*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සමලිංගිකත්වය නීතිවිරෝධී නැහැ! නීතිය වැරදියට අර්තනිරූපණය කරනවා – නීතීඥ අරිත වික්‍රමසිංහ සමඟ කතාබහ

LGBTIQ ප්‍රජාව, නැතහොත් සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී ප්‍රජාව, පසුගිය කාලය තුළ විටින් විට පුවත් මවන්නකු බවට පත්ව තිබුණා. එහෙත් ඒ කතා බහ තුළ ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත වීමක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ. කොවිඩ් වසංගතය තුළ දිවයින ලොක්ඩවුන් කර තිබූ කාලසීමාවේ දී එක්තරා යූටියුබ් චැනලයක හිමිකරුවකු විසින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රභල විරෝධී ව්‍යාපාරයක් ගෙන ගොස් තිබුණා. මීට අමතරව, පටු දේශපාලන අරමුණු තකා LGBTIQ දඩමීමා කර ගත් විවිධ ක්‍රියාකලාපයන් සමාජමාධ්‍ය ජාල වල දක්නට ලැබුණා. 

මීට දින කිහිපයකට පෙර, දිවයිනේ ප්‍රමුඛ පෙලේ පුවත්පතක් වාර්තා කර තිබුණේ ලිංගික ක්‍රියාකාරකම් වල නියැලීම හේතුවෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහි නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවයි. එහෙත් එම පුවතේ අඩංගු ඇතැම් කරුණු වල නිරවද්‍යතාව පිළිබඳ ගැටළු පැනනැගී තිබුණා.

කෙසේ වෙතත්, එම පුවතත් සමඟ සමාජ මාධ්‍ය ජාල වල මේ පිළිබඳ පුළුල් කතාබහක් ඇතිවූවා. සමරිසි ප්‍රජාව, හෝ සමස්තයක් වශයෙන් LGBTIQ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදුවන උසුළු විසුළු, වෙනස්කොට සැලකීම්, කොන්කොට සැලකීම් හා හිංසනයන් වලද යම් ප්‍රවණතාවක් ඇති කිරීමට එය උර දුන්නේ යැයි කිවතොත් වැරදි නැහැ. LGBTIQ ප්‍රජාව සමච්චලයට ලක් කිරීම සඳහා විවිධ පෝස්ටු පළවී තිබුණා. එපමණක් නොවෙයි, සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය මෑත දිනක දී මාධ්‍ය වෙත සිදුකර තිබූ ප්‍රකාශය ඔස්සේ ද සමරිසි ප්‍රජාව පිළිබඳ සංවාදය යළි කරලියට පැමිණියා කිවහොත් වඩා නිවැරදියි. 

ලංකාවේ බොහෝකලක පටන් මෙම කතිකාවත විවාදාත්මකව පවතින්න ඇති; නොවිසඳී පවතින්නට ඇති. දේශපාලන වාසි තකා යොදා ගැනෙන්නට ඇති. එවන් මතවාදයන් මැද LGBTIQ ප්‍රජාවට අනේක විධ දුක්කම්කටොළු වලට මුහුණ දෙන්නට සිදුවන්නට ත් ඇති. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ වාසය කරන ජනතාවට ඔවුන් අතර ම ජීවත් වන එක්තරා පුද්ගල කොට්ඨාශයක් සම්බන්ධයෙන් මෙසේ අවම දැනුමක් පැවතීම එක අතකින් කණගාටුදායක තත්ත්වයක්.

ඉතින් ලංකා නිව්ස් වෙබ් අප තීරණය කළා ශ්‍රී ලංකාවේ ජීවත් වන LGBTIQ ප්‍රජාව, ඔවුනට බලපාන නීති සහ ඔවුන්ගේ මානව හිමිකම් පිළිබඳ නීතීඥ අරිත වික්‍රමසිංහ මහතා සමඟ පුළුල් සාකච්ඡාවක යෙදෙන්න. ඔහු වෘත්තියෙන් නීතීවේදියකු මෙන්ම, එංගලන්තයේ හා වේල්ස් හි සොලිසිටර්වරයකු, ශ්‍රී ලංකාවේ  මානව හිමිකම් ක්‍රියාකරුවකු, හා ඊක්වලිටි ලෝ, ජස්ටිස් ප්‍රෝග්‍රෑම් වැඩසටහනේ අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරයි.


පහත දැක්වෙන්නේ නීතීඥ අරිත වික්‍රමසිංහ මහතා සහ අප අතර පැවති සංවාදයයි.

පළමුව ලැබෙන්නේ ඇසිය යුතුම පැණය. ඇත්තටම සමරිසි වීම ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ද? 

නැහැ. සමරිසි වීම ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී නැහැ. සමරිසි, ද්විරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී වීම තහනම් කිරීමට කිසිදු නීතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙසේවෙතත්, අපගේ දණ්ඩ නීති සංග්‍රහය විසින් ඇතැම් ලිංගික ක්‍රියා සහ හැසිරීම් තහනම් කොට තිබෙනවා එම ක්‍රියාවන්ට සම්බන්ධ වන පාර්ශවයන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කුමක් වූවත්. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ක්‍රියාත්මක වන නීති තමයි දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති.

365 වන වගන්තිය විසින් පිරිමියකු, කාන්තාවක සහ සතෙකු අතර සිදුවන ‘ස්වභාවධර්මයට එරෙහි’ ලිංගික සංසර්ග ක්‍රියාවක් සාපරාධී වරදක් ලෙස නම්කොට තිබෙනවා. 365අ වගන්තිය විසින් ඕනෑම පුද්ගලයකු අතර සිදුවන ‘තදබල අශෝභන’ (gross indecency) ක්‍රියා තහනම් කොට තිබෙනවා. මෙම නීති දෙකම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත රඳා පවතින්නේ නැහැ. නමුත් මෙම නීති වලින් හැඟවෙන දෑ ඉතාම අපහැදිලියි. ඒ වගේම ඔවුන් මේ තුළින් අදහස් කරන ඉතිහාසගත අර්තනිරූපණයන් ඔස්සේ ම යාම තුළින් LGBT ප්‍රජාව පීඩාවට පත් කිරීමට කටයුතු කරනවා පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාව තුළ සමරිසි පුරුෂයකු හෝ සමරිසි කාන්තාවක වීම සාපරාධී ක්‍රියාවක් ලෙස අර්ත නිරූපණය කිරීමට ද කටයුතු කරනවා.  

ඔබ 365 වගන්තිය දෙස බැලුවහොත්, ඇත්තෙන්ම දකුණු සහ ගිනිකොන දිග ආසියානු කලාපය පුරා, ගුද සංසර්ගය, මුඛ සංසර්ගය, කලවා සංසර්ගය පමණක් නොවෙයි අන්‍යොන්‍ය ස්වයංවින්දනය (mutual masturbation) පවා අස්වාභාවික ලිංගික ක්‍රියා ලෙස සලකා අධිකරණ තීන්දු ලබා දී තිබෙනවා. මෙකී වරද විෂමරිසි මෙන්ම සමරිසි යන දෙපාර්ශවය විසින්ම සිදුකොට තිබෙන්නට පුළුවන්.

ඇත්තෙන්ම, මුඛ සංසර්ගයේ යෙදීමේ වරද ගොනුවී තිබෙන්නේ විෂමරිසි පුද්ගලයින්ට එරෙහිවයි. සිංගප්පූරුව ඔවුන්ගේ දණ්ඩ නීති සංග්‍රහයේ මෙම වගන්තිය වෙනස් කර ගැනීමට බලපෑ එක හේතුවක් මෙය වූවා. ඇතැම් අධිකරණයන් විසින් ප්‍රජනනය කිරීමේ අරමුණින් තොරව සිදුකරන ඕනෑම ලිංගික කටයුත්තක් අස්වාභාවික ලෙස අර්තනිරූපණය කිරීමට මෙම වගන්තිය යොදා ගෙන තිබෙනවා. මෙම තීන්දු ඉතා ම විකාරරූපීයි, එපමණක් නොවෙයි, එමඟින් උපත් පාලනය කිරීම ද සාපරාධී වරදක් ලෙස අර්තකථනය කිරීමට ඉඩ තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ මෙම නීතීන් ප්‍රධාන වශයෙන් ම යොදා ගන්නේ සමරිසි පුරුෂයින් සහ සමරිසි කාන්තාවන්ට විරුද්ධවයි. ඒ තුළින් ප්‍රායෝගිකව ම සමරිසිභාවය සාපරාධීකරණය කොට තිබෙනවා.  


පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ලිංගිකව හැසිරීම ක් සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදුකොට තිබෙන බවට මාධ්‍ය වල අතිශෝක්තියෙන් වාර්තා කර තිබෙන අයුරු අප දුටුවා. ඇත්තෙන්ම, ලංකාවේ නීතිය අනුව, මේ පිරිමි පුද්ගලයින් දෙදෙනා ට එරෙහි ව ගොනු වී තිබෙන චෝදනා මොනවා ද?

මෙම නඩුවේ තොරතුරු විස්තරාත්මක වශයෙන් මම දන්නේ නැහැ. අධිකරණයේ නඩු කටයුතු සඳහා අප ගොනුකරමින් සිටිනවා, එවිට වැඩිවිස්තර දැන ගැනීමට ලැබේවි. නමුත්, මෙවන් සිදුවීම් අසාමාන්‍ය නැහැ. සෑම වර්ෂයකම LGBT ප්‍රජාව ඉලක්ක කොට ගත් අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් කිහිපයක් සිදුවනවා. කණගාටුවට කරුණ නම්, එකඟතාව මත සිදුවන සමරිසි ලිංගික ක්‍රියා අස්වාභාවික, හෝ තදබල අශෝභන ක්‍රියාවන් නොවේ යැයිද, එම නිසාම එය සාපරාධී වරදක් සේ සැලකිය නොහැකි යැයි ද කොපමණ ප්‍රගතිශීලී තීන්දු ලොව වටා අධිකරණයන් විසින් ලබා දී තිබුණ ත්, ශ්‍රී ලංකාවේ අධිකරණයන් තවමත් නිවැරදි අර්තනිරූපණයක් සඳහා සිය බලය යොදා නොගැනීමයි. ඒ තුළින් මෙවන් නඩු නිශ්ප්‍රභා කර දැමීමට, හෝ ඉහත දැක්වූ තීන්දුවට සමාන තීන්දුවක් ලබා දීමට හැකියාව තිබිය දී පවා පොලිසිය තවමත් අවබෝධයක් සහිත වැඩිහිටි පුද්ගලයින් ගේ පෞද්ගලික සබඳතා මත වරද පැටවීමට කටයුතු කරනවා.  


ඔබ නීතිවේදියෙක්. ඔබේ දැනුම අනුව, සමරිසි පුද්ගලයින් ට නීතිමය සහාය ලබා දීමට කැමති නීතීඥයින් ශ්‍රී ලංකාවේ සිටිනවා ද? 

ඔව්. අනිවාර්යයෙන්ම සමරිසි පුද්ගලයින් ට අවශ්‍ය නීතිමය සහාය ලබා දීමට කැමති නීතීඥයින් බොහෝ සිටිනවා. LGBT පුද්ගලයින් ට නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් පීඩා සිදුකරන නිසා, ඔවුනට අවශ්‍ය මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට සහාය ලබා දීමට කැමති නීතීඥයින් බොහෝ දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. කෙසේ වෙතත්, අප මුහුණපාන ලොකුම අභියෝගය තමයි ඉහත සඳහන් කළ නීති මත නඩු පැවරී ඇති සමරිසි පිරිමින් එය අභියෝගයට ලක් කිරීමට ඉදිරියට පැමිණීමට කැමති නැහැ. බොහෝ දෙනෙකු සාපරාධීකරණය මත තමාට ඇතිවූ ලැජ්ජාව විඳවීමට වඩා වරද පිළිගෙන නිහඬ වීමටයි කැමති. 


වැඩිහිටියන් දෙදෙනෙකු අතර ස්වකැමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාකාරකම් වලට ශ්‍රී ලංකාවේ නීතිය බලපාන්නේ කොහොමද?

ඉහත සඳහන් කළ ආකාරයට, දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති යටතේ වැඩිහිටියන් අතර එකඟතාව මත ඇතිවන පෞද්ගලික සබඳතාවයකට අත්තනෝමතික ලෙස හිස පෙවීමට පොලීසියට බලය ලැබී තිබෙනවා. මෙම නීතීන් වල පවතින අපහැදිලිභාවය නිසා ම පොලීසියට අවස්ථාවක් උදාවනවා ඔවුනොවුන්ගේ සදාචාර තත්ත්වයන් මත තමන්ට අවශ්‍ය ආකාරයට එය අර්තනිරූපණය කර ගනිමින් බලය යොදන්න. මෙම අත්තනෝමතික සහ වෙනස්කොට සලකනු ලබන නීති ප්‍රතිපාදන අභියෝගයට ලක්කළ යුතුයි. ඒ තුළින් ඉතා ශක්තිමත් නඩුවක් ගොනුකළ හැකියි. 

සදාචාරය මැයෙන් සවුදි අරාබිය වැනි රටවල බැටන් පොලු රැගෙන කඩ සාප්පු ගානේ ඇවිද යමින් ඒවාහි සිටින යුවල් වෙන් කිරීමට, සහ ඔවුන් ඇඳ සිටින ඇඳුමේ දිග සෙවීමට කටයුතු කරන පොලිස් නිලධාරීන් සහ අපේ රටේ පොලීසිය අතර එතරම් වෙනසක් නැහැ. කෙසේවෙතත්, එකඟතාව මත වැඩිහිටියන් අතර සිදුවන සබඳතා වලට දඬුවම් පැමිණවීමට වෙහෙස වෙන අපේ පොලීසිය, එකඟතාවයක් නොමැති ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට, විශේෂයෙන් ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන ලිංගික අපයෝජන මැඩපැවැත්වීමට නම් ඔය නීතිය ක්‍රියාත්මක කරන්නේ බොහොම අඩුවෙන්. 


ඔබ සිතනා පරිදි සමරිසි වීම, හෝ සම්මතය යයි සාදා ගෙන තිබෙන අනන්‍යතාවයන්ට පරිබාහිර අන්දමින් යම් අනන්‍යතාවක් දැරීම ශ්‍රී ලංකාවේ ලොකු අර්බුදයක් වී තිබෙන්නේ ඇයි?

LGBT+ වීම රට තුළ අර්බුදයක් ඇති කරවීමට ප්‍රධාන වශයෙන් ම ස්තූතිවන්ත විය යුත්තේ රටේ පැවති යුරෝපීය යටත්විජීත පාලනයට. අප රටේ පැවති ඓතිහාසික සංස්කෘතික හා ආගමික වටිනාකම් තුළ තිබූ පිළිගැනීම, අනුමත කිරීම ආදී ගුණාංගයන් දරුණු වික්ටෝරියානු බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන්ගෙන් වෙලා ගැනීම නිසා මර්දනය හා පාලනය රට තුළ ක්‍රියාත්මක වූවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයින් විසින් අපගේ රට යටත් විජිතයක් බවට පත් කළ කාලවකවානුවේදී, අපගේ ආගම්, අපගේ දර්ශනය සහ සංස්කෘතිය ප්‍රාථමික සහ අශික්ෂිත ලෙස සලකනු ලැබුවා. අමතක කරන්න එපා, ඔවුන් මේ අශික්ෂිත යැයි සලකනු ලැබුවේ LGBT+ පුද්ගලයින්ට ඓතිහාසික පිළිගැනීමක් තිබූ, එම ප්‍රජාව ප්‍රමුඛ භූමිකාවක් නියෝජනය කළ ශ්‍රී ලාංකීය සංස්කෘතිය යි.  

අපව යටත්විජිත වාසීන් ලෙසට තබා ගත් අධිරාජ්‍යවාදීන් ම පසුකළක ඔවුන් අතින් සිදුවූ වරද නිවැරදි කර ගැනීමට සහ එමඟින් LGBT ප්‍රජාවට සිදුවූ අසාධාරණය නිවැරදි කිරීමට මේ දක්වා ම කටයුතු කර තිබුණත්, අවාසනාවට, ශ්‍රී ලාංකික අපිට තවමත් යටත්විජිත ස්වාමීන් විසින් හඳුන්වා දුන් මෙම මර්දනකාරී නීති පවත්වා ගැනීමට අවශ්‍යතාවක් මතුව තිබෙන බව පෙනී යනවා. මම සැමවිටම කියන්නේ, ශ්‍රී ලාංකික ජනතාව සැබෑ නිදහස තවමත් ලබා නැහැ. අප සිදුකරනු ලැබුවේ සුදු පාලකයින් වෙනුවට දුඹුරු පැහැති අය මාරු කිරීම පමණයි. අපගේ නීති සහ ප්‍රතිගාමී ප්‍රතිපත්ති අප විසින් ම ඉවත් කර නොගන්නා තුරාවට, අපට සම්පූර්ණ නිදහස ලැබී තිබෙනවා යැයි කීමට බැහැ. 


සමරිසි පුද්ගලයින් යනු ‘සෙක්ස් වලට ඇබ්බැහි වුණු කණ්ඩායමක්’ කියලා ලේබල් කරන්න මිනිසුන්ගේ ලොකු උනන්දුවක් තිබෙනවා. ඇත්තෙන් ම සමරිසි මිනිසුන් සෙක්ස් වලට ඇබ්බැහි වූවන් ද? 

කිසිසේත්ම නැහැ! සමරිසි මිනිසුන් යනු ලිංගික ක්‍රියා වලට ඇබ්බැහි වූවන් නොවෙයි. මෙවන් චින්තනයක් ඇතිවීම සමරිසිභීතිකාවේ සහ අප බොහෝ දෙනෙකු අතර පවතින අභ්‍යන්තර සමරිසිභීතිකාවේ ප්‍රතිඵලයක්. 

මගේ මතය අනුව, සමරිසි මිනිසුන් විෂමරිසි මිනිසුන් තරම් ලිංගික ක්‍රියා වල නිරත වන්නේ නැහැ. විෂමරිසි මිනිසුන් නිසැකවම සමරිසි මිනිසුන්ට වඩා ලිංගික ක්‍රියා වල නියැලෙනවා, එය ඔප්පු කිරීමට ජනගහන වර්ධනය වගේම මදි නොවෙන්න විකිණෙන කොන්ඩම සහ උපත්පාලන පෙති සාක්ෂි දරනවා. 

ඒ හැර වූවද, ලිංගික ක්‍රියා වල නියැලීමේ කිසිදු වරදක් නැහැ. ලිංගික ක්‍රියා ස්වභාවිකයි, සෞඛ්‍ය සම්පන්නයි. 

අප තේරුම්ගත යුතු දෙයක් තිබෙනවා. විෂමරිසි පුද්ගලයින් මෙන් නොවෙයි, සමරිසි පුද්ගලයින් ට නීත්‍යානුකූල සබඳතා පැවැත්වීමට, සහ එම සබඳතා සමාජය තුළ පිළිගැනීම හා නීතියෙන් රැකවරණය ලැබීම අහිමිව තිබෙනවා. සමරිසි සබඳතා දෙස, විශේෂයෙන්ම ලිංගික සබඳතා දෙස, අප බලන ආකාරයට මෙහි බලපෑමක් ඇතිකරනු ලබනවා.  


LGBTIQ ප්‍රජාව ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ම කොටසක් යැයි සාක්ෂි පැවතීමට ඉඩ තිබෙනවා කියා අප අසා තිබෙනවා. නමුත්, කවදා සිට ද මේ LGBTIQ ප්‍රජාව යනු සංස්කෘතියට පටහැනි මිනිසුන් යැයි හංවඩු ගැසීම ආරම්භ වූයේ? වික්ටෝරියානු පාලනයේ බලපෑමක් ඊට තිබෙනවා ද?

– ඔව්. මාගේ ඉහත පිළිතුර බලන්න. 


අප දන්නවා නීතිපතිවරයා විසින් 2014 වර්ෂයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ LGBTIQ පුද්ගලයින්ගේ අයීතීන් ආරක්ෂා වී තිබෙන බවට තහවුරු කරනු ලැබුවා. එපමණක් නෙමෙයි, පවතින නීතිය යොදා ගනිමින් LGBTIQ ප්‍රජාවට වෙනස්කොට සැලකීම් සිදුකළ නොහැකි බවද ඔහු අවධාරණය කළා. නමුත් මේ පිළිබඳ ජනමාධ්‍ය අවධානය යොමුනොකළේ ඇයි? අධිකරණය මෙම කරුණ මගහරිනවා ද?

ඔව්. 2014 දී නීතිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා LGBTIQ පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ආරක්ෂා වී තිබෙන බවත්, ඔවුනට වෙනස්කොට සැලකීම් සිදුකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පටහැනි බවත්. නීතිපතිවරයා තවදුරටත් අවධාරණය කරනු ලැබුවා පවතින නීතීන් LGBTIQ ප්‍රජාවට වෙනස්කොට සැලකීම් සිදුවන අන්දමට යොදා ගත නොහැකි බවත්, එසේ සිදුවන්නේ නම් එය ද ව්‍යවස්ථා විරෝධී බවත්. නීතිපතිවරයා ගේ මෙම පණිවුඩය 2017 සහ 2019 වර්ෂ වලදී ද නැවත තහවුරු කරනු ලැබුවා. අවාසනාවට, මෙම පණිවුඩය පිළිබඳ ජනමාධ්‍ය වලට තබා පොලීසිය ට වත් අවබෝධයක් තිබුණු බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මෙම පණිවුඩය සමාජගත කිරීමට කටයුතු කර තිබුණේ ද නැහැ. නීතිපතිවරයා ගේ මෙම ස්ථාවරය හැකිතරම් සමාජගත කිරීම ඉතාමත් වැදගත්. අප තේරුම්ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ නීතිපතිවරයා විසින් මෙම ස්ථාවරය පළමු වරට ප්‍රකාශයට පත්කරනු ලැබුවේ එවකට අතිගරු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ පාලන සමයේ දී. නීතිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේ රජයේ ප්‍රධාන නීති උපදේශක ලෙස වන අතරම, මෙම ස්ථාවරය තවමත් ක්‍රියාත්මක විය යුතුයි.   

අධිකරණය දෙස බැලුවහොත්, අධිකරණයට ත් මේ නිවේදනය පිළිබඳ අදහසක් නොමැති බවක් තමයි පෙනී යන්නේ. මෙයටත් හේතුව වන්නේ, විනිසුරුවරුන් තීන්දු ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ඔවුන් වෙත ඉදිරිපත් කරන තර්ක ඇසුරින් වීම. මේ වන තුරුත් කිසිදු නීතීඥයෙකු විසින් අධිකරණය ඉදිරියේ මෙවන් තර්කයක් ගොඩනඟා තිබෙනවා කියා මා සිතන්නේ නැහැ. කෙසේවෙතත්, වැඩිහිටියන් අතර පෞද්ගලිකව සිදුවන දෑ පොලීසිය විසින් සෙවීම මෙම නීතියේ අරමුණ විය යුතුද යන්න අධිකරණය ප්‍රශ්න කළ අවස්ථාවක් 2016 වර්ෂයෙන් අපට හමුවනවා. එම නඩුවේ දී, පොදු මෝටර් රථ ගාලක ලිංගිකව හැසිරුණේ යැයි 365අ වගන්තිය යටතේ පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව සාර්ථකව නඩු පවරනු ලැබුවා. කෙසේවෙතත්, එම නඩුවේ දී, දෙපාර්ශවයේ ම එකඟතාව මත මෙය සිදුවූ දෙයක් නිසා දඬුවමක් නියම නොකොට නිදහස් කර දැමීමට අධිකරණය තීන්දු කළා. 


ඔබ සිතනා පරිදි ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව කළ එළි බැසීමට බිය ඇයි? 

සමාජ ආකල්ප සහ නීති පද්ධතීන් ඔවුනට අවාසිදායක අන්දමින් ක්‍රියාත්මක වන නිසා ඔවුන් කළඑළි බැසීමට බියයි. 


සුළුතර ප්‍රජා කණ්ඩායම් වල අයිතීන් වෙනුවෙන් හඬ නඟන මිනිසුන් ‘එන්ජීඕ කාරයින්’ යනුවෙන් හංවඩු ගැසීම පිළිබඳ ඔබගේ මතය කුමක්ද? 

මම සිතන්නේ LGBT පුද්ගලයින් ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැඟීමට සංවිධාන ගණනාවක්ම මේ වන විට ක්‍රියාත්මක වීම ඉතාම අනර්ඝයි. බොහෝ සංවිධාන ඉතාමත් වැදගත් හා භාරදූර කර්තව්‍යයක් සිදුකරනු ලබනවා. කෙසේවෙතත්, ඔවුන්ගේ කාර්යයන් පුළුල් කිරීම සහ වැඩි පිරිසකට සහාය ලබා දීම සඳහා අවශ්‍ය අරමුදල් වෙත ප්‍රවේශ වීම අතින් අභියෝග කිහිපයකට මුහුණ දීමට ඔවුනට සිදුව තිබෙනවා. 

මගේ මතය අනුව, සිවිල් සමාජය තුළ ක්‍රියාකාරී පුද්ගලයින් ‘එන්ජීඕ කාරයින්’ යනුවෙන් හංවඩු ගැහෙනවා නම්, ඔවුන් ඒ නාමය අභිමානයෙන් භාරගත යුතුයි. මොකද කිව්වොත්, රජයන් විසින් සිදුකළ යුතුව තිබෙන කටයුතු රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදුකිරීම තුළින් ම පෙනී යන දේ තමයි වැඩිවශයෙන් ආන්තිකරණයට හා අසරණභාවයට පත්වූ ප්‍රජාවන් ආරක්ෂා කිරීමට රජය අසමත් ව තිබෙනවා කියන දෙය. රාජ්‍ය නොවන සංවිධාන සමඟ වැඩකරන පුද්ගලයින් ‘එන්ජීඕ’ යන නාමය අභිමානයෙන් සලකා කටයුතු කළ යුතුයි. එයින් අදහස් වන්නේ ඔබ බදු ගෙවන, ඔබේ ඡන්දයෙන් ම තේරී පත් වූ රජය විසින් කිරීමට අසමත් වූ දෑ ඔබ ඔබේ රටට සහ ප්‍රජාවට ශ්‍රේෂ්ඨ අන්දමින් ඉටුකරමින් සිටිනා බවයි. 


ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්ව යාමට සූදානම් වන බවට පසුගිය දින වල මාධ්‍ය වාර්තා පළවී තිබුණා. ඔබ සිතනා පරිදි, මෙය සිදුවූව හොත් ශ්‍රී ලංකාවේ ආන්තික ජන කණ්ඩායම් වල අයීතීන් වලට බලපෑමක් සිදුවෙයි ද? 

මෙම පුවත පිළිබඳ මා අසා නැහැ, එබැවින් ඒ පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට මා හට නොහැකියි. කෙසේවෙතත්, මානව හිමිකම් කවුන්සිලයට සහභාගී නොවීම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ, විශේෂයෙන් ම LGBT ප්‍රජාව වැනි ආන්තික කණ්ඩායම්වල, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජයට තවදුරටත් බැඳීම් නැතිවන්නේ යැයි හැඟවෙන්නේ නැහැ. අපට අපගේ මූලික අයිතිවාසිකම් ලැබෙන්නේ මානව හිමිකම් කවුන්සිලයෙන් වත්, ව්‍යවස්ථාවෙන් වත් නොවෙයි. අපට මූලික අයිතිවාසිකම් ලැබෙන්නේ උපතින්.


ශ්‍රී ලංකාවේ LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරය කොපමණ ශක්තිමත් යැයි ඔබ සිතනවා ද?

මම සිතන්නේ, එම ව්‍යාපාරය ගතවූ වසර ගණනාව පුරා සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙනවා. එය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වන බව පැහැදිලියි. එය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. 


මෑතකදී ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂකවරිය සංඛ්‍යායන දත්ත උපුටා දක්වමින් පැවසුවා එච්අයිවී ව්‍යාප්තිය වයස අවුරුදු 19 – 25 අතර පිරිමි පුද්ගලයින් අතර වැඩිවී ඇති බවත්, ඔවුන් ගෙන් වැඩි පිරිසක් සමරිසි පිරිමින් බවත්. මෙම ප්‍රකාශය කොපමණ වලංගු දැයි ඔබ සිතනවා ද? 

තරුණ සමරිසි පිරිමි පුද්ගලයින් අතර එච්අයිවී ව්‍යාප්තියේ ඉහළ අවදානමක් තිබෙනවා, ඒ සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සංඛ්‍යායන දත්ත අභියෝගයට ලක්කිරීමට මා සූදානම් නැහැ. කෙසේවෙතත්, අප තේරුම් ගත යුතුයි සමරිසි පුද්ගලයින් අතර අවදානමක් පවතිනවා, එයට සමරිසි ප්‍රජාවට දෝෂාරෝපණය කරනු වෙනුව‌ට රජය ඇතුළු සමරිසි පුද්ගලයින් අපරාධකරුවන් හා අමුතු පිරිසක් යැයි හංවඩු ගසන සියළු ආයතන වලට ඇඟිල්ල දිගුකළ යුතුයි. 

එච්අයිවී වලින් ස්වයංආරක්ෂාව ලබා ගැනීම සඳහා, තමා විසින් තමා ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු ලබා ගැනීම සහ නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන් වලට යොමුවීමේ හැකියාව අවශ්‍ය වනවා. සමරිසි මිනිසුන් අපරාධකරුවන් යැයි නම්කර සමාජයෙන් කොන්කිරීමට පෙළඹෙන රටක, විනිශ්චයට ලක්වීමකින් හෝ හිංසා පීඩා වලට ලක්වීමකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පවතී යන සහතිකය අප ලබා දෙන්නේ කොහොමද? එවන් තත්ත්වයක් තුළ ස්වයංආරක්ෂාව සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔවුන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ කෙසේද?

තරුණ සමරිසි පුද්ගලයින් අතර එච්අයිවී අවදානම ඉහළ යන්නේ නම්, එයින් හැඟවෙන්නේ රජය සහ ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් සේවාවන් සපයන ප්‍රජා කණ්ඩායම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම අතින් ඔවුන් අසමත් වී තිබෙනවා යන්නයි; ඔවුන් යොදාගන්නා උපක්‍රම තුළින් අධි අවදානම් කණ්ඩායම් (key populations) භීතියට පත්කොට අමුතු මිනිසුන් යැයි උදෘත කොට හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා යන්නයි. නිර්සාපරාධීකරණය (decriminalisation) සම්බන්ධයෙන් ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහන රජය සමඟ දැඩි ස්ථාවරයක් ගැනීමට අපොහොසත් වීම නිසා ඔවුන් මේ ආන්තීකරණයට තවදුරටත් හවුල්වනවා කිවහොත් නිවැරදියි. 

ශ්‍රී ලංකාවේ සමරිසි පිරිමින් ට එරෙහිව ක්‍රියාත්මක වූ සෑම නඩුකටයුත්තක දී ම පාහේ ඔවුන් අධිකරණයට මුදා හැරීමට පෙර ලිංගික සෞඛ්‍යය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂා සිදුකරන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන විසින්. මෙලෙස නඩු පැවරීමට සාක්ෂි වශයෙන් පොලීසිය යොදා ගන්නේ ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් නිකුත් කළ පෝරම.

ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහන නිර්සාපරාධීකරණය හා එච්අයිවී/ඒඩ්ස් තුරන් කිරීම පිළිබඳ සත්‍ය වශයෙන් ම කැපවී සිටිනවා නම්, ඔවුන් කිසිවිටක මෙවන් නඩු කටයුතු වලට පොලීසියට සහාය ලබා දිය යුතු වන්නේ නැහැ. ඔවුන්, එමෙන්ම රජය සහ පොලීසිය LGBT පුද්ගලයින් ගේ ජීවිත අවදානමේ හෙලීමේ වගකීම භාරගත යුතුයි. 


එච්අයිවී නිවාරණ වැඩපිළිවෙල තුළ නිතරම කියවෙන වචනයක් MSM. MSM සහ සමරිසි යනු එකම දෙය ද? 

MSM යනුවෙන් හඳුන්වන්නේ පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් (men who have sex with men) යන්නයි. එහෙත් ඔවුන් සැමවිටම සමරිසි යැයි හඳුනා ගන්නේ නැහැ. පිරිමි පුද්ගලයකු චිත්තවේගීයව, ලිංගිකව හා ශාරීරිකව තවත් පිරිමි පුද්ගලයකුට ආකර්ෂණය වනවා නම් තමයි ඔවුන් සමරිසි යැයි හඳුනා ගන්නේ. 


සත්‍ය කරුණු සහ මිත්‍යාව වෙන් කොට දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු දැයි ඔබ සිතනවා ද? 

ඔව්. LGBT පුද්ගලයින් විසින් මුහුණ පාන වෙනස්කොට සැලකීම් හා අපකීර්තීන් තවදුරටත් ව්‍යාකූල නොවන පරිදි මාධ්‍ය හැසිරවීමට සියළු මාධ්‍ය විසින් ප්‍රභල කාර්යභාරයක් සිදුකළ යුතුව තිබෙනවා. සත්‍ය කරුණු වැරදි අර්තනිරූපණය කිරීම සහ අතිශෝක්තියෙන් උකහා දැක්වීම මත ජීවිතයෙන් වන්දි ගෙවන්නේ අහිංසක මිනිසුන් බව ඔවුන් තේරුම් ගත යුතුයි.  


ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව දෛනිකව විවිධ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් වලට ලක්වනවා. සැමට සමානව සැලකීම සම්බන්ධයෙන් ඔබ මහජනතාවට ලබා දෙන උපදෙස කුමක් ද? 

සමානාත්මතාවය සහ වෙනස්කොට සැලකීමෙන් මිදීමට LGBTIQ පුද්ගලයින්ට ව්‍යවස්ථාපිත අයිතියක් තිබෙනවා. මෙම අයිතිය නීතිපතිවරයා විසින් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ලොව වටා බොහෝ අධිකරණයන් විසින් හඳුනාගෙන තිබෙනවා. ආසන්නතම නිදසුන තමයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය. කිසියම් LGBTIQ පුද්ගලයෙකුට යම් අගතියක් සිදුවූවහොත්, ඔවුනට අපගේ අධිකරණවල යුක්තිය ඉටු කර ගැනීමට ඉඩසලසා දිය යුතුයි. LGBTIQ ප්‍රජාවට එරෙහි සිදුවූ වෙනස්කොට සැලකීමකට එරෙහිව ගොනුවන මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. නමුත්, එවන් අගතියකට මුහුණ දුන් පුද්ගලයකු ඉදිරියට පැමිණීමට ඉදිරිපත් වනවා ද? 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan