*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

පිළිකා රෝගියෙක් නිට්ටාවටම සුව කරන්න ඔබට ලබෙන එකම එක අවස්ථාව මෙන්න !

පිළිකා රෝගියෙක් නිට්ටාවටම සුව කරන්න ජීවිතේටම එකම එක අවස්ථාවක් ලැබුණොත් ඔයා ඒක මඟ අරිනවද? නැත්නම් ඒ අවස්ථාව අරගෙන ජීවිතයක් සුවපත් කරනවද?

පුදුමයි නේද?

ඔව්! ඇත්තටම ඔයාට ඒක කරන්න පුළුවන්.

ඒ වෙනුවෙන් ඔයාට කරන්න තියෙන්නෙ ඉතාම පොඩි වැඩක් විතරයි. ශ්‍රී ලංකා රුධිර ජනක සෛල දායකයන්ගේ ලේඛනයක් හදන්න පටන් අරන් තියෙනවා. ඒකෙ ලියාපදිංචි වෙලා ඔයාටත් පුළුවන් පිළිකා රෝගියෙක්ගේ ජීවිතයක් බේරා ගන්න.

ඒ කොහොමද?
මේ ඒ ගැන විස්තරයක්.

රුධිර ජනක සෛල කියලා කියන්නේ අපේ අස්ථිවල මැද කුහරයක නිපදවෙන සෛල වර්ගයක්. ඒ රුධිර ජනක සෛල තමයි රුධිරයේ එහෙම නැත්නම් ලේවල තියෙන රතු රුධිර සෛල, සුදු රුධිර සෛල සහ පට්ටිකා බවට පත් වෙන්නේ.

රුධිර ජනක සෛල නිපදවීමේදී සිදුවන සමහර අසාමාන්‍ය තත්ත්ව නිසා සෛල අක්‍රමවත්ව බෙදී යාමෙන් ලියුකීමියා වැනි පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට හැදෙන සෛල රෝගී සෛල නිසා ශරීරය ඇතුළේ සාමාන්‍ය කාර්යය ඉටු කරන්න සමත් වෙන්නේ නෑ. ජානමය විකෘති නිසා ස්වාභාවිකව පිළිකාවලට එරෙහිව ඇති ප්‍රතිශක්තිකරණය දුර්වලවීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේවා පොදුවේ රුධිර පිළිකා කියලා හඳුන්වනවා.

මෙම රෝග සුව කරන්න ලබා දෙන ඖෂධ මඟින් පිළිකා සෛල විනාශ කරනවා. හැබැයි ඒත් එක්කම රුධිර ජනක සෛලත් විනාශ වෙනවා. ඒ නිසා රුධිර ජනක සෛල අලුතින් ලබා දීම කරන්න ඕනේ. ඇට මිදුළු බද්ධ කිරීම කියලා ඔයාලා අහලා තියෙන්නෙ මෙන්න මේ ප්‍රතිකාර ක්‍රමය.

මේ ඇට මිදුළු බද්ධයට රුධිර ජනක සෛල ලබා ගන්නේ කොහොමද?

එක් ක්‍රමයක් තමයි රෝගියාගෙන් ලබා ගන්නා රුධිර ජනක සෛල රෝගියාටම බද්ධ කිරීම. සමහර රෝග සඳහා මේ ක්‍රමය සාර්ථකයි. මුලින්ම රොගියාගෙන් රුධිර ජනක සෛල එකතු කරලා ගබඩා කරනවා. ඊට පස්සේ පිළිකා සෛල විනාශ කිරීම සඳහා අධි මාත්‍රාවකින් ඖෂධ ලබා දෙනවා. මෙහිදී ඇට මිදුළුද විනාශ වෙනවා. ප්‍රතිකාර අවසානයේදී ගබඩා කර තබන ලද රුධිර ජනක සෛල රෝගියාට ලබා දෙනවා. මේ සඳහා දායකයෙක් සොයා ගන්න ඕනෙ නෑ. ඒත් හැම රෝගයටම මේ ක්‍රමය හරි යන්නේ නෑ. ඒ නිසා සමහර රෝග සඳහා බාහිර පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා රුධිර ජනක සෛල බද්ධ කිරීම අවශ්‍ය වෙනවා.

ශරීරයේ ලේ මදි රෝගීන්ට අවශ්‍ය ලේ රෝහලේ තියෙන ලේ බැංකුවෙන් දෙනවා වගේ රුධිර ජනක සෛලත් තව කෙනෙක්ගෙන් අරන් දෙන්න පුළුවන් කියලා ඔයාලට හිතෙනවා ඇති. එහෙමම දෙන්න බෑ. රෝගියා සහ දායකයා අතර HLA කියන සාධකය ගැළපීම අවශ්‍යයි. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්.

මොකක්ද මේ HLA කියන්නේ?

HLA කියලා කියන්නේ ශරීරයට ඇතුල් වෙන බාහිර දේවල් හඳුනාගෙන බාහිර දේවල් විනාශ කරන්න සමත් පද්ධතියක්. හරියට ආරක්ෂකයන් වගේ. සරලව කියනවා නම් HLA පද්ධතිය මඟින් අපිට හඳුනා ගැනීමේ අංකයක් වගේ අංකයක් ලැබෙනවා. මේක ලැබෙන්නේ ජාන අනුව. අවයව බද්ධ කිරීමේදීත් රුධිර ජනක සෛල බද්ධ කිරීමේදීත් මේ HLA හරියට ගළපන්න ඕනේ. නැත්නම් ඒ බද්ධ කිරීම සාර්ථක වෙන්නේ නෑ.

ආපහු අපි එමු රුධිර පිළිකා කතාවට.

ඉතින් පිළිකා රෝගියෙකුට බාහිර පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා රුධිර ජනක සෛල බද්ධ කිරීම අවශ්‍ය වුණොත් HLA ගැළපෙන දායකයෙක් සොයා ගන්නේ කොහොමද? ජානවලින් ලැබෙන නිසා තමන්ගේ පවුලෙන් පුළුවන් නේද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. දෙමව්පියන් ගැළපෙන්නේ 50% ක් පමණයි. සහෝදර සහෝදරියන් හිටියත් එක්කෙනෙක් ගැලපීමේ සම්භාවිතාව 25% ක්. ඒ කියන්නේ ප්‍රායෝගිකව ගත්තම HLA ගැළපෙන දායකයෙක් පවුලෙන් හොයා ගන්න එක ලේසි නෑ.

එතකොට ඒ රෝගීන්ට ප්‍රතිකාර නැතුව මැරෙන්න ද වෙන්නේ?

ඉස්සර වුණේ එහෙම තමයි. ඒත් දැන් ලෝකයේ රුධිර ජනක සෛල දායකයන්ගේ ලේඛන හදලා තියෙනවා. දායකයන්ගේ HLA දත්ත එහි සඳහන් වෙලා තියෙනවා. ඒ අතරින් ගැළපෙන දායකයෙක් සොයා ගන්න පුළුවන්. රටවල් තුළ මෙන්ම රටවල් එකතු වී මෙවැනි දත්ත පද්ධති පවත්වාගෙන යනවා. දැනට එවැනි ලේඛන 90 ක් විතර ලෝකය පුරා තියෙනවා. නමුත් අවාසනාවට ඒවා අපිට බොහෝ දුරට ගැළපෙන්නේ නෑ. ගැළපෙන කෙනෙක් සොයා ගත්තත් ඒ රුධිර ජනක සෛල ලංකාවට ගෙන්න ගන්න ඉතා අධික වියදමක් දරන්න වෙනවා.

මේකට විසඳුමක් විදිහට ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවය එහෙම නැත්නම් ලේ බැංකුව ශ්‍රී ලංකා රුධිර ජනක සෛල දායකයන්ගේ ලේඛනයක් පිළියෙළ කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපේ රටේ රෝගීන්ටත් රුධිර ජනක සෛල දායකයෙක් අපේ රටෙන්ම හොයා ගන්න පුළුවන් වෙනවා. ඔයාටත් පුළුවන් ඒකෙ ලියාපදිංචි වෙලා රුධිර ජනක සෛල දායකයෙක් වෙන්න.

රෝගියෙක්ට ගැළපෙන දායකයෙක් සොයා ගන්න ලේඛනයේ දායකයන් විශාල සංඛ්‍යාවක් ඉන්න එක වැදගත්. දායකයන් සංඛ්‍යාව විශාලනම් දායකයෙක් හමුවීමේ සම්භාවිතාව වැඩියි. ඒක හරියට ලොතැරැයියක් ඇදෙනවා වගේ වැඩක්. ලොතරැයි ගොඩක් ගත්තොත් එකක් හරි දිනන්න පුළුවන් අවස්ථා ගණන වැඩි වෙනවා නේද? ඒ නිසා තමයි පුළුවන් හැමෝටම ශ්‍රී ලංකා රුධිර ජනක සෛල දායකයන්ගේ ලේඛනයට සම්බන්ධ වෙන්න කියන්නේ. ඒ වගේම මෙවැනි දත්ත පද්ධතියක ජනවාර්ගික විවිධත්වය නියෝජනය වීමත් අත්‍යවශ්‍යයි.

ඔයාට මොනවද මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ ?

මුලින්ම කරන්න ඕනේ දුරකතන ඇමතුමක් දීලා ලියාපදිංචි වෙන එක විතරයි. එහිදී කරන්නේ ඔයාගෙන් ජීව දත්ත ලබා ගැනීම. නම, ලිපිනය, දුරකතන අංකය වගේ දේවල් සටහන් කර ගන්නවා. ඊට පස්සේ ඔයාට පහසු ලේ බැංකුවකට ගිහින් ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න පුළුවන්. ලේ බැංකුවේදී ඔයාලට විස්තර සහිත උපදේශනයෙන් පස්සෙ HLA පරීක්ෂණය සඳහා සාම්පලයක් ගැනීම සිදු කරනවා. ඒ මුඛ කුහරයෙන් කෙළ සාම්පලයක් ගන්නවා වගේ දෙයක්. ඒක දැනෙන්නෙවත් නෑ.

ලබා ගත් සාම්පලයෙන් HLA පරීක්ෂණය සිදු කරලා තොරතුරු දත්ත ගබඩාවක සුරක්ෂිතව රැක ගන්නවා. ඔයාගේ HLA එකට ගැළපෙන රෝගියෙකුට රුධිර ජනක සෛල ඕනෙ වුණොත් ඔයාට ඒ පරිත්‍යාගය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒකට අවුරුදු ගණනාවක් ගත වෙන්න පුළුවන්. ඒ කාලය තුළ ඔයාගේ ලිපිනය, දුරකතන අංකය වෙනස් වුණොත් ඒ බව දන්වන්න.

එතකොට රුධිර ජනක සෛල ශරීරයෙන් ලබා ගන්නේ කොහොමද? සැත්කමක් කරලද?

නැහැ. කලින් සඳහන් කළා වගේ රුධිර ජනක සෛල තියෙන්නේ අස්ථිවල මැද තියෙන කුහරයේ. අතීතයේ කළේ ශල්‍යකර්මයකින් ඒක සිදුරු කරලා රුධිර ජනක සෛල ලබා ගැනීම තමයි. ඒක ඇත්තටම රුධිර ජනක සෛල දායකයාට අමාරුයි. වාසනාවකට වගේ අපේ රුධිර සංසරණයේත් යම්කිසි ප්‍රමාණයක් රුධිර ජනක සෛල තියෙන බව පසුකාලීනව සොයා ගත්තා. ඒ වගේම ඖෂධ මඟින් ඒ ප්‍රමාණය වැඩි කරන්නත් දැන් පුලුවන්. ඒ නිසා දැන් සිදු කරන්නේ ඖෂධ භාවිතයෙන් රුධිර සංසරණයේ තියෙන රුධිර ජනක සෛල ප්‍රමාණය වැඩි කරලා ඒවා ලබා ගන්න එක. ඒක රුධිර පරිත්‍යාගයකට ඉතා සමානයි. කටුවකින් නහරයක් විදින එක විතරයි දැනෙන්නේ. හැබැයි රුධිර ජනක සෛල ලබා ගන්නේ යන්ත්‍රයකින් නිසා පැය හතරක පමණ කාලයක් යන්ත්‍රයට සම්බන්ධ වී සිටීමට සිදු වෙනවා. මේ කාලය තුළ ඔයාට චිත්‍රපටියක් රස විඳින්න වගේ පුළුවන්. ඒ වගේම තමන්ට පහසු දිනයක් වෙලාවක් යොදා ගන්නත් හැකියාව තියෙනවා. යන්ත්‍රය විසින් රුධිර ජනක සෛල එකතු කරගෙන අනෙක් සියලුම කොටස් ඒ කියන්නේ රතු සෛල, සුදු සෛල, පට්ටිකා සහ ප්ලාස්මාව නැවත ඔයාගෙ ශරීරයට ලබා දෙනවා. ඒ නිසා ඔයාට කිසිම හානියක් වෙන්නේ නෑ.

මේ ක්‍රියාවලියම කොච්චර පහසු දෙයක්ද කියල දැන් ඔයාට තේරෙනවා ඇති. හැබැයි රෝගියෙක්ට ඒක ජීවිතයක්.

මේකට සම්බන්ධ වෙන්නෙ මෙහෙමයි.
ඔයාගෙ වයස අවුරුදු 18-45 අතර නම් ලියාපදිංචි වෙන්න පුළුවන්. අදම 011 2369968 කියන දුරකතන අංකයට ඇමතුමක් දෙන්න.

තවත් වැදගත් දෙයක්.
රුධිර ජනක සෛල බද්ධ කිරීමකින් ප්‍රතිකාර කරන්න පුළුවන් රුධිර පිළිකා විතරක්ම නෙවෙයි. රුධිර ජනක සෛල වෙනත් අසනීප තත්ත්වයක් නිසා ක්‍රියාකාරී නොවුණත් මෙමඟින් සුව කරන්න පුළුවන්. ලංකාවේ බහුලව තියෙන තැලසීමියාව ඇතුළු රෝග රාශියකට මේක ප්‍රතිකාර ක්‍රමයක්. ඒ නිසා මේ කාර්යය ඉතා වටිනා වැඩක්.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

~ වෛද්‍ය සමන්ත සෙනවිරත්න MBBS, DTM, MD, MSc, MBA, MA, MA

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan