ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 56 වැනි උපන් දිනය අදට (නොවැම්බර් 24) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.
පසුගිය සැප්තැම්බර් 21 වනදා අනුර කුමාර දිසානායක ලැබූ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් නොවැම්බර් 14 වනදා ජාතික ජන බලවේගය ලැබූ දැවැන්ත මහමැතිවරණ ජයග්‍රහණයත් සමග වර්තමානයේ බලයට පැමිණ සිටින සියල්ලන් හැඳින්විය හැක්කේ ගුණදාස අමරසේකර කලක පටන් කියූ ගැමි උගත් මධ්‍යම පන්තිය ලෙස ය.
අමරසේකර මෙන්ම නලින් ද සිල්වා ඇතුළු පිරිස් පනස් හයේ දරුවන් ලෙස වර නැඟුයේ මේ කාණ්ඩයයි. ඔවුන්ගේ සිහිනය වූයේ කවදා හෝ දිනක මෙකී ගැමි උගත් තරුණ පරපුර විසින් මේ රට අස්වද්දනු දැකීමයි. ඔවුන් විසින් උත්කර්ෂයට නැංවූයේ ස්වභාෂා ප්‍රතිපත්තියයි.
පනස් හයේ දරුවෝ
1960 දශකයේ උපත ලද අනුර ඇතුළු වත්මන් පාලනයේ සියල්ලන්ම පාහේ අයිති වන්නේ පනස් හයේ දරු පරපුරට ය. ස්වභාෂා ප්‍රතිපත්තියෙන් ඔවුන් වටා නොදැනීම වැටක් බැඳුණු අතර ලෝකයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට මඟ පෙන්වීමක් ද නොවීය.
1965 මැයි 14 වනදා ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවන ලද්දේ මේ 56 දරු පරපුරේ මූලාරම්භකයින් ලෙස සැලකිය හැකි රෝහණ විජේවීර ඇතුළු කණ්ඩායමක් විසිනි. ඔවුන් නියම කැරලිකරුවන් ය. 1963දී වාමාංශික එක්සත් පෙරමුණ සිදුකළ පාවාදීමට ප්‍රතිචාරයක් වශයෙන් ජවිපෙ ගොඩනැඟුණි. රෝහණ විජේවීරලා, උපතිස්ස ගමනායකලා, ලයනල් බෝපගේලා 1940 දශකයේ උපන් අය වූ අතර සැබෑ 56 දරුවන් වූයේ අනුරලා ය.
ලැජ්ජා විය යුත්තේ දෙමළ භාෂා නොහැකියාව ගැනය
අද වනවිට ඇතැම් දේශපාලන විරුද්ධවාදීන් විසින් ලොකුම ප්‍රශ්නය ලෙස මතු කරන්නට හදන්නේ අනුරලාගේ ඉංග්‍රීසි භාෂා හැකියාවේ පරිමාණයයි. රටක් පාලනය කරන්නට ඉංග්‍රීසි දැනුම අනිවාර්යය සාධකයක්ද ? කොහෙත්ම නැත. ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වයකින් තොරව රටවල් පාලනය කරන ප්‍රබල නායකයින් පිළිබඳ උදාහරණ ළඟපාතම ඇත. ඇත්තටම අනුරලා ලැජ්ජා විය යුත්තේ ඉංග්‍රීසි දැනුම පිළිබඳව නොව දෙමළ භාෂාව බැරිවීම පිළිබඳව ය.
එදා ලලිත් ඇතුලත්මුදලි පාන්දර 5.00 ට ගුරුවරයකු ගෙන්වාගෙන 6.00 දක්වා දෙමළ භාෂාව ඉගෙන ගත්තේය. ඔහු සිය මව්බස වශයෙන් ඉංග්‍රීසි භාෂාව භාවිතා කළත් දෙමළ භාෂාව බැරි නම් තමන්ට පැවරී ඇති වැඩ කොටස ඉටු කිරීමට නොහැකි වන බව අවබෝධ කරගෙන සිටියේය. අද දවසේ 56 දරුවන් ද ඉංග්‍රීසිවලට වඩා ප්‍රමුඛතාවය දිය යුත්තේ දෙමළ භාෂාවට ය. ඒ, සිංහල භාෂාව භාවිතා කරන අප සහ දෙමළ භාෂාව භාවිතා කරන ජනතාව අතර නිසි සන්නිවේදනයක් අදටත් සිදු නොවන නිසා ය. මේ භාෂා ගැටලුව තුළින් අප එකම මවකගේ නාඳුනන දරුවන් බවට පත්ව සිටින නිසා ය.
අප මේ ලියන්නේ විස්තීර්ණ වශයෙන් දීර්ඝව ලිවිය හැකි ලියවිල්ලක් ඉතාම කෙටි කරමිනි.
අතීතය තුළ හැඟීම්බර නොවී පවතින යතාර්ථය තුළ ඉදිරියට
අනෙක් අතට 71 නැඟිටීම, 89 නැඟිටීම, 83 උතුරු නැගෙනහිර ප්‍රශ්නය, මේ සියල්ලම 56 දරුවන්ව තේරුම් නොගැනීම නිසා ඇතිවුණු දේවල් ය. ඔවුන්ගේ ඉල්ලීම්වලට කන් නොදීමේ ප්‍රතිඵල ය. තරුණ නැඟිටීම් කිසිවිටෙක සහමුලින්ම මර්දනය කළ නොහැක. ඒවා මොනම ආකාරයෙන් හෝ ඉස්මත්තටම පැමිණෙන්නේය යන්නට හොඳම උදාහරණය වත්මන් මැතිවරණ ජයග්‍රහණය ය.
අද අනුරට ඇති සැබෑ අභියෝගය වන්නේ මේ ජයග්‍රහණයෙන් ඉහළට ඔසවා තැබුණු කණ්ඩායම ප්‍රශස්ත අවසානයක් කරා ගෙනයන්නේ කෙසේද යන්නයි. මෙය මෑත කාලයේ ජනාධිපතිවරයකුට පැවරුණු දැවැන්තම අභියෝගය ලෙස සැලකිය හැකිය.
මෙහිදී අනුරට පැවරී ඇත්තේ විසාකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” චිත්‍රපටයේ එම මවගේ භූමිකාවයි. එනම් අතීතය තුළම හැඟීම්බර නොවී පවතින යතාර්ථය තුළ බේරාගත හැකි සියල්ලම බේරාගෙන ඉදිරියට ගෙනයාමයි. පාංශු චිත්‍රපටයේ මව සිය එකම පුත්‍රයාව ඝාතනය කළ ආරක්ෂක අංශ සාමාජිකයාට සමාව දී අධිකරණය හමුවේ ඔහුගේ අපරාධයෙන් ඔහුව බේරා ඔහුගේ නූපන් දරුවාට පියා හිමිකර දෙයි. අද එක පැත්තකින් නොව පැති බොහෝ ගණනකින් රටට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රවේශයයි.
ඩිජිටල් යුගයේ අභියෝගය
මේ වනවිට විජේවීර යුගය අවසන්ව ඇත. සෝමවංශ යුගය අවසන්ව ඇත. ජයග්‍රහණය යතාර්ථයක් බවට පත් කළේ තුන්වැනි පරම්පරාව විසිනි. අද අනුරට ඇත්තේ විජේවීරගේ කතා ඔසවාගෙන යාම නොවේ. අද පවතින්නේ නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු ඩිජිටල් යුගයකි. බස් රථය ආපසු හරවාගෙන යාමේ හැකියාවක් නැත.
එහෙයින් ස්වභාෂා උගත් ගැමි උගත් පරපුරට ඇති අභියෝගය වත්මන් ඩිජිටල් යුගය ජයගැනීමයි. තවදුරටත් අතීතකාමය තුළ ගිලී සිටීමෙන් කිසිදු ඵලක් නොවේ.
ඒ ඩිජිටල් යුගය ජයගැනීමට නායකත්වය දුන් ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එකතු වීමට අනුරට අපි සුබ පතන්නෙමු.
අනුර, ඔබට සුබ උපන් දිනයක් වේවා !!
56 නමැති විල්තෙරේ සුපිපුණු සුගන්ධවත් අරවින්දය වන්නට අනුර අපි ඔබට සුබ පතන්නෙමු !!!
~ LNW