*
Thursday, November 28, 2024
spot_img

Latest Posts

IMF – ඩොලර් ආර්ථික විජ්ජාවක් ද? විද්‍යාවක් ද? නව රජයත් ගෙදර යවයි ද?

ලිපියේ පසුබිම සහ අරමුණ 

පසුගිය වසර කිහිපය තුළ IMF යනු ශ්‍රී ලංකාවේ එකම ගැලවුම්කරුවා ලෙස දේශපාලන වේදිකාවල හුවා දැක්විණ. එසේම IMF සාධකය මත දැනට රජයන් දෙකක් මහජනයා විසින් පෙරළා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය 2022 දී පෙරළීමට ප්‍රධාන හේතුවක් වූයේ, 2020/21 දී එම රජය විසින් IMF ණය මුදලක් නොගැනීම තුළින් ආර්ථික අර්බුදය වැලැක්වීමට අසමත් වීම පිළිබඳ චෝදනාව යි. ඇත්ත වශයෙන් සිදු වූයේ, එවැනි ණයක් ශ්‍රී ලංකාවට දීමට IMF ප්‍රතික්ෂේප කිරීම බව පසුව වාර්තා විය. 

ඊට පසු 2022 දී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් IMF හැර වෙනත් විකල්පයක් නොමැති බව පවසමින්, IMF ගැසූ නොගැසූ සෑම පදයකටම නටන ලදි. ඊට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ද ලැබිණ. එබැවින්, පසුගිය ජනාධිපති මැතිවරණය සඳහා රාජ්‍ය වේදිකාව පිරී පැවතියේ, IMF හරහා දැන් ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බවත්, IMF වැඩපිළිවෙලින් ඉවත් වුව හොත්, රට ආපසු 2022 අර්බුද තත්ත්වයට යන බවත් ය. ඊට අවශ්‍ය සාක්ෂිය මහ බැංකු අධිපති විසින් සපයන ලදි. එහෙත්, IMF ආර්ථික බෙර පදයන් නැටීමෙන් හොඳටම හෙම්බත් වූ මහජනයා විසින් සැප්තැම්බර් 21 දින ව්‍යවස්ථානුකූලව සහ ඉතාමත් සාමකාමීව රනිල් වික්‍රමසිංහ රජය උඩින් පෙරළා දමන ලදි. එනම්, IMF පරාජය කිරීම යි. 

මෙහි දී, පුදුමය වූයේ, සිස්ටම් චේන්ජ් එකක් සඳහා මැතිවරණ වේදිකාව මෙහෙයවූ දැඩි වාමාංශික/සමාජවාදී අදහස් දරණ, පාලන බලය ලබා ගැනීම සඳහා මෑත අතීතයේ සන්නද්ධ අරගල දෙකක් මෙහෙයවා ඇති පක්ෂයකට, බහුතර මහජනතාව විසින් IMF භීතිකාවෙන් තොරව මනාපය ප්‍රකාශ කිරීම යි. සමහර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙය මාක්ස්වාදී රජයකි. මාක්ස්වාදය යනු, සුළුතර නිෂ්පාදක හිමියන් විසින් සාධාරණ වැටුප් නොදී ශ්‍රමය සූරාකෑම හරහා අධික ලාභ ලැබීම තුළින් ධනය සංකේන්ද්‍රණය කර ගැනීම හේතුවෙන් බහුතර ශ්‍රමය නිර්ධන පංතියට හිර කර තබන ධනවාදී නිෂ්පාදන ක්‍රමය වෙනස් කිරීම තුළින් නිර්ධන පංතිය බේරා ගැනීමේ ගෝලීය දේශපාලනික මතවාදය යි.

එහෙත්, අභිනව වාමාංශික රජය ද, දැනට මහජනයා විසින් ප්‍රතික්ෂේප කොට ඇති IMF දීගය මෙහෙය වූ භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති එම තනතුරුවලම තබා ගෙන, IMF අඩිපාරේ යන බවට වාර්තා වෙයි. IMF විසින් ද නව ජනාධිපති වරයාට ආර්ථිකය ස්ථායිකරණය කළ හැකි බවටත්, ඔහු සමඟ වැඩ කළ හැකි බවටත්, විශ්වාසය ඇති බවට කඩිමුඩියේ ප්‍රකාශ කොට ඇත. එහෙත්, ගෝලීය මට්ටමේ ලිබරල් නායකයෙක් ලෙස IMF කණ්ඩායම විසින් මහත් සේ ගරු කළ රනිල් වික්‍රමසිංහ මහතාට, මෙතෙක් IMF වෙත දැක්වූ සහයෝගය පිළිබඳ කිසිම ස්තුතියක් ප්‍රසිද්ධියේ පුද කොට නැත. 

එබැවින්, IMF එකෙන් තොර ආර්ථික කළමනාකරණ වැඩසටහනක් නව රජයට ද නොමැති බවට සාධාරණ සැකයක් හට ගෙන ඇත. ඊට හේතුව, IMF සමඟ ඉදිරියට යන බව රජය විසින් ප්‍රකාශ කොට ඇති බැවිනි. එසේ වුව හොත් තෙවැනි රජයට ද අබ සරණ මිස වෙනත් සරණක් නොලැබීමේ අවදානමක් පවතී. 

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, IMF පිළිබඳ සැබෑ ආර්ථික කථාන්දරය කියා දී, IMF එකෙන් තොරව සිස්ටම් චේන්ජ් කළ හැකි මග හෙළි කිරීම යි.

එය, සැබෑ ගෝලීය IMF පරම්පරාව සහ සංස්කෘතිය පිළිබඳ දැනුම සහිතව ක්‍රියා කිරීමට රජයට උපකාරී වනු ඇත. බොහෝ නායකයන්ට මෙම දැනුම නොමැති වීමෙන්, IMF ඩොලර්කරණ උගුලේ රට සහ මහජනතාව හිර කර තැබීමට ඔවුන් උර දී ඇත. ඊට අවශ්‍ය උපදෙස් සහ සම්බන්ධීකරණය සැපයීම සඳහා ගෝලීය IMF නියෝජිත දාමයක් ද සක්‍රීය වන අතර බොහෝ නායකයන්ට ඔවුන් පෙනෙන්නේ ද, ජාතික ගැලවුම්කරුවන් ලෙස ය. මෙහි ශෝක ජනක සිද්ධිය වන්නේ, ඩොලර් නෝට්ටුවක් කිසි දිනක නොදැක ඇති බහුතර ජනතාව ඩොලර්කරණ සර්වාංග රෝගයෙන් පීඩා විඳීම යි.

IMF ආරම්භය සහ විකාශය ඉතා කෙටියෙන්

1944 දී IMF ආයතනය පිහිට වූයේ එවක දෙවෙනි ලෝක යුද්ධයේ බලපෑමෙන් පහත බසිමින් පැවති බටහිර රටවල ආර්ථිකයන්  නැවත සංවර්ධනය කිරීම සඳහා ගෝලීය මූල්‍ය ක්‍රමයක් පිහිටුවීම සහ පාලනය සඳහා ය. ඊට සමගාමිව, සංවර්ධනයට අවශ්‍ය දිගු කාලීන ණය සැපයීම සඳහා ලෝක බැංකුව පිහිටු වන ලදි. මෙය බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම ලෙස ප්‍රචලිත අතර එහි ආරම්භ සාමාජිකත්වය රටවල් 44 කි.

මෙම ගිවිසුම තුළින් ඇමෙරිකාවේ යෝජනාව පිළි ගෙන පිහිට වූ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය වූයේ, ඇමෙරිකාවේ ඩෙක්සර් වයිට් විසින් ඉදිරිපත් කළ පරිදි රන් ප්‍රමාණය මත ඩොලරයේ විනිමය අනුපාතය තීරණය කිරීමත්, අනෙක් රටවල් විසින් තම මුදල්වල විනිමය අනුපාතය ඩොලර් සඳහා තීරණය කිරීමත්, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා එම විනිමය අනුපාතයන් ස්ථාවරව පවත්වා ගැනීමත් ය. 

ඒ අනුව, අනෙක් රටවල මුදල් ඩොලරය හරහා රන් මත පදනම් විය. එනම්, එම රටවලට ඕනෑම අවස්ථාවක තමන් සතු ඩොලර් මුදල් ඇමෙරිකානු මහ බැංකුව වෙත ඉදිරිපත් කොට, රන් ලබා ගත හැකි විය. IMF කාර්යය වූයේ එම විනිමය අනුපාත සහ ගෝලීය මුදල් ගෙවුම් ක්‍රමය අවේක්ෂණය කිරීම යි. 

එංගලන්තයේ කේන්ස් විසින් ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප වූ විකල්ප මුදල් යෝජනාව වූයේ, බැන්කෝ නම් නව ගෝලීය සංචිත මුදලක් බිහි කොට, එය කළමනාකරණය සඳහා මහ බැංකුවකට බලය පැවරීම යි. මෙම යෝජනා දෙකෙහිම හරය වූයේ, රටවල් අතර ගෙවුම් ශේෂ අසමතාවයන් කළමනාකරණය කිරීමේ ක්‍රම්වේදය යි. එහෙත්, ඩෙක්ස්ටර් වයිට්ගේ යෝජනාව රටවල මිල ස්ථායිතාවයත්, කේන්ස්ගේ යෝජනාව රටවල ආර්ථික සංවර්ධනයත් ඉලක්ක කෙරින. 

ඒ අනුව, IMF හි මූලික කාර්යය වූයේ, ඩොලරය ගෝලීය සංචිත මුදලක් ලෙස ප්‍රවර්ධනය කිරීම යි. එය හුදෙක් භූ දේශපාලනික අරමුණකි. ඊට යොදා ගත් වාහකය වූයේ IMF ය. ඊට පෙර ගෝලීය සංචිත මුදල වූයේ, රන් සම්මතය මත පදනම් වූ බ්‍රිතාන්‍ය පවුම යි. මෙම නව ගෝලීය මූල්‍ය ක්‍රමය තුළ ඩොලරයට ලැබුන අසීමිත බලය හේතු කොට, ඩොලර් මුදල් මුද්‍රණය හරහා ලෝකය පුරා ආර්ථික සහ දේශපාලනික බලයක් ලබා ගැනීමට ඇමෙරිකානු රජයට හැකි විය. ඩොලර් මුද්‍රණය ඇමෙරිකානු අයවැය හිඟය හරහා සිදු විය. එබැවින්, 1970 ගණන් වන විට ඇමෙරිකාවේ රන් සංචිතයට සාපේක්ෂව ලෝකය පුරා සංසරණය වූ ඩොලර් ප්‍රමාණය වේගයෙන් ඉහළ යන ලදි. එයට විශේෂයෙන් වියට්නාම යුද්ධයට කළ වියදම ද හේතු විය. 

ඒ අනුව, රටවල් විසින් තම ඩොලර් සංචිත රන්වලට පරිවර්තනය කළ හොත්, ඊට ගෙවීම සඳහා ඇමෙරිකාවේ රන් සංචිතය ප්‍රමාණවත් නොවීමේ අවදානමක් ඇති විය. එබැවින්, 1971 අප්‍රේල් 15 දින ඇමෙරිකාව විසින් තම ඩොලර්-රන් පරිවර්තීයතාවය අත්හිටුවන ලදි. ඒ අනුව, බ්‍රෙටන් වුඩ්ස් ඩොලර් – රන් ස්ථාවර විනිමය අනුපාතය අවසන් වූ අතර සාමාජික රටවල් විසින් විවිධාකාරයේ චල විනිමය අනුපාතයන් අනුගමනය කරන ලදි. 

එහෙත්, IMF අන්තර් ජාතික මූල්‍ය අවේක්ෂණය අඛණ්ඩව සිදු විය. එය, බෙහෙවින් නව සාමාජිකයන් වූ දියුණු වන රටවල් කෙරෙහි පැවතින. එම රටවල් විසින් ඩොලර්, රන් සහ වෙනත් ප්‍රචලිත විදේශ මුදල් තම සංචිත ලෙස භාවිතා කරමින් දේශීය මුදල් නිෂ්පාදනය පවත්වා ගන්නා ලදි. එබැවින්, IMF ස්ථායිතාවය පවත්වා ගැනීම පිණිස ගෙවුම් ශේෂ හිඟයන් පවතින රටවලට තම විදේශ මුදල් සංචිතය ආරක්ෂා කර ගැනීම සඳහා කෙටි කාලීන ණය ක්‍රමයන් හඳුන්වා දෙන ලදි. 

ඒ සඳහා 1968 දී IMF විසින් තමාට ස්වාධීනව පාලනය කළ හැකි විගැහි නම් වූ ගිණුම් මුදලක් බිහි කළ අතර දැනට සියළු IMF ණය ගනුදෙනු විගැහි මුදල හරහා සිදු වෙයි. මෙය 1944 දී කේන්ස් විසින් යෝජනා කළ බැන්කෝ මුදලට සමාන ය. IMF විසින් විගැහි විනිමය අනුපාතය ඩොලර් සඳහා ප්‍රසිද්ධ කෙරෙන අතර සාමාජික රටවලට තම විගැහි සංචිත වෙනත් සාමාජික රටකට අළෙවි කොට ඩොලර් ලබා ගත හැකිය. උදාහරණ ලෙස රටකට IMF විසින් දෙන ණය, එම රටේ IMF විගැහි ගිණුමට එකතු කරන අතර (එනම්, IMF විසින් විගැහි මැවීම හෝ මුද්‍රණය), එම විගැහි ප්‍රමාණය වෙනත් සාමාජික රටකට අළෙවි කොට ඩොලර් මිල දී ගත හැකිය. එම විගැහි ගනුදෙනුව, IMF සාමාජික ගිණුම් දෙක අතර පිය වෙයි. ඒ අනුව, වත්මන් IMF ගෝලීය මූල්‍ය ක්‍රමය හුදෙක් විගැහි – ඩොලර් විනිමය ක්‍රමයකි. එබැවින්, IMF ගනුදෙනුවල අඛණ්ඩ පදනම ඩොලර් මුදල යි.

පසුව, 1980 ගණන් ආරම්භයේ සිට සංවර්ධිත රටවල් විසින් තම මුදල්වල විනිමය අනුපාතයන්ගේ පාලනය අත් හැර, එය වෙනත් වෙළෙඳ භාණ්ඩයක මෙන් ඉල්ලුම සහ සැපයුම හරහා වෙළෙඳපොළෙහි තීරණය වීමට ඉඩ දෙන ලදි. එසේම, විනිමය පාලනයන් ද ඉවත් කරන ලදි. ඒ අනුව, එම රටවල මහ බැංකු විසින් විනිමය අනුපාතයට මැදිහත්වීම සිදු නොවන අතර විනිමය අනුපාතය මුදල් ප්‍රතිපත්තිවල අංගයක් ද නොවේ.

යුරෝපීය රජයන් එකතු වී 1998 දී පොදු මහ බැංකුව ලෙස යුරෝපීය මහ බැංකුව පිහිටුවා 1999 දී පොදු යුරෝ මුදල හඳුන්වා දෙන ලදි. ඒ අනුව, ඊට සාමාජික වූ යුරෝපීය රටවල දේශීය මුදල් සංසරණයෙන් ඉවත් කිරීම හරහා යුරෝපය තුළ විනිමය අනුපාතයන් සහ ගෙවුම් තුලන ගැටළු ඉවත් වී, ඒකීය මුදල් සහ ආර්ථික කලාපයක් බවට පත් විය. දැනට එහි සාමාජික සංඛ්‍යාව 27 කි.

එහෙත්, බොහෝ දියුණු වන රටවල් විසින් අඛණ්ඩව ඩොලර් සංචිතය සහ ඩොලර් විනිමය අනුපාතය, තම මුදල් ප්‍රතිපත්තිවල මූලික අංගයක් ලෙස පාලනය කරන ලදි. එය විශේෂයෙන් දේශීය උද්ධමනය සහ ගෙවුම් ශේෂය පාලනය සඳහා සිදු කෙරේ. ඊට හේතුව, මෙම රටවල මුදල් ක්‍රමයන් අධික ලෙස ඩොලර්කරණය වීම යි. එය ඉහත දැක්වූ IMF ක්‍රමවේදයෙහි සෘජු ප්‍රතිඵලය යි. බොහෝ රටවල් කලින් කලට ඩොලර් මුදල් අර්බුදයන් හරහා රාජ්‍ය ණය සහ ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමේ කල්ගත නිදානය එය යි.

එහෙත්, වත්මන් IMF ණය වැඩසටහන් ක්‍රමවේදය යනු 1971 න් පසු ගෝලීය ඩොලර් මුදල් බලය ආරක්ෂා කිරීමේ වාහකය යි. එමගින්, ඩොලර් මුදලේ අගය ආරක්ෂා කිරීම බහුතර දියුණු වන රටවල මුදල් ප්‍රතිපත්ති හරහා සිදු කෙරේ. IMF ණය යනු ඊට සැපයෙන කැරට් අලයකි. සංවර්ධිත රටවල විනිමය අනුපාත ප්‍රතිපත්ති නොමැති බැවින් ඩොලරය ආරක්ෂා කිරීම එම රටවල මුදල් ප්‍රතිපත්තිවලින් බලාපොරොත්තු විය නොහැකිය. එහෙත්, එම රටවල වෙළෙඳපොළේ ඩොලර් හිඟයක් හට ගන්නා අවස්ථාවල ඇමෙරිකානු මහ බැංකුව විසින් මුදල් හුවමාරු හරහා එම රටවල මහ බැංකුවලට ඩොලර් සැපයීමේ ක්‍රමවේදයක් අනුගමනය කෙරේ.

එබැවින්, සංවර්ධිත රටවලට 1971 ට පෙර මෙන්, IMF එකෙන් සෘජු ආර්ථික කාර්යභාරයක් නොමැත.

IMF ආර්ථික කළමනාකරණ මතවාදය

IMF මතවාදයේ මූලය වනුයේ, අඛණ්ඩ රාජ්‍ය අයවැය හිඟය හේතු කොට ගෙවුම් ශේෂ හිඟය සහ උද්ධමනය හට ගන්නා බව යි. මීට, මූල්‍ය න්‍යාය සහ ජාතික ආදායම් සමතුලිත සංකල්පය භාවිතා කෙරේ. 

  • මූල්‍ය න්‍යායට අනුව, අයවැය හිඟය පියවීමට ණය ගැනීම හරහා රටෙහි මුදල් සැපයුම ඉහළ ගොස්, සමස්ත ඉල්ලුම ප්‍රසාරණය හරහා උද්ධමනකාරී තත්ත්වයක් හට ගනී. මීට හේතුව, රාජ්‍ය වියදම සහ අයවැය හිඟය ආර්ථිකයෙහි සැලකිය යුතු පරිමාවක් උසුලන අතර ඒවා පොලී අනුපාතයට සංවේදී නොවී දේශපාලනික වුවමනාවන් මත තීරණය වන බැවිනි. 
  • ජාතික ආදායම් සංකල්පයට අනුව අයවැය හිඟය යනු ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ හිඟයක් සහ පෞද්ගලික අංශයේ ආයෝජනයට වඩා ඉතුරුම් අතිරික්තයක් හරහා පියවිය යුතුය. 
  • එබැවින්, IMF ණය කොන්දේසි සියල්ලම අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය පහළ දැමීම සහ රාජ්‍ය අයවැය/රාජ්‍ය අංශය හැකිලීම සඳහා යොමු වෙයි. එහි අරමුණ වනුයේ, දේශීය සහ විදේශීය පෞද්ගලික අංශය හරහා රාජ්‍ය මැදිහත්වීම අඩු වෙළෙඳපොළ ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම යි. 

එහෙත්, මෙම සංකල්පයන්හි සැබෑ ලොව අදාළත්වය කිසිම ආර්ථික පර්යේෂණවලින් සනාථ වී නොමැත. ආර්ථිකයක් මුහුණ දෙන උද්ධමනය සහ ගෙවුම් ශේෂ හිඟයන් පිටුපස ව්‍යුහාත්මක ආර්ථික සාධක රැසක් පවතින අතර ආර්ථිකයන් යනු ඉහත සංකල්පයන්හි දැක්වෙන මෙන් ස්ථිතික ඒකකයන් නොවේ.

IMF ණය වැඩසටහන

ඉහත දැක්වූ මතවාදය අනුව IMF ණය වැඩසටහන් පදනම් වන්නේ, රටවල විදේශ මුදල් සංචිතය වර්ධනය කොට, ගෙවුම් ශේෂ හිඟයන් පියවීම සඳහා කොන්දේසි මත ණය මුදලක් සැපයීම යි. එම කොන්දේසි මගින් වෙළෙඳපොළ වර්ධනය සඳහා වූ විවිධාකාර රාජ්‍ය ප්‍රතිසංස්කරණයන් නියම කෙරේ. ඊට අමතරව, ලෝක බැංකුවෙන් ද සංවර්ධන ණය සැපයෙනු ඇත. ඒ මත ජාත්‍යන්තර ණය ශ්‍රේණි ඉහළ යාම හරහා විදේශ ආයෝජකයන් එම රටවල මූල්‍ය වෙළෙඳපොළට පැමිණෙනු ඇත. එසේ විදේශ මුදල් සංචිතය ඉහළ යාම තුළින් විනිමය අනුපාතය ආරක්ෂා කර ගෙන, ආනයන මූල්‍යකරණය සඳහා සහනයන් ලැබේ. 

ඒ අනුව, IMF ණය වැඩසටහනක් යනු විදේශ මූල්‍ය (ඩොලර්) ආයෝජන දාමයක සම්බන්ධීකරණ වාහකයෙකි. ඊට උපකාරී සහ පක්ෂපාතී නියෝජිත ජාලයක් IMF විසින් ලෝකය පුරා ව්‍යාප්ත කොට ඇත.

සාමාන්‍ය IMF කොන්දේසි වන්නේ, බදු ඉහළ දැමීම, රාජ්‍ය වියදම සහ අයවැය හිඟය පහළ දැමීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ උද්ධමනය ඉලක්ක කොට පොලී අනුපාත ඉහළ දැමීම යි. ගෝලීය කොරෝනා වසංගතයෙන් පසු හඳුන්වා දුන් නවීන කොන්දේසියක් වන්නේ, රාජ්‍ය ණය-ජාතික ආදායම් අනුපාතයක් ඉලක්ක කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීම යි. මෙම කොන්දේසි සියල්ල ඉහත දැක්වූ IMF මතවාදය අනුව සිදු වෙයි. 

එහෙත්, IMF ණය වැඩසටහන්වලින් ස්ථායිකරණය හෝ සංවර්ධනය වූ රටවල් ලෝකයේ නැත. ඒ වෙනුවට, රටවල ආර්ථික සහ දේශපාලනික ව්‍යුහය අස්ථායි වූ බවට සාක්ෂි පවතී. ඊට හොඳම උදාහරණය 17 වතාවක් IMF ණය වැඩසටහන් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාව යි.

ශ්‍රී ලංකාවේ මුදල් ක්‍රමය සහ ඩොලර්කරණ උගුල

ශ්‍රී ලංකා මුදල් ක්‍රමය පිහිට වූයේ, 1949 දී එවක මුදල් ඇමති ජේ ආර් ජයවර්ධන විසින් ජෝන් එක්ස්ටර් වාර්තාව ක්‍රියාත්මක කළ මුදල් නීති පනත මගිනි. එතෙක්, ශ්‍රී ලංකාවේ පැවතියේ, විදේශ මුදල් වත්කම් මත දේශීය මුදල් මුද්‍රණය කෙරෙන ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය යි. 

එහෙත්, කුඩා දූපත් ආර්ථිකයන් මෙන් නොව ශ්‍රී ලංකාව යනු ස්වාභාවික සම්පත් පිරි ඇති රටක් බැවින් එහි ආර්ථිකය සංවර්ධනය සහ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා ඊට අවශ්‍ය පරිදි ස්වාධීනව මුදල් මුද්‍රණය සහ ප්‍රසාරණය කිරීමේ ස්වෛරිත්ව මුදල් ක්‍රමයක් 1949 දී මුදල් නීති පනත මගින් පිහිටු වන ලදි. එය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් මණ්ඩලය සහ මහ බැංකුව පිහිටු වන ලදි. එම ශ්‍රී ලංකා මහ බැංකුව යනු ඇමෙරිකානු මහ බැංකුවට සමගාමී මුදල් පාලන බලතල ලැබූ මහ බැංකුවකි.

ඒ අනුව, ආර්ථිකයේ ප්‍රමුඛ අංශවලට ණය සැපයීම සඳහා මෙන්ම රජයට ණය සැපයීමේ පුළුල් අභිමතානුසාරී ස්වාධීනත්වයක් මහ බැංකුවට ලැබිණ. එසේම, ගෙවුම් ශේෂය සහ විනිමය අනුපාතය ස්ථායිකරණය සඳහා විදේශ සංචිතයක් පවත්වා ගැනීම සහ බැංකු විදේශ මුදල් ගනුදෙනු පාලනය කිරීමේ බලතල ද මහ බැංකුවට හිමි විය. 

ඒ අනුව, රටේ සංවර්ධනයට හිතකර ලෙස දේශීය රුපියල් සංචිත මුදල් මත පදනම් වූ ස්වෛරිත්ව මුදල් සහ බැංකු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම නව මුදල් ක්‍රමයේ අරමුණ විය. එබැවින්, ඵලදායී සම්පත් ප්‍රවර්ධනය සහ උපයෝජනය හරහා නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ මූර්ත ආදායම ඉහළ දැමීමත්, රුපියලේ දේශීය සහ විදේශීය අගය ස්ථායිකරණය කිරිමත්, ආරම්භක මහ බැංකුවේ ව්‍යවස්ථාපිත අරමුණු විය.

එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් වඩාත්ම නැඹුරු වූයේ, මුදලේ විදේශ අගය ආරක්ෂා කිරීම සඳහා විදේශ සංචිතයක් ගොඩ නැගීම සහ විනිමය අනුපාතය පාලනය කිරීම කෙරෙහි ය. ඒ අනුව, ආර්ථිකයෙහි මුදල් මුද්‍රණය ප්‍රධාන වශයෙන් විදේශ වත්කම් සංචිතය මත සිදු විය. එහෙත්, ආර්ථිකයෙහි ශුද්ධ අපනයන ප්‍රවර්ධනය කොට, විදේශ මුදල් අතිරිකත්යක් ජනිත කිරීම හරහා විදේශ සංචිත ගොස් නැගීමට උපකාරී වන අපනයන ප්‍රවර්ධන සහ ආනයන ආදේශන ණය ව්‍යාප්තියක් සඳහා මුදල් ක්‍රමය සහ මුදල් ප්‍රතිපත්තිය මෙහෙය වීමට මහ බැංකුවේ උත්සාහයක් නොවීය.

එහි ප්‍රතිඵලය වූයේ, රාජ්‍ය විදේශ ණය හරහා මහ බැංකු විදේශ සංචිතය ගොඩ නැගීම සහ විනිමය අනුපාතය ස්ථායිකරණය සඳහා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යි. පසුකාලයේ දී මහ බැංකුව විසින් ද විදේශ මුදල් හුවමාරු හරහා විදේශ ණය ගන්නා ලදි. එනම්, දේශීය මුදල් ක්‍රමය ඩොලර්කරණය වීම හෙවත් දේශීය මුදල විදේශ මුදල් සංචිතය මත පදනම් වීම යි. 

එබැවින්, රාජ්‍ය විදේශ ණය හරහා රාජ්‍ය අයවැය ද ඩොලර්කරණය විය. දැනට පැහැර හැර ඇති ජාත්‍යන්තර් ස්වෛරිත්ව බැඳුම්කර යනු රාජ්‍ය විදේශ ණයවල නූතන විලාසිතාව යි. මෙහි දී, රජය ඩොලර් උගුලට හසු වූයේ, ස්වාධීන මහ බැංකුව විසින් තම විදේශ මුදල් සංචිත වගකීම ඉටු නොකළ බැවිනි. එහෙත්, රජය යනු රටක දේශීය මුදලින් ඕනෑම ප්‍රමාණයක් ණය ගත හැකි විශ්වාසවන්තම ණයකරු ය. එබැවින්, දේශීය මුදලින් අයවැය ක්‍රියාත්මක කිරීමේ කිසිම ගැටළුවක් රජයට නොමැත.

එබැවින්, ශ්‍රී ලංකාවේ මුදල් සහ බැංකු ක්‍රමය 1949 දී අපේක්ෂා කළ පරිදි රුපියල් සංචිත ක්‍රමයක් නොවී, ඩොලර් සංචිත ක්‍රමයක් ලෙස විකාශය විය. එනම්, 1950 පැවති ව්‍යවහාර මණ්ඩල ක්‍රමයට නැවත පිය නැගීමකි. දේශීය මුදල් ක්‍රමය සහ ආර්ථිකය ඩොලර්කරණය වී, රජය සහ මහ බැංකුව විසින් තම ස්වෛරිත්ව මුදල් ස්වාධීනත්වය අහිමි කර ගැනීමේ කථාන්දරය සැකෙවින් එසේ ය. 

එබැවින්, ශ්‍රී ලංකාව සංවර්ධනය කිරිමට සහ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා අවශ්‍ය ස්වෛරිත්ව මුදලක් රජයට නොමැත. රටේ යහපතට පාලනය කල හැකි ස්වෛරිත්ව මුදලක් නොමැති නම්, එරට රජයට සහ පෞද්ගලික අංශයට ආර්ථික පිට කොන්දක් නොමැත. බොහෝ දියුණ වන රටවල් මුහුණ දෙන ව්‍යුහාත්මක ආර්ථික උගුල මෙය යි. මෙම කථාන්දරය තේරුම් නොගත් ශ්‍රී ලංකා රජය විසින් 2023 සැප්තැම්බර් මස මහ බැංකුව සහ මුදල් ක්‍රමය අවලංගු කොට, පෞද්ගලික මහ බැංකුවක් පිහිටු වන ලදි. ඒ සමඟ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති සහ බැංකු ණය නියාමන දායකත්වය ඇතිව ආර්ථිකය සංවර්ධනය කිරීමේ ක්‍රමෝපාය අවසන් විය.

එහෙත්, ඉන්දියාව සහ නැගෙනහිර ආසියාතික රටවල් දේශීය මුදල් හරහා දියුණු වන අතර ඩොලර් සංචිතය හුදෙක් ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා මෙවලමක් ලෙස පවත්වා ගැනීම දැකිය හැකිය. දැනට රුසියාව සතු ඩොලර් සංචිත බිලියන 350 ක් පමණ ඇමෙරිකාව විසින් අත්හිටුවා, ඩොලර් වෙළෙඳ ගනුදෙනු තහනම් කළ ද, රුසියාව විසින් ඩොලර් මුදල් නොමැතිව තම දේශීය මුදල් හරහා විදේශ ගනුදෙනු කිරීමේ ක්‍රමවේදයන් ගොඩ නගා ගෙන, අර්බුදයකට හසු නොවී ක්‍රියාත්මක වෙයි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය

2022 දී පතිත වූ ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය යනු හුදෙක් විදේශ ණය සහ සංචිත අර්බුදය බව ඕනෑම කෙනෙකුට අවබෝධයක් සහ අත්දැකීමක් ඇත. එබැවින්, ඒ පිළිබඳව සාර්ව ආර්ථික විශ්ලේෂණයන් අවශ්‍ය නොවේ. එය හුදෙක් ඉහත දැක්වූ ඩොලර්කරණයේ පද්ධති අවදානම රජය පිටින් පිපිරී යාම යි. 

එය ගෝලීය කොරෝනා වසංගතය සහ දේශීය දේශපාලනික වසංගතය හේතුවෙන් දිය බුබුලක් සේ මතු වන ලදි. එවිට, තවදුරටත් විදේශ ණය ගැනීමට නොහැකි වීමත්, වෙනදා මෙන් IMF ණය නොලැබීමත්, හේතු කොට මහ බැංකු විදේශ සංචිතය දිය වී යන ලදි. 

එය මහ බැංකුවේ අසාර්ථකත්වය මිස රජයේ අසාර්ථකත්වය නොවේ. අවසානයේ රාජ්‍ය ණය කළමනාකරු සහ රාජ්‍ය මූල්‍ය නියෝජිතයා වූ  මහ බැංකුව විසින්ම විදේශ ණය ගෙවීම පැහැර හරින ලදි. 

ශ්‍රී ලංකාව වැනි අති ඩොලර්කරණය වූ මුදල් ක්‍රමයන් ඇති අනෙක් රටවල ද සිදු වූයේ එය යි. එබැවින්, රටවල් විසින් ඩොලර්කරණය නැවත ටින්කරින් කර ගැනීම සඳහා සුපුරුදු ලෙස IMF ණය වැඩසටහන්වල පසුපස යාම දැකිය හැකිය. දැනට ශ්‍රී ලංකා දේශපාලනය මුහුණ දෙන කම්පනය ද එය යි.

එබැවින්, IMF ණය වැඩසටහන්වල හුදු අරමුණ වනුයේ, ඩොලර්කරණ උගුල ආරක්ෂා කරමින්, රාජ්‍ය නායකයන්ට කෙටි හුස්මක් ලබා දීම යි. එහෙත්, එමගින් ඩොලර්කරණ උගුල විනාශ නොකෙරෙන බැවින් ආර්ථිකයන්ට සෞඛ්‍ය දායක ලෙස හුස්ම ගැනීමට කිසි දා නොහැකි වනු ඇත.

රජය ඩොලර්කරණ උගුලෙන් මිදීමේ එකම මග

එබැවින්, මහජනයාට සිස්ටම් චේන්ජ් එකක් පොරොන්දු වූ නව රජයේ පැවැත්මට, වත්මන් IMF ණය වැඩසටහන උපන් ගෙයි තර්ජනයකි. ඩොලර්කරණ මුදල් ක්‍රමය වෙනස් නොකොට, කිසිම ආර්ථික සිස්ටම් චේන්ජ් එකක් කළ නොහැකිය. ඊට හේතුව, ඒ සඳහා ආර්ථිකය කළමනාකරණය කිරීමට, රජයේ ස්වාධීන පාලනයට යටත් මුදල් ක්‍රමයක් අවශ්‍ය බැවිනි. 

ස්වාධීන මුදලක් නොමැතිව රාජ්‍ය අයවැය කළමනාකරණය කළ නොහැකිය. අයවැය නොමැතිව සිස්ටම් චේන්ජ් කළ නොහැකිය. රාජ්‍ය බැංකු හරහා ණය මගින් මුදල් මැවීම කළ හැකි වුවත්, ඊට සාපේක්ෂව මහ බැංකු සංචිත මුදල් ප්‍රසාරණය (මුදල් මුද්‍රණය) නොවේ නම්, ආර්ථිකය සහ බැංකු සංචිත මුදල් අර්බුදයකට මුහුණ දෙනු ඇත. ඊට හේතුව, මහ බැංකු මුදල් මුද්‍රණය හුදෙක් ඩොලර්කරණය වී, IMF කොන්දේසි මත සිදු වන බැවිනි. එබැවින්, මුදල් බලය නොමැති රජයකට ආර්ථික සිස්ටම් චෙන්ජ් ගැන සිතිය නොහැකි අතර කළ හැක්කේ සිල්ලර චේන්ජස් කිහිපයක් පමණි. එය ව්‍යාපාරයකට හෝ කුටුම්බයකට ද පොදු කරුණකි. එය වත්මන් ආර්ථික ආර්ථික බංකොලොත් භාවයෙන් පොදුජනයා මුදවා ගැනීමට ප්‍රමාණවත් නොවේ.

වත්මන් ශ්‍රී ලංකා මහ බැංකුව යනු ආර්ථිකයේ ප්‍රමුඛ අංශ සඳහා ණය ව්‍යාප්ත කිරීම සහ රජයට මුදල් මුද්‍රණය කිරීමට නොව, හුදෙක් මූල්‍ය වෙළෙඳුන්ට එදිනෙදා අවශ්‍ය සංචිත මුදල් සැපයීම සඳහා පමණක් පිහිටුවා ඇති ලෝකයේ එකම මහ බැංකුව යි. අවසාන ණය දෙන්නාගේ කාර්යය ද මහ බැංකුවෙන් ඉවත් කොට ඇත. එබැවින්, නව රජය ඉතා අසීරු ඩොලර්-IMF සිස්ටම් උගුලක හිර වී ඇත. 

ඒ අනුව, ශ්‍රී ලංකාව මුහුණ දෙන ඩොලර්කරණ මුදල් රෝගය නිට්ටාවට සුව නොකොට, රජයට පැවැත්මක් නොමැත.  IMF වැඩසටහන වෙනස් කළ හොත්, ඩොලරය රුපියල් 400 ට ගොස්, ගෑස් සහ ඉන්ධන පෝලිම් ඇති වී, නැවතත් ආර්ථික අර්බුදය හට ගනු ඇති බවට පසුගිය ජනාධිපති වරයා විසින් අනාවැකි පළ කරනු ලැබුවේ එබැවිනි. වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් එය සනාථ කොට ඇත. එසේම, IMF වැඩසටහන වෙනස් කිරීම ද අභියෝයක් බව ප්‍රකාශ කොට ඇත.

එබැවින්, රාජ්‍ය සහ පෞද්ගලික කිසිම නායකයෙකු සහ ආර්ථික විද්‍යාඥයෙකු විසින් IMF ඩොලර් වැඩසටහන මිස, ඩොලර්කරණ මුදල් රෝගය නිට්ටාවට සුව කිරීමට ක්‍රමවේදයක් හිතන බවක් නොපෙනේ.

එබැවින්, මෙම ලිපියෙන් ඊට යෝජනා කරන ක්‍රමවේදය සැකෙවින් පහත දැක්වෙයි.

  • රාජ්‍ය අයවැය ශ්‍රිතයෙන් විදේශ ණය සහ විනිමය අනුපාතය ඉවත් කොට, රජය හුදෙක් දේශීය මුදලින් අයවැය ගනුදෙනු කිරීම.
  • විනිමය අනුපාත පාලනය සම්පූර්ණයෙන් අත හැරීමට තීරණය කිරීම වඩාත් යෝග්‍ය වෙයි. ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය විදේශ මුදල් අවශ්‍යතාවන් ඔවුන් විසින් නිදහස් වෙළෙඳපොළ හරහා සපයා ගනු ඇත. ඒ සඳහා පෞද්ගලික අංශය දක්ෂ බවට සැකයක් නැත. එහෙත්, අනාදිමත් කාලයක සිට කර ඇත්තේ, රජය විසින් විදේශ ණය ගෙන, එම මුදල් මහ බැංකුවේ විදේශ සංචිතය හරහා සහන විනිමය අනුපාතයකට පෞද්ගලික අංශයට සැපයීම යි. අතිරික්ත අපනයන සහ ප්‍රේෂණ ආදායම ද එසේ මහ බැංකුව විසින් පහළ විනිමය අනුපාතයකට මිල දී ගන්නා ලදි. මහ බැංකුව විසින් 2001 ජනවාරි 23 දින පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ ද, මහ බැංකුව විසින්ම එය ඉදිරියට ගෙන ගියේ නැත. සමහර කාලවල නැවත ස්ථාවර විනිමය අනුපාතයක් අනුගමනය කරන ලදි.
  • විදේශ සංචිතයක් පවත්වා ගැනීම සහ විනිමය අනුපාත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම නව ස්වාධීන මහ බැංකුවේ කාර්යයකි. එහෙත්, එහි විදේශ මුදල් ස්ථායිකරණය වැනි කිසිම ව්‍යවස්ථාපිත අරමුණක් නොදැක්වෙයි. එබැවින්, විනිමය අනුපාත පලනයක් මහ බැංකුවට මනාප නම්, එය මහ බැංකුවේ ස්වාධීනත්වයෙන් කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය විදේශ මුදල් මහ බැංකුවට සැපයීමට රජය කිසිම ආකාරයකින් ක්‍රියා නොකළ යුතුය.
  • විදේශ විනිමය පනත අනුව විදේශ මුදල් වෙළෙඳපොළ ක්‍රියාත්මක කිරීමට අවසර ඇති බැංකු විසින් ආර්ථිකයට යෝග්‍ය පරිදි විදේශ මුදල් වෙළෙඳාම ප්‍රවර්ධනය කරන ලෙස නියම කළ යුතුය.
  • රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය ආනයන පිරිවැය පියවීම සඳහා රජය විසින් නිල සංවර්ධන ණය ගැනීමේ දෝෂයක් නොමැත. එහෙත්, එම ණය ගෙවීමට අවශ්‍ය විදේශ මුදල් ආදායම් ජනිත කර ගැනීමේ භාණ්ඩාගාර මෙහෙයවුමක් රජය සතු විය යුතුය.
  • දේශීය මුදල් යනු හුදෙක් ගෙවුම් මාධ්‍යයක් පමණක් නොව, නිෂ්පාදන/ආයෝජන සම්පතක් ලෙස සලකා, නූතන සැපයුම් ආර්ථික සංකල්පයන් මත ණය හරහා දේශීය නිෂ්පාදන අංශයන් වෙත මුදල් ව්‍යාප්තිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. එවැනි මුදල් ව්‍යාප්තියක් නොමැතිව කිසිම ආර්ථික වර්ධනයක් හෝ සංවර්ධනයක් මෙහෙයවිය නොහැකිය. ඒ සඳහා මහ බැංකු පනත සංශෝධනය කළ යුතුය. ඊට හේතුව, මහ බැංකුව නොමැතිව ආංශීය ණය ව්‍යාප්තියක් කළ නොහැකි බැවිනි.

එසේ නොමැතිව, රජය විසින් අඛණ්ඩව විනිමය අනුපාතය රැකීම සඳහා IMF සහ වෙනත් මූලයන් හරහා ඩොලර්කරණයට අවශ්‍ය විදේශ මුදල් සැපයීමට සුදානම් වෙයි නම්, නව රජය ද ඩොලර්කරණ උගුලේ හිර වී, විදේශ මූල්‍ය ආයෝජකයන් සුළු පිරිසකගේ පාලනය නතු වනු ඇත. 

IMF යනු ගෝලීය වෙළෙඳපොළ/ධනවාදී රුධිරය සහ හද ගැස්ම ඇති ආයතනයකි. එබැවින්, සමාජවාදී රුධිරය සහ හද ගැස්ම ඇති නව රජයට වඩා හොඳින්, දේශීය ධනවාදී සහ ලිබරල් නායකයන්ට IMF ඩොලර්කරණය සුපුරුදු පරිදි මෙවර ද කළමනාකරණය කිරීමට හැකියාව පවතී. ඊට හේතුව, ඒ සඳහා අවශ්‍ය IMF ජාල භාෂාව සහ සුහද ඇසුර ඔවුන් සතු බැවිනි.

ආර්ථික කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව අතර වෙනස 

බොහෝ දෙනෙකු විසින් IMF ණය වැඩසටහන සහ ආර්ථික කළමනාකරණ විෂයන්ට ආර්ථික විද්‍යා මුහුණුවරක් දීමට උත්සාහ කිරීම දැකිය හැකිය. ආර්ථික කළමනාකරණය යනු ආර්ථික විද්‍යාවෙන් ඔබ්බට ගිය, හුදෙක් දේශීය සහ ජාත්‍යන්තර දේශපාලනික විෂයකි. ආර්ථික විද්‍යාව යනු ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළෙඳපොළ දර්ශනය තුළ මිනිස් හැසිරීම පුරෝකථනය කෙරෙන න්‍යායයන් ය. එනම්, ඉල්ලුම සහ සැපයුම මගින් තීරණය වන මිල හරහා මිනිස් වුවමනාවන් වඩාත් කාර්යක්ෂමව ඉටු කෙරෙන ආකාරය දැක්වෙන න්‍යායයන් ය.

ආර්ථික කළමනාකරණය යනු පොදුජන අභිවෘද්ධිය සඳහා රජය විසින් වෙළෙඳපොළ පද්ධතියට මැදිහත් වීමේ ක්‍රමවේදය යි. එය සමකාලීන දේශපාලනික පිළි ගැනීම් මත පදනම් වෙයි. එබැවින්, රටවල් විසින් අනුගමනය කරන ආර්ථික කළමනාකරණ දර්ශනයන්, ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළෙඳපොළ දර්ශනය (ධනවාදය) සහ කාල් මාක්ස්ගේ ශ්‍රම සූරාකෑම, ප්‍රාග්ධන රාශිකරණය සහ සමාජ ආර්ථික ව්‍යාප්ති විෂමතාවය පිටුදැකීමේ දර්ශනය (සමාජවාදය) අතර විවිධ මට්ටම්වල පවතී. එබැවින් ඒවාට ආර්ථික විද්‍යාවක් නොමැත. රාජ්‍ය මූල්‍ය, මහ බැංකු, මුදල්, විනිමය අනුපාත පාලනය සහ IMF වැඩසටහන් යනා දී සියල්ල ආර්ථික කළමනාකරණ විෂයන් මිස ආර්ථික විද්‍යා න්‍යායන් නොවේ.

උදාහරණ ලෙස ලෝකයේ රාජ්‍ය මුදල් සහ මහ බැංකු පිහිටුවීම ආරම්භ වූයේ 20 වැනි සියවස ආරම්භයේ දී ය. ඇමෙරිකානු මහ බැංකුව සහ රාජ්‍ය ඩොලරය පිහිටු වීම 1913 දී ද, එංගලන්ත මහ බැංකුව රජය සතු කිරීම 1932 දී ද සිදු විය. එතෙක්, පැවතියේ පෞද්ගලික මුදල් වෙළඳපොළ ක්‍රමයක් ය. වර්තමානයේ වුව ද මුදල් සංසරණයෙන් බහුතරය පෞද්ගලික මුදල් ය. මෙම රාජ්‍ය මුදල් ක්‍රමයන්හි මුදල් නිෂ්පාදන පාලනය මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය තුළින් ද, පොදුජන සුබසාදනය සඳහා මුදල් භාවිතය සහ ව්‍යාප්තිය සිදු කිරීමේ වාහකය රාජ්‍ය අයවැය හිඟය (එනම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය) තුළින් ද සිදු වෙයි. මූල්‍ය අවදානම් සහ ලාභය මත පදනම් වී බැංකු විසින් මුදල් මැවීම හෝ නිෂ්පාදනය බොහෝ සේ (මහ බැංකු සහ රාජ්‍ය නියාමනයට යටත්ව) වෙළෙඳපොළ සිද්ධියකි. 

එබැවින්, IMF මතවාදය හරහා මහ බැංකුවේ මුදල් මුද්‍රණ බලය සහ රාජ්‍ය අයවැය බලය වෙන් කොට සීමා කිරීම යනු රජය විසින්ම කෙරෙන පැහැදිළි ආර්ථික ඝාතනයකි. උදාහරණ ලෙස බහුතර ජනයාට නිසි ආහාර නොමැතිව ළමා මන්දපෝෂණය ඉහළ යද් දී, උද්ධමන ඉලක්කම ශුන්‍ය අවස්ථාවේ ද උද්ධමනයට බියෙන් මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කපා හැරීම මානව/මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. තරුණ සහ පුහුණු ශ්‍රමය විශාල වශයෙන් රට හැර යාම, ඊට දක්වන වෙළෙඳපොළ ප්‍රතිචාරය යි. එහි ආදීනව නුදුරු අනාගතයේ දී දැක ගත හැකි වනු ඇත. එමගින්, රටට ඩොලර් සැපයුම වැඩි වන බවට ඩොලර් ආර්ථික කළමනාකරුවන් දක්වන සතුට පදනම් විරහිත එකකි.

නිදහසින් පසු රජයන් ද එවැනි මූල්‍ය මතවාදී ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම්, ශ්‍රී ලංකා ආර්ථිකය සහ ජන ජීවිතය තවමත් 1940 ගණන්වල තත්ත්වයේම පවතිනු ඇත. නූතන සංවර්ධිත රටවල් ද තවමත් ඌන සංවර්ධිත රටවල් ලෙස පවතිනු ඇත. 

උදාහරණ ලෙස කොරෝනා වසංගතයෙන් ආර්ථිකය සහ මහජනයා බේරා ගැනීමට රජයට උපකාරී වීම සඳහා මහ බැංකුව විසින් 2020-22 කාලය තුළ මුදල් මුද්‍රණය 100% කින් ඉහළ දමන ලදි (ඩොලර් ට්‍රිලියන 4 සිට 8 දක්වා). එනම්, 1913 සිට මුද්‍රණය කොට තිබූ මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් එම වර්ෂ තුන තුළ මුද්‍රණය කරන ලදි. එහෙත්, උද්ධමනයක් හට ගෙන ඇමෙරිකානු ආර්ථිකය තවමත් කඩා වැටුණේ නැත. 

එහෙත්, රජයේ මැදිහත්වීම මත රුපියල් බිලියන 250 ක් මුද්‍රණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ අධිඋද්ධමනකාරී තත්ත්වයක් හට ගත් බවට චෝදනා කරමින්, එවක රජය පෙරළා දැමූ අතර IMF උපදෙස් මත මහ බැංකුව ද වසා දමන ලදි. 2022-23 ශ්‍රී ලංකාවේ අධිඋද්ධමන කථාන්දරය දේශපාලනික සිද්ධියක් බව කරුණු දන්නෝ දනිති.

ආර්ථික කළමනාකරණ අවවාදය  

එහෙත්, ආර්ථික කළමනාකරණ ක්‍රියාකාරකම් තුළින් ආර්ථිකයට සහ මහජන සුබසාදනයට ඇති කෙරෙන යහපත් සහ අයහපත් බලපෑම් ආර්ථික විද්‍යා න්‍යායයන් මත විශ්ලේෂණය කළ හැකිය. ඒවා හුදෙක් මොඩල් මත කෙරෙන විශ්ලේෂණයන් ය. මීට හොඳම උදාහරණය රජය විසින් මිල පාලනයන් පැනවූ විට, ඉන් ආර්ථිකයට හෝ මහජනයාට ඇති කෙරෙන සමස්ත සුබසාදන අවාසිය විශ්ලේෂණය යි. සියළු රාජ්‍ය ආර්ථික මැදිහත් වීමේ හෝ වෙළෙඳපොළ පාලනයේ අවාසිය රාජ්‍ය අයවැය හිඟයෙන් නියෝජනය වනු ඇත. 

එසේම, එම විශ්ලේෂණයන් ද විවිධාකාර වන අතර සියළු ආර්ථික විද්‍යාඥයන් විසින් පිළිගත් නිශ්චිත නිගමනයන් දැකිය නොහැකිය. සියළු ආර්ථික විද්‍යඥයන් දෙඅත් සහිත විද්‍යාඥයන් ය. එබැවින්, ආර්ථික විද්‍යාඥයන්ගේ කාර්යය වනුයේ, එම විශ්ලේෂණයන් හරහා වෙළෙඳපොළ ආදීනව හෝ ප්‍රතික්‍රියාවන් පිළිබඳ ව රජයන්ට උපදෙස් දීම මිස, රජයට ආර්ථික කළමනාකරණය ඉගැන්වීම නොවේ. ඊට හේතුව, ආර්ථික විද්‍යාඥයන්ට එවැනි හැකියාවක් හෝ මහජන බලයක් නොමැති බැවිනි.

සෑම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියකම ගුණ දොස් රාජ්‍ය නායකයන් දෙසට විතැන් වන්නේ එබැවිනි. රජයට උපදෙස් දෙන ආර්ථික විද්‍යාඥයන් ගැන කිසිවෙකු මැසිවිලි නගන්නේ නැත. එබැවින්, රටක ආර්ථික කළමනාකරණය යනු හුදෙක් IMF හෝ මූල්‍ය වැනි ආර්ථික මතවාදයන්ට යට නොවී, පොදුජනයාගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා වෙළෙඳපොළ පද්ධතිය දේශීය වටිනාකම් පද්ධතිය තුළ භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ මනා දේශපාලනික දැනුමකින් ඉටු කළ යුතු මහජන වගකීමකි. 

උදාහරණ ලෙස නව රජයේ සමාජවාදී යැයි සැලකෙන දේශපාලනික වටිනාකම්, නිදහසින් පසු පත් වූ සියළු රජයන්ගේ දේශපාලන වටිනාකම්වලට වඩා වෙනස් බවට අදහස් ඉදිරිපත් වෙයි. බහුතර ජනතාව ඡන්ද ප්‍රකාශ කොට ඇත්තේ එම වටිනාකම් සඳහා මිස, නව රජය විසින් නිසැකින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ ආදීනව පිළිබඳ නිසි දැනුමකින් නොවේ. 

ඉහත දැක්වූ ඩොලර්කරණ ආර්ථික රෝගය ද, ආර්ථික කළමනාකරණයේ අතුරුඵලයක් වන බැවින් එය නිවාරණය කිරීම ද, ආර්ථික කළමනාකරණයේ කාර්යයකි. එබැවින්, ඩොලර්කරණ රෝගය නිවාරණය සඳහා විශේෂයෙන් දක්ෂ යැයි සැලකෙන ආර්ථික විද්‍යාඥයන් නොමැති අතර අවශ්‍ය වන්නේ නව දැක්මකින් කාලීන පදනමක් මත රෝග නිදානය විනිශ්චය කිරීම සහ ඊට ප්‍රතිකාර කිරීම යි. 

ඒ සඳහා මහජනතාව දැනුවත් කිරීම ද අවශ්‍ය වෙයි. ඊට හේතුව, නව ආර්ථික කළමනාකරණයට සහ සිස්ටම් චේන්ජ් එකට මහජනයාගේ සහයෝගය ලබා ගැනීම අවශ්‍ය බැවිනි. එසේ නොවේ නම්, වෙළෙඳපොළවලට ඇති වන හදිසි කම්පනය හේතු කොට මහජනයා සිස්ටම් චේන්ජ් එකට විරුද්ධ හැකිය. රජයන් පෙරළා දැමීමට මහජනයාට දැන් මනා පළපුරුද්දක් ඇත.

උදාහරණ ලෙස මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව ක්‍රියාත්මක කළ විට, විනිමය අනුපාතය රුපියල් 500 කට හෝ තාවකාලිකව ඉහළ යා හැකිය. ඊට සම්බන්ධ ප්‍රතිවිපාක දාමයක් ආර්ථිකය සහ ජන ජීවිතය පුරා පැතිරෙනු ඇත. ඒ අනුව, කිසිවෙකු නොදන්නා විදේශ මුදල් ඉල්ලුම් සහ සැපයුම් සාධකයන් ක්‍රියාත්මක වී, විනිමය අනුපාතය නැවත පහළ යා හැකිය. එබැවින්, එසේ ප්‍රතිපත්ති අවදානම් ගත නොහැකි නම්, රජය ක්‍රමයෙන් ආර්ථික කළමනාකරණයෙන් ඉවත් විය යුතුය. එබැවින්, ආර්ථික කළමනාකරණය යනු අදාළ දේශපාලනික නායකයන් කෙරෙහි මහජන මනාපය සහ අමනාපය අතර නිරන්තර ගැටුමකි.

ආර්ථික කළමනාකරණය ඇගයීමේ දී ආර්ථික වර්ධනය, උද්ධමනය, විදේශ සංචිතය, විනිමය අනුපාතය වැනි වත්මන් සම්මත ඉලක්කම් මත සතුටට පත් වීම ඉතාමත් අවදානම්කාරී වෙයි. ඊට හේතුව, එම ඉලක්කම් රජය විසින්ම සකසන බැවිනි. එහෙත්, ඉන් සැබෑ පොදුජන ජීවන තත්ත්වය පිළිබඳ ව කිසිවක් හෙළි නොකෙරේ. 

උදාහරණ ලෙස සමාජවාදී දේශපාලන නායකයන් සැලකිලිමත් මත් වන්නේ, ආර්ථික හෝ ආදායම් වර්ධනය නොව, එය මහජනයා අතර බෙදී යන ආකාරය යි. එබැවින්, ආර්ථික ඉලක්කම් නොතිබූ රජ කාලයේ දී රජවරුන් විසින් මහජන සුබසිද්ධිය සියැසින් ඇගයූ ආකාරයේ ඇගයුම් ක්‍රමයක් අනුගමනය කළ යුතුය. 

මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව විසින් සැපයූ ආර්ථික ඉලක්කම් නිතර හුවා දක්වමින්, ආර්ථිකය සහ ජන ජීවිතය නැවත ස්ථායිකරණය වූ බවත්, ඉතිරි ටිකත් තමන්ට කළ හැකි බවත්, පුන පුනා ප්‍රකාශ කළ හිටපු ජනාධිපති වරයා මැතිවරණයෙන් තෙවැනි ස්ථානයට පත් වූයේ, ආර්ථික ඉලක්කම් පිළිබඳ ව අධික විශ්වාසය තැබූ බැවිනි. එබැවින්, ආර්ථික විද්‍යාඥයන් විසින් සකසන ඉලක්කම් සහ මහජන ජීවන තත්ත්වය යනු විෂයන් දෙකක් ලෙස සැලකිය යුතුය.

එබැවින්, 1997/98 ආසියානු විදේශ මූල්‍ය අර්බුදය IMF එකට නොගොස් නිරාකරණයට ක්‍රියා කළ මහතීර් මොහමඩ් වැනි නායකයන් අප රටවල ප්‍රමාද වී හෝ බිහි වනු ඇතැයි ධනාත්මක චින්තනයකින් සිටීම හිතකර වෙයි.

(මීට පෙර මෙම විෂය ගැන නිකුත් කළ ලිපිය මෙතනින් කියවන්න ලිපිය ).

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික සේවයේ නියුක්ත වූ,හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan