වෙත යාමට බිය වූ නිසා ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් අතිබහුතරයකට එච්අයිවී සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වී ජීවිතයට සමුදීමට සිදු විය. බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව (NHS) විසින් ද එච්අයිවී තත්ත්වය ඒඩ්ස් වසංගත තත්ත්වයක් බවට පැවති සමයේ ප්‍රතිකාර ආරම්භ කිරීමට හැකියාව තිබිය දී හිතාමතා ම සමරිසි පුරුෂයන් ඇතුළු එච්අයිවී වෛරසය ආසාදනය වූවන් 30,000 කට අධික සංඛ්‍යාවකට මිය යාමට ඉඩ දී බලා සිටි බව මෑත දින පිළිගෙන තිබිණි. 

අතිවිශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බ්‍රිතාන්‍යයේ NHS සේවාව විසින් පවා මෙවන් අපරාධයක් සිදුකළ බවට ඔවුන් විසින් ම පිළිගෙන තිබිය දී, ශ්‍රී ලංකාව පිළිබඳ කුමන කතා ද යන්න අපට ඇසීමට සිදුව තිබේ.

ඉතිහාසයේ වැරදිවලින් අප පාඩම් උගනිය යුතු ය. වඳුරු උණෙහි mpox තත්ත්වය පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් අතර ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින්නේ නම්, “සමලිංගිකයන් අතර වඳුරු උණ ව්‍යාප්තියේ ඉහළ යාමක්” වැනි අසැබි ශීර්ෂපාඨ භාවිතා කරනු වෙනුවට, මැතිසබය උණුසුම් කිරීමට හා සමරිසිභීතික දේශපාලඥයන් හට ආතල් ලබා දෙනු වෙනුවට මාධ්‍ය සදාචාරය ආරක්ෂාකර ගනිමින් මෙවැනි අති සංවේදී සෞඛ්‍ය කරුණු සමාජ අපකීර්තිය ප්‍රවර්ධනය නොකරමින් වාර්තා කිරීමට මාධ්‍ය ප්‍රජාව වග බලා ගත යුතුය.

සබැඳි පුවත්:

මූලාශ්‍ර:

https://www.youtube.com/watch?v=jza8sr2Y7RU
https://www.ucl.ac.uk/news/2024/apr/gay-and-bisexual-men-diagnosed-mpox-faced-substantial-stigma
https://www.aidsmap.com/news/jul-2023/perfect-storm-stigma-gay-and-bisexual-mens-experiences-mpox
https://www.bbc.com/news/uk-61609888
https://www.bbc.com/news/health-69022726
https://www.hirunews.lk/319714/%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B7%80-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB-%E0%B7%80%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%8B%E0%B6%AB-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8-%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7-%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan