සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 01, (LNW) කොළඹ: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී යුද හමුදා කණ්ඩායම වෙනුවෙන්,ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට එරෙහිව අති විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කරන්නට නිලක්ෂිකා සිල්වා සමත් වුණා.හතරේ පහර 17 ක් සහ හයේ පහර හයක් සමඟ පන්දු 110 දී ඇය නොදැවී ලකුණු 189 ක් වාර්තා කරන්නට සමත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීය පිතිකාරිණියක වන නිලක්ෂි බොහෝ අසීරු අවස්ථාවන්වල ඉතාමත් කල්පනාකාරීව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නියක් ලෙස ප්‍රකට වුව ද,මේ ඉණිම ඊට වඩා බෙහෙවින් ප්‍රචණ්ඩාකාරී ස්වභාවයක් උසුලනු ලැබුවා.
නිලක්ෂිකා ගේ ඉණිම හේතුවෙන් නියමිත පන්දු වාර 50 නිමා වන විට යුද හමුදා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 375 ක් ලබා ගත් අතර ඇය නෙත්මි පූර්ණා (67) සමඟ තෙවන කඩුල්ලට ලකුණු 139 ක් සහ සිව්වන කඩුල්ලට උදයංගනී ද සිල්වා (43) සමඟ ලකුණු 80 ක් ලෙස යුද හමුදා ලකුණු පූවරුව ඉහළට එසැවිමේ ප්‍රධාන සබඳතාවන් පිහිටුවන්නට කටයුතු කළා.පිළිතුරු ඉණිමට මුහුණ දුන් ද්‍රවිඩ ක්‍රීඩා සමාජ කණ්ඩායම ලකුණු 57 ට දැවී ගියේ යුද හමුදා කණ්ඩායමට ලකුණු 315 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කර දෙමින්.එහිදී යුද හමුදාව වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දක්වමින් පන්දු ඕවර් 5.5 ක් තුළ ලකුණු 7 ට කඩුලු 4 ක් දවා ගන්නට නිමේෂා මධුශානි සමත් වුණා.
සිසිසි කණ්ඩායම ලකුණු 72 ට සීමා කරන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා.ඒ හපන්කමට මූලිකත්වය ගනිමින් ඕෂධි රණසිංහ ලකුණු 7 ට කඩුලු තුනක් ද,අමා කාංචනා ලකුණු 8 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.එම ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී ගුවන් හමුදා ලකුණු පූවරුව 10 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී එක් කඩුල්ලකට ලකුණු 73 ක් බවට පත් කරන්නට මල්ෂා ෂෙහානි පන්දු 32 ක් තුළ නොදැවි රැස් කළ ලකුණු 60 පුධාන වශයෙන් දායක වුණා.
සටන්කාමීත්වයෙන් තොරව ජය ගත් තරග අතරේ එන්සීසී සහ චිලව් මේරියන්ස් කණ්ඩායම් අතර තරගය යම් ආකරයකින් තියුණු මුහුණුවරක් ගත්තා.එන්සීසී ක්‍රීඩා සමාජය ලැබූ ලකුණු 85 ලබා ගන්නට ගිය චිලව් මේරියන්ස් කණ්ඩායමේ ලකුණු පූවරුව ලකුණු 86 වෙද්දී එන්සීසී ක්‍රීඩිකාවන් කඩුලු හයක්ම ඩැහැ ගන්නට සමත් වුණා.චිලව් මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරිය් බලාපොරොත්තුව වන කවීශා දිල්හාරි නායිකාව ලෙස ද,අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ මනුදි නානායක්කාර මෙන්ම සංජනා කාවින්දි,දෙව්මි විහංගා සහ සුමුදු නිසංසලා වැනි යොවුන් දක්ෂයින් සිටියදී එන්සීසී ක්‍රීඩා සමාජය හොඳ තරගයක් ලබා දුන්නා.එහෙත් ඒ සඳහා එන්සිසී කණ්ඩායම පන්දු ඕවර් 40.1 ක් වැය කර ලැබූ ලකුණු පන්දු ඕවර් 19.5 දී ලබා ගැනීමට සමත් වුව ද,ඒ වේගය වෙනුවෙන් ඇති කර ගත් කලබලය මෙතරම් කඩුල් ප්‍රමාණයක් මේරියන්ස් කන්ඩායමට අහිමි වන්නට බල පෑ බවද සිතිය හැකියි.එන්සීසී කණ්ඩායම වෙනුවෙන් මෑත කාලයේ අවධානය දිනූ ක්‍රීඩිකාවක් හැටියට දකින්නට ලැබුණේ නායිකා ඉනෝෂි ප්‍රනාන්දු පමණයි.
වැඩිම තරගකාරීත්වයක් සහ ආසන්න සමීප දක්ෂතා අතර තිබුණු තරගයක් ලෙස එස්එස්සී ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර පැවති තරගය කැපී පෙණුනා.පළමුව පන්දුවට පහර දී එස්එස්සී ක්‍රීඩා සමාජය ලකුණු 135 ට දැවී ගියා.එම ලකුණු ප්‍රමාණය ලබා ගන්නට ඔවුන්ට පන්දු ඕවර් 49 ක් වැය වුණා.පිළිතුරු ඉණිමට පිවිසි කෝල්ට්ස් කණ්ඩායම පන්දු ඕවර් 41.1 දී ලකුණු 136 ක් ලබා ගෙන ජය ගත්ත ද ඒ වන විට එස්එස්සී කණ්ඩායම ඔවුන්ගේ කඩුලු 8 ක් බිඳ දමා තිබුණා.
කොල්ට්ස් කණ්ඩායමේ අංක 10 ක්‍රීඩිකාව ලෙස පිටියට පිවිස නායිකා උදේනි කුරුප්පුආරච්චි නොදැවී ලකුණු 16 ක් ලැබීම කෝල්ට්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට බලපෑවා.නවවන කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 29 ක් එක් කරන්නට උදේනිට සහය වෙමින් අංක 7 පිතිකාරිනිය ලෙස පැමිණි සඳලි ෂෙනාරා පන්දු 48 ක් තුළ නොදැවි ලකුණු 11 ක් ලබා ගෙන සිය කඩුල්ල රැක ගෙන සිටි අතර ඇය විසින් එල්ල කරන ලද එකම හතරේ පහර තරගයේ ජයග්‍රහණය සටහන් කරමින් ශානිකා සත්‍යාංගි වෙත එල්ල කරමින් කෝල්ට්ස් ලකුණු පූවරුව 136 බවට පත් කළා.
යුද හමුදාව ලැබූ දැවන්ත ජයෙන් පසු වාර්තා වූ විශාලම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණේ කුරුණෑගල තරුණ කණ්ඩායමට එරෙහිව නාවික හමුදා කණ්ඩායමයි.ඔවුන් පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 7 ට ලකුණු 295 ක් රැස් කරනු ලැබුවා.නාවික ඉණිමේ නැංගුරම බවට පත් වූ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 78 ක් රැස් කරන්නට සමත් වුණා.නායිකා හසිනි පෙරේරා (48) සමඟ ඇය දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සබඳතාවක් පැවත්වීමට සමත් වුණා.එසේම යළිත් සිව්වැනි කඩුල්ලට සත්‍යා සංදීපනී (41) සමඟ ලකුණු ලකුණු 89 ක් සබඳතාවක් ද පවත්වන්නට හර්ෂිතා දායක වුණා.පිළිතුරු ලෙස කුරුණෑගල කණ්ඩායමට රැස් කරන්නට හැකි වුණේ ලකුණු 60 ක් පමණයි.
මේ තරගාවලියේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරනු දකින්නට ලැබෙනවා.එසේම සමාජයේ වැඩිය අවධානයට ලක් නොවූ අවස්ථාවන් අඩු යොවුන් ක්‍රීඩිකාවන් මෙ තරගවලදී ක්‍රීඩා සමාජ හරහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමඟ ගැටෙමින් අත්දැකීම් එකතු කර ගනිමින් සිටිනවා.ඒ නිසා මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් පවතින ඉහළ මට්ටම අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා සකස් කරන ලද අතිශයින් ප්‍රායෝගික වූ සැළසුමක වැදගත් කොටසක් ලෙස මේ තරගාවලිය හැඳින්විය හැකියි.ක්‍රීඩිකාවන් තරග මානසිකත්වය තුළ කෙසේ හැසිරෙන්නේ ද යන්න පිළිබඳව විශාල අවබෝධයක් ලබන සහ සිය දක්ෂතා තත්වානුකූලව භාවිතයට ගන්නේ කෙසේද යන්න පිළිබඳව වැදගත් පෙරහුරුවකට මඟ කියන මෙ තරගාවලිය ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම්වල පමණක් නොව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණයක් ලෙස ද හැඳින්විය හැකියි.