සටහන – රුවන් නෙළුගොල්ල
2020 නොවැම්බර් 29 වනදා කොවිඩ් වසංගත තත්වය අතරේ, බන්ධනාගාරය තුළ කොවිඩ් පරීක්ෂණ සිදුකරන ලෙසත් කොවිඩ් වැළඳුණු රැඳවියන්ට ප්‍රතිකාර කරන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදුකළ විරෝධතාවකට වෙඩිතබා රැඳවියන් 11 දෙනෙකු මරණයට පත්කිරීමේ සිද්ධියට අදාළ නඩුගොනුව නීතිපතිවරයා විසින් වසා දැමීම මවිතයට කරුණක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ප්‍රකාශ කර තිබේ.
මහේස්ත්‍රාත්වරයා මේ බව පැවසුවේ නීතිපතිවරයා විසින් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය අගතියට පත් පාර්ශ්වයට දැනුම් දීම සඳහා නඩුව ඊයේ (නොවැම්බර් 22) කැඳවූ අවස්ථාවේදී ය.
මෙම රැඳවියන් 11 දෙනාගේ මරණ පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු අනුව ඔවුන්ගේ මරණ සිදුව ඇත්තේ උදරයෙන් ඉහළට වැදුණු වෙඩි ප්‍රහාරවලින් බව සිහිපත් කළ මහේස්ත්‍රාත්වරයා මෙය කිසිසේත් කළහකාරී තත්වයක් පාලනය සඳහා අවම බලය පාවිච්චි කිරීමක් ලෙස සැලකිය නොහැකි බවත් මෙය අපරාධයක් බැවින් මීට අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස තමන් නියෝග කළ බවත් පැවසීය.
එහෙත් නීතිපතිවරයා පසුගිය සැප්තැම්බර් 26 වනදා යොමුකර ඇති උපදෙස් ලිපියෙන් පවසා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නීත්‍යානුකූලව කටයුතු කර ඇතිය යනුවෙන් බව පැවසූ මහේස්ත්‍රාත්වරයා එය පුදුම සහගත බවත් මෙහිදී තමන් නිකුත් කළ නියෝගය සහ නීතිපතිවරයාගේ මතය අතර පැහැදිලි ගැටුමක් ඇති බව බවත් සඳහන් කළේය.
මේ සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ එන ” මිනිමැරුම” හෝ 298 වගන්තියේ එන ” නොසැලිකිලිමත්කමින් මරණය සිදුකිරීම” යන වරද යටතේ චෝදනා ගොනුකළ හැකිය යන්න මේ මොහොතේදීත් තම අධිකරණයේ මතය බව පැවසූ මහේස්ත්‍රාත්වරයා කෙසේවෙතත් නීතිපතිගේ බලය අතික්‍රමණය කිරීමේ බලයක් තම අධිකරණයට නොමැති බැවින් අගතියට පත් පාර්ශ්වයට ඇති එකම විකල්පය අභියාචනාධිකරණයට ඉල්ලීමක් කිරීම බවත් පෙන්වා දුන්නේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනක පෙරේරා මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් පැවසුවේ නීතිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය අතිශයින්ම ප්‍රශ්න සහගත බවත් ජනතාව පිළිගත යුත්තේ අධිකරණයේ නියෝගයද නැතිනම් නීතිපතිගේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මතයද යන ගැටලුව මතුව බවත් ය.
“ස්වාමිනි, නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය අතීශයින්ම ප්‍රශ්න සහගතයි. බන්ධනාගාර ආඥා පනතේ 77 වගන්තිය යටතේ බන්ධනාගාර නිලධාරීන්ට ගිනිඅවි භාවිත කරන්න පුළුවන් සිරකරුවන් පැනයාමට උත්සාහ කළ අවස්ථාවකදී පමණයි. එහෙත් මෙම සිරකරුවන් PCR ඉල්ලා උද්ඝෝෂණ කළා මිස පැනයාමට උත්සාහ කළ බවට කිසිදු සාක්ෂියක් නැහැ. අනික එම පනතට අනුව සිදුවිමක් පාලනය කරන්න වෙඩි තැබුවත්, මරණයක් සිදුකරන්න බැහැ. අනික ගිනිඅවි ක්‍රියාත්මක කරන්න කළින් නීතියට අනුව අහසට වෙඩි තියා සංඥාවක් කළ යුතුයි. මෙහිදී එවැන්නක් සිදුවූ බවටද සාක්ෂි නැහැ. එහෙම තත්ත්වයක කොහොමද ස්වාමිනි මේ නිලධාරින්ගේ ක්‍රියාකලාපය රාජකාරී සීමාවේ සිදුකළ ක්‍රියාවක් වෙන්නේ. මේක නරක පූර්වාදර්ශයක්. ජනතාව පිළිගන්න ඕනේ අධිකරණ නියෝගයද, නැතිනම් CIDයේ හෝ නීතිපතිගේ මතයද ? මෙහිදී නීතිපතිගේ නියෝගයෙන් වින්දිත පාර්ශ්වයට බරපතළ අගතියක් සිදුවෙනවා. යුක්තිය සහ නීතිය අපගමනය කරන්න නීතිපතිට බැහැ”
ඉදිරිපත් වූ කරුණු සලකා බලා සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා නඩුව දෙසැම්බර් 13 වනදා යළි කැඳවීමටයි වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත්තේ.
සබැඳි පුවත් –