*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

2025 අයවැය කාට ද? IMF එකට ද? නව ක්‍රමයක පොදුජන ආර්ථිකයට ද?

ලිපියෙහි පසුබිම 

මෙම කෙටි ලිපියෙහි අරමුණ වනුයේ, ඡන්ද දායකයන්ට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා නව රජය විසින් තම අයවැය ප්‍රතිපත්තිය (Fiscal Policy) ක්‍රියාත්මක කළ යුතු මූලික පදනම යෝජනා කිරීම යි. එහි පසුබිම මෙසේ ය.

  • පසුගිය රජය විසින් පාර්ලිමේන්තුව හරහා අනුමත කොට ඇති දැනට පවතින IMF අයවැය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේ නැඹුරුවක් නව රජයෙන් දිස් වෙයි. එසේ පරාජය වූ රජයේ සපත්තුව පැළඳ ගත හොත්, මෙම රජයේ ආයු කාලය ඉතා කෙටි විය හැකිය. 
  • ඊට හේතුව, නව රජයට ඡන්දය දුන් 42% න් කොටසක්, පසුගිය රජයට විරුද්ධව ඡන්දය දුන් අනෙක් 41% ට එකතු විය හැකි බැවිනි. එම දේශපාලනික අස්ථායිතාවයට නව රජය ගෙදර යැවීමට හැකියාව පවතී. නැවත එවැනි අස්ථායිතාවයකට දේශපාලන නායකයන් හැර පොදු මහජනයාගේ කිසිම කැමැත්තක නොමැත. ඊට හේතුව, ශ්‍රී ලංකාව ආර්ථික ගාසා තිරයක් බවට පත්විය හැකි බැවිනි.
  • දැනට ක්‍රම වෙනසක් සඳහා වූ නව රජය පත් වී සති 5 ක් වුව ද, තව සති දෙකකින් පාර්ලිමේන්තු ඡන්දයට සූදානම් වුව ද, ක්‍රම වෙනසට අවශ්‍ය රජයේ අයවැය සැකසීම පිළිබඳ ව කිසිම තොරතුරක් නොමැත.
  • පසුගිය දිනක රජයේ ඉහළ ආර්ථික උපදේශකයකු විසින් පවසන ලද්දේ, නව අයවැය 2025 ජනවාරි ඉදිරිපත් කිරීම සඳහා දැනට මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් විසින් සකසා ගෙන යන බව යි. ඉන් අදහස් වන්නේ, IMF කොන්දේසි අකුරට පිළි පැදෙන අයවැයක් එන බව යි. ඊට හේතුව, එම නිලධාරීන් කරනු ලබන්නේ, දැනට පාර්ලිමේන්තුව එකඟ වී ඇති ක්‍රමවේදය තුළ අයවැය සැකසීම යි.
  • එහෙත්, මහජනයා 42% ක් ඡන්දය දුන්නේ, එම නිලධාරීන්ට කැමති ආකාරයට අයවැය සැකසීම සඳහා නොවේ. නව ජනාධිපති විසින් දුන් මහජන හිතකාමී පොරොන්දු ඉටු කිරීම සඳහා අයවැය සැකසීමට යි. IMF අයවැයකට කැමති ඡන්ද දායකයන් ඡන්දය දෙනු ලැබුවේ, පරාජය වූ පසුගිය රජයට යි. 
  • එබැවින්, නව රජයට යෝග්‍ය වන්නේ, 1977 නොවැම්බර් 15 දින ඉදිරිපත් කළ එවක මුදල් ඇමති රොනී ද මැල් අයවැය ප්‍රතිපත්තිය යි.

රොනී ද මැල් අයවැය ප්‍රතිපත්තිය 

  • 1977 නොවැම්බර් 15 දින ආර්ථික සංවර්ධන විපර්යාසයක් ආරම්භ කිරීමේ අයවැයක් ඉදිරිපත් කළ රොනී ද මැල් කෙනෙකු නැවතත් නොඑන බව පැහැදිළි ය. 
  • එහෙත්, වත්මන් ආර්ථිකය සහ පොදුජන ජීවන මට්ටමේ මූලික පදනම තවමත් රොනී ද මැල් විසින් ඉදිරිපත් කළ මහා පරිමාණයේ සංවර්ධන අයවැයවල ප්‍රතිඵලයන් බව, මෑත ආර්ථික ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙකු දනී. 
  • එය හුදෙක් ආර්ථික විද්‍යාව නොවේ. එය, ඉතා සරලව ආර්ථිකයෙහි නිෂ්පාදන ධාරිතාවය සහ එමගින් පොදුජන ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රාජ්‍ය අයවැය සහ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති මෙහෙයවීම යි.

රොනී ද මැල් අයවැය ආකෘතිය පහත සංඛ්‍යාවලින් පෙනේ.

  • 1977 දී පැවති ආර්ථික දත්ත දෙස බලන විට, එවක 2/3 ක නව රජයේ 1978 සිට කිසිම අයවැයක් ආශ්‍රිත ඉලක්කම් සියල්ල හොඳ වී නැත. ආර්ථික වර්ධනය පමණක් මුල් වසර කිහිපය තුළ ඉහළ ගොස්, පසුව 1986/87 සිවිල් අරගල තුළ කඩා වැටී ඇත.
  • එහෙත්, අයවැය හිඟය, ණය, විනිමය අනුපාතය, ගෙවුම් ශේෂ හිඟය සහ උද්ධමනය යනාදී කිසිම බියකින් තොරව ආර්ථිකය සහ පොදුජන ජීවන තත්ත්වය ඉලක්ක කොට, අධි ප්‍රසාරනාත්මක අයවැය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කොට ඇත.
  • එය, ආර්ථිකයෙහි සැපයුම් අංශය ඉලක්ක කොට, එවක ප්‍රචලිත කේන්ස් මතවාදය අනුගමනය කිරීමකි. තව ද, එය දැනට ඇමෙරිකානු රජය විසින් ද අනුගමනය කරන නූතන මුදල් සහ නූතන සැපයුම් ආර්ථික විද්‍යා මතවාදයට අනුකූල රාජ්‍ය අයවැය ප්‍රතිපත්තියකි.

නව රජයේ අයවැය ප්‍රතිපත්තිය 

  • 1977 දී අර්බුදයට ලක්ව තිබූ ශ්‍රී ලංකා ආවෘත ආර්ථිකය, ගෝලීය හෝ විවෘත ආර්ථිකයක් හරහා ගොඩ ගැනීම රොනී ද මැල් අයවැය ප්‍රතිපත්තියේ අරමුණ විය.
  • එබැවින්, වත්මන් ශ්‍රී ලංකාවේ බංකොලොත් ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා ද නව රජයට ඇති එකම විකල්පය එවැනි අයවැය ප්‍රතිපත්තියක් ඉදිරි පස්වසර තුළ ක්‍රියාත්මක කිරීම යි. එය හුදෙක් ගුවන් යානා විද්‍යාවක් නොව, ප්‍රයෝගික ආර්ථික දර්ශනයක් අනුගමනය කිරීමකි.
  • ඊට ඇති ආර්ථික බාධක ඉලක්කම් රැසක් පසුගිය රජය විසින් මැතිවරණ වේදිකාවේ තබා ඇත. ඒවා, ජනාධිපතිවරණ වේදිකාවේ දී ලෝකයේ ඉතා හොඳ ඉලක්කම් ලෙස ඉදිරිපත් කොට පරාජය වූ ඉලක්කම් ය. එබැවින්, රොනී ද මැල් මාදිලියේ අයවැය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ දී, නව රජය මුහුණ දෙන අභියෝගාත්මක සංකල්පයන්/මතවාදයන් රැසක් පවතී. ඒ සියල්ල IMF ආර්ථික මතවාදය මත නිර්මාණය වී ඇත.

නව රජයේ අයවැය මුහුණ දෙන සංකල්පීය බාධක

මෙම බාධකයන් ඉවත දැමීමට නව රජයට හැකි නම්, රොනී ද මැල් අයවැයක් ද, එසේ නැතිනම්, පසුගිය රජයේ මෙන් IMF අයවැයක් ද මහජනතාවට ලැබෙනු ඇත. එම බාධකයන් ලැයිස්තුව මෙසේ ය.

  • වත්මන් බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සහ මහජන ජීවන තත්ත්වය ගොඩ ගැනීම සඳහා ඉදිරි පස්වසර තුළ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු සමාජ ආර්ථික ව්‍යාපෘතීන් සහ වියදම් පරිමාව හඳුනා ගැනීම. 2025 අයවැය එහි පළමු පුරුක යි.
  • රාජ්‍ය අයවැය යනු කුටුම්බ අයවැයක් මෙන් ආදායම් සංරෝධකයට මුහුණ නොදෙන, මුදල් නිෂ්පාදනය හරහා ඕනෑම හිඟයක් පියවිය හැකි අයවැයකි.
  • රාජ්‍ය අයවැය හුදෙක් පාලක දේශපාලනික පංතියේ අයවැයක් නොව, මහජන ආර්ථිකය සහ ජීවන මට්ටම ගොඩ නැංවෙන අයවැයකි.
  • රජයට දේශීය මුදලින් ණය ගැනීමේ සීමාවක් නැති බැවින් අයවැය හිඟය ගැන බිය විය යුතු නැත. ඊට හේතුව, රජය යනු ස්වෛරිත්ව මුදල් නිෂ්පාදකයා සහ රට තුළ ඉහළම ණය විශ්වාසයක් ඇති ණයකරු වන බැවිනි.
  • ආර්ථිකයෙහි නිෂ්පාදනය සහ නිෂ්පාදන ධාරිතාවය ඉහළ යන වියදම් සහ ණය හේතුවෙන් උද්ධමනයක් හට ගත හැකි බවට රජය බිය විය යුතු නැත. එසේ නම්, පෞද්ගලික අංශයේ ණයවලින් ද උද්ධමනයක් හට ගනු ඇත. හේතුව, පෞද්ගලික ණය ද නව මුදල් නිෂ්පාදනය හරහා සැපයෙන බැවිනි.
  • නූතන මුදල් සහ වෙළෙඳ ආර්ථිකයන්හි ඉල්ලුම සහ සැපයුම අතර කාල පරතරයක් නොමැති බැවින් අයවැය හිඟයකින් හට ගත හැකි උද්ධමනය ගැන බියවිය යුතු නැත. ඊට හේතුව, නව ඉල්ලුම සැපිරීමට කඩිනමින් නව සැපයුමක් ජනිත වන බැවිනි. තව ද, අයවැය හිඟය හේතුවෙන් පමණක් උද්ධමනය හට ගන්නා බවට ආර්ථික පර්යේෂණ සාක්ෂි නොමැත. එහෙත්, අයවැය හේතු කොට සමස්ත නිෂ්පාදනය, ධාරිතාවය සහ මහජන ජීවන මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යන බවට ඕනෑ තරම් සාක්ෂි ඇත.
  • අයවැය හිඟය හේතු කොට උද්ධමනයක් හට ගනී නම්, එය 3%-7% මට්ටමක පාලනය කිරීම ස්වාධීන මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීමකි. එබැවින්, හුදෙක් මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීමට උපකාරී වීම සඳහා අයවැය හිඟය කැපීමට සදාචාර අයිතියක් රජයට නැත. මහජනයා විසින් රජය පත් කොට ඇත්තේ, ආර්ථික සහ සමාජ පොරොන්දු ඉටු කිරීම සඳහා ය. ඒ සඳහා සැලකිය යුතු අයවැය හිඟයක් අවශ්‍යය. මහජනයා විසින් මහ බැංකුව පත් කොට නැත. තව ද, උද්ධමන පාලනය සඳහා මහ බැංකුවට නිසි නෛතික සහ අනීතික මෙවලම් ඇත.
  • රාජ්‍ය අයවැය හිඟය සහ ණය හේතුවෙන් පොලී අනුපාතය, විනිමය අනුපාතය, ගෙවුම් ශේෂ හිඟය ඉහළ යාමේ චෝදනාවන් කෙරෙහි රජය බිය විය යුතු නැත. ඊට හේතුව, ඒවා පාලනය කිරීම ස්වාධීන මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීම වන බැවිනි.
  • අයවැය හිඟය ඉහළ යාම හේතු කොට රාජ්‍ය ණය තොගය ඉහළ යාම පිළිබඳ ව රජය කනස්සළු විය යුතු නැත. ඊට හේතුව, කිසිම ණයක් ගෙවා නිම නොකිරීමත්, නව ණය ගැනීම හරහා පැරණි ණය පියවීමත් ය. නව රජය දැනට කර ගෙන යන්නේ ද එය යි. ඊළඟ රජයට අඩු ණය තොගයක් උරුම කොට දී ගෙදර යාමේ පරාර්ථකාමී හැඟීමක් කිසිම රජයකට නැත. එබැවින්, අයවැය හිඟය සහ ණය පහළ දැමීමට උත්සාහ කිරීම යනු උගුරට හොරා බෙහෙත් බීමට දරණ උත්සාහයක් වැනිය.
  • දේශීය මුදල් ණය පැහැර හැරීමේ කිසිම අවදානමක් රජයට නැත. එසේ පැහැර හැරීම හුදෙක් දේශපාලනික කුමන්ත්‍රණයක් පමණි. රජයන්ට පැහැර හැරීමට සිදු වන්නේ, විදේශ මුදල් ණය යි. ඊට හේතුව, විදේශ සංචිතයක් පවත්වා ගැනීමට මහ බැංකුව අසමත් වීම යි. එබැවින්, රජය විසින් දේශීය මුදල් ණය පමණක් ගත යුතුය. මහ බැංකුව විසින් තම විදේශ සංචිත වගකීම ඉටු කිරීම පිළිබඳ විශ්වාසයක් පවතී නම්, විදේශ මුදල් ණය ගැනීමේ වරදක් ද දැකිය නොහැකිය.
  • රාජ්‍ය ණය ඉහළ යාම යනු පෞද්ගලික අංශය සතු ගුණාත්මක බවින් ඉහළම වත්කමක් ඉහළ යාම යි. එය පෞද්ගලික ඉතුරුම් මුදල් ආයෝජනයට විශ්වාසී මූලයකි.
  • රාජ්‍ය ණය ප්‍රසාරණය හරහා මුදල් මුද්‍රණය ඉහළ යන බවට රජය කනස්සළු විය යුතු නැත. ඊට හේතුව, ආර්ථිකයේ සමස්ත වියදම් සහ මුදල් ප්‍රසාරණයේ අවශ්‍යතාවය අනුව මුදල් මුද්‍රණය කිරීම ස්වාධීන මහ බැංකුවේ වගකීම වන බැවිනි. රජය විදේශ ණය ගන්නා විට මුදල් මුද්‍රණය අනිවාර්යයෙන් ඉහළ යනු ඇත. ඊට හේතුව, ණය මගින් ලැබෙන විදේශ මුදල් මහ බැංකුවට විකිණීමත්, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා රජයට දේශීය මුදල් සැපයීමත් ය. එසේම, රජය විසින් දේශීය ණය ගැනීමේ දී පොලී අනුපාතයන් ඉහළ ගිය හොත්, මහ බැංකු මුදල් ප්‍රතිපත්තියට ගැළපෙන ලෙස පොලී අනුපාතයන් පහළ දැමීම සඳහා ද මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කරනු ඇත. එය රජය කනස්සළු විය යුතු කාර්යයක් නොව මහ බැංකු වගකීමකි.

නිගමනය

  • නව රජයේ අයවැයට අභියෝග ලෙස මුදල් මුද්‍රණය, අයවැය හිඟය, ණය ප්‍රතිශතය, පොලී අනුපාත, විනිමය අනුපාතය, ගෙවුම් ශේෂ හිඟය සහ උද්ධමනය යනාදී ඉලක්කම් ඉහළ යාම සහ මහ බැංකු විදේශ සංචිතය නැවත කඩා වැටීම පිළිබඳ ව මැතිවරණ වේදිකාවේ නැවත ඉදිරිපත් කෙරෙන ආර්ථික ඉලක්කම් මතවාදයන්හි කිසිම සාර්ව ආර්ථික වැදගත්කමක් නොමැත. ඒවා රජයේ වගකීම් නොවේ. මහ බැංකුවේ ස්වාධීන වගකීම් වෙයි. එබැවින්, එම ඉලක්කම් හුවා දැක්වීම තුළින් රාජ්‍ය අයවැය ප්‍රගතිය තහවුරු කිරීමට උත්සාහ කිරීම අයෝග්‍ය ය. රජය විසින් කළ යුත්තේ, තම අයවැය තුළින් ආර්ථික හෝ නිෂ්පාදන ධාරිතාවය සහ මහජන ජීවන මට්ටම ඉහළ යාම පිළිබඳ ප්‍රගතිය ඉදිරිපත් කිරීම යි.
  • එබැවින්, රජයට ඇති අභියෝගය වන්නේ, ඉහත ඉදිරිපත් කළ පරිදි රොනී ද මැල් මාදිලියේ ස්වාධීන අයවැය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට, නව රජයට ආර්ථික විද්වත් හැකියාවක් ඇත් ද? යන්න යි. එය මුදල් අමාත්‍යංශ අයවැය නිලධාරීන්ගෙන් ඉටු නොවන බව කිව යුතු නැත. කාර්යාලීය ක්‍රියාවලිය යටතේ ඔවුන් කුමන අයවැය ඉලක්කම් සැකසුවත්, පොරොන්දු වී ඇති සමාජ ආර්ථික ප්‍රමුඛතාවන් අනුව අයවැය සහ එය බෙදා හැරිම තීරණය කළ යුත්තේ, මහජනයා විසින් පත් කොට ඇති රජය යි. රොනී ද මැල් ට මුදල් අමාත්‍යංශ සහ මහ බැංකුව යන ආයතන දෙකේම සම්පත් දායකත්වය නොඅඩුව ලබා ගැනීමේ හැකියාවක් පැවතින. එහෙත්, නව රජයට එම ආයතන දෙකම ස්වාධීනත්වය නාමයෙන් ගිලිහී ඇත. එසේම, එම ආයතනයන් දෙකම පසුගිය රජයේ IMF ආර්ථික මතවාදයේ බලකඳවුරු ලෙස අඛණ්ඩව පවතී. 
  • එබැවින්, සමස්තයක් ලෙස ගත් විට, 2025 දී මහජනයා නැවතත් IMF අයවැයකට කොටු වීමේ සහ බංකොලොත් භාවයේ කිමිදීමේ පූර්ව සංඥාවන් නොඅඩුව පවතී.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

මූලාශ්‍රය: Economy Discovery

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan