මගේ මතකය 1994 වසරට දිව යයි. ඒ මා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ භාෂා පරිවර්තක තනතුරකට පත්කරන ලද සමයයි. මා එහි යනවිට එහි ආයතන අංශයේ රැවුල් කොන විකාගෙන ලිපි ගොනු බලනා, ඒ වැඩ හමාර වූ වහාම පොතක් ගෙන කියවනා තරුණයෙකි. ඔහුගේ මෙන්ම මගේද ප්‍රධානියකු ලෙස සිටියේ වරෙක ගුරුවරයෙකු ලෙස සේවය කර පසුව පරිපාලන සේවයට ආ රොද්‍රිගෝ නම් මහතෙකි. ඔහු වේවැල අතින් ගත් නියම ගුරුවරයෙකි. ඔහුට මේ රැවුල විකාගෙන කියවන තරුණයා රිස්සුවේම නැති. ඔහු හොර කරනවනා යයි සිතූ රොද්‍රිගෝ මහතා කරන්නේ ඔහුට නෙක වැඩ පටවන එකය. තරුණයා කරන්නේ එය වහා ඉවර කර පොතක් බලන එකය. මේ එදා එහි තිබූ සුන්දර පොරයකි. මේ පොරය ඇල්ලූ තරුණයා සමග මම වහා මිතුරු වීමි ඔහු පියන්කාරගේ බන්දුල ජයවීර ය.
ඔහු සිය අතීතකාමය කාව්ය කෘති පල කරනුයේ 2001 වසරේදීය. ඉන්පසු තවත් කාව්‍ය ග්‍රන්ථ හතරක් පලකරන ඔහු අවසන් වරට කෘතියක් පල කරනුයේ 2015 වසරේදීය. ඉදින් යළි ඔහු වසර ගනනක විරාමයෙන් පසුව සිනහ වග්ගයද සමගින් යළි පැමිණ සිටී.
බන්දුලගේ පූර්ව කාව්ය ග්‍රන්ථයන්හී බොහෝ කවි කාර්යාල ජීවිතය කේන්ද්‍ර කොට ගෙන ලියනු ලැබිණි. මා සිතනා ආකාරයට වර්තමාන කාර්යාල දිවියෙහි ඇති තතු ලුණු ඇඹුල් ඇතිව පදමට ලියූ කවියා ඔහුය. එසේම ඔහුගේ කවිය සංක්ෂිප්ත බවින් පොහොසත්ය. උපහාස රසයෙන් ඊටත් වඩා පොහොසත්ය. ඔහුගේ බොහෝ කවි වල මූලික ලකෂණය වූවේම මේ උපහාසය මුසු වදනින් එල්ල කරනා සියුම් පහරයි. ඔහු වරෙක පෙම්වතිය දුර බැහැරකිය යනුවෙන් කෙටි කවක් රචනා කළේය.
පියුම් මාමා ලියුමක් ගෙනත්
ලියුම් මාමා පියුමක් ගෙනත්
එහෙත් මෙවර බන්දුලගේ කවිය කාර්යාල දිවියෙන් බැහැරට ගොසිනි. එසේම උපහාස රසය තැවරී ඇති වුවද ඒ පරයා යන සංවේදී බවක් ඔහුගේ කවියෙහි දක්නට ලැබෙයි. එහෙත් පෙර පරිදිම ඔහුගේ කවිය බරපතල සමාජ කියවීමක් විචාරයක් වෙනුවෙන් වෙන් වෙයි.
අපේ ජීවිත ගෙවෙන්නේම ගොහොරු බිමකය. එය පිරිපහදු කිරීමෙන් තොරව අප කිසිවකුට හෝ ගැලවීමක්ද නැත. එහෙත් එය පිරිපහදු කිරීම වෙනුවට අප වඩාත් උත්සුක වන්නේ ඊට අනුගතව ගැලවීම සොයා යාමටය. අප අතර තරගය ඇත්තේ එහිදීය. බන්දුල සිය කවියෙන් මේ ජරාජීර්ණව ගිය සමකාලීන ජීවිතයේ අහු කොන් අල්ලා ඔසවා පෙන්වයි. ඔහු යුද්දෙ? යනුවෙන් රචනා කරන කවිය අප යුද්ධය නමින් දන්නා ක්‍රියාවලිය ඉක්මවා ගොස් වඩා විසල් අරුත් කලාපයන් මතු කරයි.
තමන්
නොදිනන පෙතක
සොල්දාදු
දාදු කැට
අප උපදිනුයේ පස්මහ බැලුම් බලනා වාසනාව අහිමිවය. අපට උරුමය ලෙස ලැබෙනුයේම අවලංගුව යාම පමණි. එයට එරෙහිවීම යනු අරගලයකි. බන්දුල මේ ජීවිතය දකියි.
නිෂ්පල මිනිසකුව ඉපැදී පෙර දිනක
නිෂ්පල උගැනුමක් ලැබ පාසල් බිමෙක
නිෂ්පල රැකියාවකුත් උරුමව අහඹුවෙක
නිෂ්පල ඉසිඹුවක් එළැඹෙද හෙට දිනෙක?
කවියා දිවියෙහි පරිණත බවට එළඹෙහින් ආපසු හැරී බලයි. ඔහු එහිදී දිකුනයේ අපේ පොදු ඛෙදවාචකයයි. ඔහු තමන්ගේ කවියට ගන්ටනේ අපේ පොදු ඉරනමයි.
ආදරේ ප්‍රභේද නමින් බන්දුල රචනා කරනා කවියද අපූර්ව කියවීමකි. එය අපේ තරගකාරී වෙහෙසින් පරිපීඩිත ජීවිතයේ අපට සියුම් අවස්ථා මගහැරෙන ආකාරය, අපට ජීවිතය ගිලිහෙන වේගය දක්වන සියුම් ලියවිල්ලකි.
ආත්මය පුරෝගෙන
ආදරෙන්
රසින් රස මසින් මස
කිඳා බැස පතුලටම!
මිහිර සෙවූ-මිහිර මැවූ
අනන්තාපරිමාණ ආදරේ
‘අද මහන්සියි සුදූ” කීමත්
එහෙම කිවුවාම බුම්මාන
අනෙක් පස හැරී
ගොරවන ඔරවන
එකත් ඉතින්
ආදරේ ප්රනභේදයකි!
ප්රේකාශන විදිහකි?
බන්දුලගේ නව කෘතියෙහිද සංක්ෂිප්ත බව නොඅඩුව දක්නට ලැබෙයි. ඒ අතරම පෙර කවි වලට වඩා සිහින් වේදනාවක ඡායාවක් ඒ කවි තුළ ගැබ්වෙයි. බන්දුලගේ කවියද බන්දුලද වෙනත් අදියරකට පිවිසෙමින් සිටින්නේද? වැහි දවස්, ඒ දවස්, මෙ”දවස් යන කවිය එවන් සංවේදී කවකි. කුටුම්බගත ජීවිතයෙහි වර්තමානයෙක අතීතාවර්ජනයන් සහ වර්තමානය කරා වන ගමනක් හරහා ඔහු අපේ ජීවිතය කියවයි.
වැහි අඳුරු සීතල
නමුදු සිත උනුසුම්ය
දෙදෙන දෙතැනක විසූ
එක්කෙනකු බැව් සිතූ
දුර ඈත අතීතෙක
මෙවන් වැහි දවසකට
බොහෝ තේරුම් තිබිණ
ඒ වැහි දවස් අවසන එළඹෙනුයේ එක්ව දිවි ගෙවනා වසත් සමයයි. එහෙත් ඒ වසත් සමයක්මද?
දැන් ඉතින් එක සෙවණ
දෙදෙන දෙදෙනකුගේය! දැන
පුරුදු පෙම නිති රකින
දිවි රකින දරු රකතින
නොනිමි ජීවිත සටන
මට නිවාඩුය! එහෙත්
නුඹ වැඩට යා යුතුය!
ඉතින් නුඹ ළඟ නොමැති
වැහි දවස සොඳුරු නැත
මේ අඳුරු සීතලේ
ඇට මිදුළු පවා හිරිවට්ටවා
හෙණ අකුණු පුපුරුවා
වහින මේ දඹ වැස්ස
මගේ දුක් කඳුලුය!
බන්දුලගේ කෙටි කවි තියුණුය. එල්ලය බලා මුදන ඒ කවි දවටන වලින් වැසී ගත් ජීවිතයක් නිර්දය ලෙස නග්න කරයි.
බොහෝ මගුල්
ෆොටෝ එකට
සීමා වේ!
මේ ඔහු යොවුන් ප්‍රේමය සහ එහි පලය ලෙස හිමිකරගන්නා කුටුම්භගත දිවියෙහි යථාව ග්‍රහණය කරගන්නා ආකාරයයි. ජීවිතය යනු වෙහෙසකර වයායාමයකි. එහි සැනසුම ලෙස අප ලබනුයේ නෙක හැඩයන්ගෙන් ලබනා ආදරයමය. එහෙත් ඒ ආදරයද අද ඇත්තේ අහිමි වෙමිනි. ඒ අතර යමකුට ලබත හැකි ජීවිතාවබෝධය කවියා අපට පෙන්වයි.
දෙදෙනා….
එක්කෙනකුන් බව දැනුනා
දෙතැන
දිවි ගවෙද්දී
දෙදෙනා
දෙදෙනකු බව දැනුනා
එක්ව
දිවි ගෙවද්දී
බන්දුලගේ වර්තමාන කවියෙහි යම් විටෙක කිසියම් වැඩිහිටි උපදේශාත්මක බවක්ද ගැබ්වන සෙයක් දක්නට ලැබෙයි. එහෙත් ඒ අතරම ඒ කවිය තුළ වයසින් මුහුකුරා ගියද සම්ප්‍රදායික වැඩිහිටි භූමිකාවෙහි නැති විවෘත බවකින් ලොව දකින්නට ඇති සමත්කමද එහි ගැබ්වෙයි. ආදරේ යනුවෙන් නම් කර ඇති කවිය එබඳු කවියකි. ඔහු එහිදී වර්තමාන යොවුන් පරපුර දෙස බලන දයාර්ද්‍ර බැල්මෙහි ඇත්තේ විවෘතව බලන්නට සමත් වැඩිහිටියකුගේ එළඹුමකි. අම්මාගේ කවියද එවන කවියකි.
බන්දුල අයත්වනුයේ මගේ පරම්පරාවටය. ඔහු කවිය අත නොහැර ඒ සමගම අන් අයගේ කවියද අගය කරමින් ඉදිරිය බලන්නට උත්සුක වන කවියෙකි. ඔහුගේ කවියෙහි ඇති අව්‍යාජත්වය ඒ කවියෙහි රුව නංවන සාධකයක් බවට පත් වෙයි. එහෙත් ඔහුගේ පෙර කවි හා සසඳන කල වර්තමාන කවිය තුළ පෙරට වඩා තැන්පත්, සියුම් සංවේදීබව උපහාස රසය මැඩ ඉදිරියට ගන්නා කවියකු හමුවෙයි. එහෙත් ඔහු ඒ පෙර කවියාගේ එළඹුමද අත නොහැර තවත් සියුම් හා තියුණු කරගත යුතුය යනු ඔහුගේ කවියට ඇලුම් කරනා මගේ සිත මට කියයි.
~ චූලානන්ද සමරනායක
RN