විදේශ තානාපති සේවය සඳහා දේශපාලන හිතවත්කම් මත පත් කෙරුණු පුද්ගලයින් සම්බන්ධයෙන් පසුගිය දිනවල සංවාදයක් ඇතිවී තිබිණි.
එසේ තානාපති හෝ මහකොමසාරිස් තනතුරුවලට පත්කෙරුණු 16 දෙනෙකු ආපසු මෙරටට කැඳවීමට කටයුතු කෙරුණු බවත් මාධ්‍යවල පළවිය.
තානාපති තනතුරු සඳහා පමණක් නොව තානාපති කාර්යාලවල අනෙක් ප්‍රධානතම තනතුරු සඳහාත් දේශපාලන හිතවතුන් හෝ දේශපාලනඥයින්ගේ ඥාතීන් පත්කිරීම පිළිබඳ පසුගිය කාලයේ කොතෙකුත් අසන්නට ලැබී ඇත.
දේශපාලන ඥාතීන් මෙසේ දියුණු රටවල තානාපති සේවාවල ඉහළ තනතුරු සඳහා පත්වීම් ඉල්ලා ගන්නේ ඒ හරහා ඔවුන්ට මෙරට මහජනතාවගේ මුදලින් ඒ දියුණු රටවල සුඛෝපභෝගී, වරප්‍රසාදිත ජීවිතයක් ගත කළ හැකි නිසාය. මේ අය සිය දරු පවුල් පිටින් අදාළ රටවල් කරා යන අතර ඒ සියල්ලන්ටම වියදම් කෙරෙන්නේ මෙරට ජනතාවගේ මුදල් ය. ඔවුන් ඒ රටවල ප්‍රභූ දරුවන් යන පාසල්වලට තම දරුවන් ඇතුළත් කරගන්නා අතර මාසයකට රුපියල් ලක්ෂ 10 – 15 වැනි අගයක පාසල් ගාස්තු ගෙවන්නට වන්නේ ද මෙරට ජනතා බදු මුදල්වලිනි.
මේවා එකී තනතුරුවලට හිමි වරප්‍රසාද යැයි යමෙකුට පැවසිය හැකිය. මේ රට බංකොලොත්භාවයකට පත් නොවී තිබිණි නම් මේ වරප්‍රසාද ගැන කතා කරන්නට හෝ තිබිණි. එහෙත් රටේ ආර්ථිකය දැනට පත්ව ඇති තත්වය අනුව මෙවැනි මහජන මුදල් ගිලදමන වරප්‍රසාද ගැන කතා කරන්නටවත් දෙයක් නැත. මේවා මෙතැනින්ම නතර කළ යුතුව ඇත.
විශේෂයෙන්ම රටේ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ විධායක ජනාධිපතිවරයා තමන්ට හිමි වරප්‍රසාද බොහෝ ප්‍රමාණයක් අත්හැර සිටින පසුබිමක, තුනෙන් දෙකකට අධික පාර්ලිමේන්තු බලයක් ලැබූ ආණ්ඩුවේ විධායකය නියෝජනය කරන කැබිනට් මණ්ඩලය තමන්ගේ වරප්‍රසාද රැසක් අත්හැර ඇති පසුබිමක විදේශ තානාපති සේවාවල ඉහළම තනතුරු සඳහා යන අයටත් මින් ඉදිරියට මහජන මුදලින් පවුල් පිටින් සුරසැප විඳීමේ අවස්ථාවක් ලබාදිය යුතු නැත.
මේවා මින් ඉදිරියට සිදුවීම වැළැක්වීම සඳහා ගත හැකි පළමු පියවර වන්නේ මෙතෙක් සිදුවූ දෑ හෙළිදරව් කිරීම ය. ඒ අනුව පසුගිය දිනවල කියැවුණු 16 දෙනාට අමතරව තානාපති කාර්යාලවලට යැවුණු අනෙක් දේශපාලන ඥාතීන් පිළිබඳවත් ඔවුන් මාසිකව සිදුකර ඇති වියදම් පිළිබඳවත් මහජනතාවට දැනගැනීමට සැලැස්විය යුතුය. අර 16 දෙනාගේ මාසික වියදම් හෙළිකරමින් බලධාරීන් මේ කාර්යය පටන් ගන්නවා නම් හොඳ ය.
~ දර්ශන වීරසිංහ
