අවුරුදු ගාණකට පස්සේ ආයෙත් “හිතේ කෙටූ ටැටූ” ….

Date:

සමහර පොත්වලට වගේම, ඒ පොත් ලියපු මිනිස්සුන්ටත් පුළුවන් අපේ ජීවිත කණපිට හරවන්න. එහෙම කණපිට හරවලා අපි යමින් හිටපු ගමන හාත්පසින්ම වෙනස් පැත්තකට යොමු කරන්න. මේ කෙටි සටහනත් එහෙම පොතක් සහ මනුස්සයෙක් ගැන. ඉන්දික ගුණවර්ධන කියන්නෙ ඇත්තටම මගේ ජීවිතේ එක පැත්තක් එහෙම කණපිට හරවන්න මූලිකත්වය ගත්ත කීප දෙනාගෙන් කෙනෙක්. මේ පොතත් ඒකට සෑහෙන උදව් කරපු පොතක්. මම වගේම මගේ පරම්පරාවේ ගොඩදෙනෙකුගෙ ලිවීමේ සහ හිතීමේ පරාසය වෙනස් කරන්න ඉන්දික කරපු මැදිහත්වීම සුළුපටු එකක් නෙමෙයි.

ෆේස්බුක් කවියේ මුල් යුගයේ, පුරෝගාමී කවියෙක් වුණු ඉන්දික සයිබර් ස්පේස් එක ඇතුළෙ කවිය වඩා යහපත් තැනක තියන්න දරපු දායකත්වය සුළුපටු නැහැ. ඇත්තටම ඒක තාමත් හරියට ඇගයීමකට හෝ අවධානයට ලක් නොවුණු මහන්සියක්. කවි ලිවීම කෙසේ වෙතත්, සිංහලෙන් හරියට අදහසක් සන්නිවේදනය කරගැනීම පවා දුෂ්කර වැඩක් වුණු 2009 – 2010 විතර අතීතෙක ඉන්දික සහ ඒ යුගයේ නොනැවතී ලියමින් හිටපු තවත් ගොඩක් අය ෆේස්බුක් කවිය ගැන කතා කරද්දි අමතක කරන්න බැහැ. ‘හිතේ කෙටූ ටැටූ’ කියන්නෙ එහෙම මහන්සියක කූටප්‍රාප්තියක්. අතට අහුවෙන්නෙ නැති අවකාශයක හුවමාරු වෙමින් තිබුණු ටිකක් අමුතු හැඩයක කවි ටිකක් එහෙම හැමෝටම හුරුපුරුදු මුද්‍රිත මාධ්‍යයෙන් එළියට ඒම එතනින් පස්සෙ බිහිවුණු සිය ගාණක් කවිපොත්වලට පාර කපපු බව රහසක් නෙමෙයි. ඇත්තටම, ෆේස්බුක් කවිය වෙනමම ශානරයක් විදියට වර්ධනය වෙමින් තියෙන බව සහ ඒකෙ අනාගතය මොන වගේ එකක් වේවිද කියන කාරණය ගැන ඉන්දිකට තිබුණෙ හරිම පැහැදිළි අදහසක්.

අවුරුදු ගාණකට පස්සෙ ආයෙත් ‘හිතේ කෙටූ ටැටූ’ මුද්‍රණය වෙන්නෙ ගොඩාක් දේවල් වෙනස් වෙච්ච වටපිටාවක. හැබැයි මේ කවිපොත හරහා ඉන්දික කතා කරපු හැම දෙයක්ම අදටත්, මේ මොහොතටත් සම්පූර්ණයෙන්ම අදාලයි. ඒකයි ලොකු මහන්සියක ප්‍රතිඵලයක් විදියට මේ පොත ආයෙත් මුද්‍රණය වෙන්නෙ. කවීෂ, නිලේකා සහ විශේෂයෙන්ම ධනුෂ්ක සිරිදර්ශන මේ වෙනුවෙන් වෙච්ච උනන්දුව සුළුපටු නැහැ. ඒක වෙනම සටහනක් ලියන්න පුළුවන් දිග කතාවක්.

ඉතිං, පොත මගහැරුණු අය හැමෝටම සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා ආයෙත් ‘හිතේ කෙටූ ටැටූ’ කියවන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, එදා හැන්දෑවේ මහවැලි කේන්ද්‍රයට ආවොත් ඉන්දික ගැන අතීත මතක සටහන් අලුත් කරගන්න වගේම ඒ කවි ගැන ටිකක් දිගට කතාබහ කරන්නත් අපට පුළුවනි.

ඒ නිසා නොවැරදීම එදාට මුණගැහෙමු ….

~ සෞම්‍ය සඳරුවන් ලියනගේ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...