සයිබීරියාවේ මුතු ඇටය නමින් හැඳින්වෙන්නේ, යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් සේ 1996 වසරේ හඳුනා ගෙන ඇති, සයිබීරියාවේ පවතින “බයිකල් විල”යි. එය ආශ්චර්යාත්මක ස්ථානයක් වන්නේ, ලොව පැරණිතම හෙවත් වසර මිලියන 25 ක් පමණ පැරණි සහ ගැඹුරුම විශාලම මිරිදිය විල වීමෙනි. විලේ සමහර ස්ථාන අඩි 5,000 කට වඩා වැඩි ගැඹුරෙන් යුතුය. නමුත් එය මුහුදු මට්ටමෙන් මීටර් 450 ක් පමණ ඉහලින් පවතී. පරිමාව අනුව පෘථිවි මතුපිට මිරිදිය ජලයෙන් සියයට 20 කට වඩා එහි අඩංගු වේ.
විල ආශ්‍රිතව ජීවත් වන “බුරියාට්” වරුන්ගේ පුරාවෘත්තයක් පවසන්නේ, මේ ප්‍රදේශයේ බොහෝ කලකට පෙර භූමිකම්පාවක් ඇති වූ බවයි. පොළව දෙබෑ වී ගින්නක් පොළවෙන් පිටවෙමින් තිබිණි. ගිනිදැල් නවත්වන ලෙස මිනිසුන් සියලු දෙවිවරුන්ට යාච්ඤා කළ නමුත් කිසිවක් සිදු නොවීය. ගින්න පැතිරෙමින් තිබූ අතර, එය පැතිරෙන මාර්ගයේ ඇති සියල්ල දවාලූවේය. මිනිසුන් මංමුලා සහගතව කෑ ගසමින්, “බායි,… ගාලා!” කියා කෑගැසුහ. . (ගිනි,… නවත්වන්න!). හදිසියේම ගින්න නිවී ගියේය.
එය ආශ්චර්යයක් දෙයක් විය. ගිනිදැල් ඇති වූ විවරය පිරිසිදු ජලයෙන් පිරී ගියේය. බයිකල් විල ඇති වූ ආකාරය සහ එහි නම ලැබුණේ එලෙස ය.
තවත් ජන ප්‍රවාදයක් මෙසේ වේ. පුරාණ කාලයේ විලෙහි ගැඹුරේ, නහයෙන් ගිණි හුස්ම පිට කරන ගන්නා දරුණු මකරෙකු ජීවත් වූ බවට කටකතා පැතිර ගියේය. ඔහු අසල ඇති සියලුම ජීවීන් පාලනය කළ බව කියනු ලැබේ. අව්ව තිබුණත් වළාකුළු පිරි තිබුණත්, අවුරුද්ද සරු සාරවූවත් නැතත්, ඒ සියල්ල ඔහුගේ මනෝභාවය මත රඳා පැවතුනි.
පුරාවෘත්තයට අනුව, තාරකාවන් අහසේ ඉපදී, සූර්යයා පෘථිවිය ආලෝකමත් කිරීමට පටන් ගත් කාලයේ ඒ මකරා රන් අශ්ව රථයක නැගී පෘථිවියට බැස්සේය. ඔහු තම බලවත් වලිගයෙන් පොළොවට පහර දුන් අතර තියුණු පාෂාණ වෙන් වී ගැඹුරු පැල්ලමක් ඇති විය. ඔහු දෙවන වරටත් ඔහුගේ වලිගයෙන් පහර දුන් අතර, අයිස් දිය වී පිරිසිදු ජලයෙන් විවරය පිරිණ. අවසානයේදී, මකරා තුන්වන වරටත් ඔහුගේ වලිගයෙන් විලට පහර දුන් අතර, ඉන් වැවේ ඉවුරු හරිත තණබිම් සහ තෙරක් නොපෙනෙන වනාන්තරවලින් වැසී ගියේය.
අද දක්වා එහි ජීවත් වන සියලුම ජීවීන් ඉන් පසු ඇති විය. මකරා ඔහු විසින්ම නිර්මාණය කරන ලද විලෙහි ඇති ගැඹුරු ජලයට ගිය අතර එය ඔහුගේ භූමික නිවහන විය.
සෑම වසර 120 කට වරක් මකරා ගොඩබිමට පැමිණි අතර මිනිසුන් ඔහුට ගෞරවයක් වශයෙන් උත්සව පවත්වමින් ඔහුට තෑගි පිරිනැමූහ. නමුත් කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ට ඔවුන්ගේ මකරාගේ දේවත්වය අමතක විය. දිනක්, විලෙහි ජලයෙන් පිටතට පැමිණි විට, මකරාට නිවාඩු දිනයක්, තෑගිබෝග, හෝ වන්දනාවක් දක්නට නොලැබුණි. තවද ඔහු කෝපයට පත් විය. පෘථිවි තලය කම්පනයට පත් වූ අතර, බයිකල් විලෙහි ජලය පෘථිවිය හරහා මහා සාගරය දක්වා ගලාගිය අතර, සියලු කළගුණ නොදත් මිනිසුන් ඔහු විනාශ කළේය.
ඔවුන්ව වෙනත් ගෝත්‍රිකයන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී. “ෂාමන්” යන පර්වතයේ සුදු කිරිගරුඬ මත මකරාගේ රූපය මුද්‍රා තබා ඇත. අදටත් ඔබට එය එහි දැකිය හැකිය. රුසියාවේ මේ ඇස් වලින් කන් වලින් ගිණි පිටකරන මකරා ගැන ඔබ සමහරවිට අසන්නට ඇත. “ඉවානුෂ්කා” සේ චරිතයක් ඇති රුසියන් ළමා කතාවක එවැනි මකරෙක් ගැන ලියා තිබිණ. ඒ පොතේ නම නම් මට අමතකය.
බයිකල් විල වටේ දුර කිලෝ මීටර් 2100 කි. මොන්ගෝලියාවේ සිට ගලන “සෙලෙන්ගා” ගඟ ඊට වැඩියෙන්ම ජලය සපයන ගංගාව වේ. එය විලට ගලන ජලයෙන් භාගයක් ජලය සපයයි. එය පවතින ස්ථානය නිසා, විල අවට පොලව සෙලවීම් 2000 ක් පමණ වසරකට ඇති වේ. සමහර විද්‍යාඥයන්ට අනුව එය නව මුහුදක ආරම්භය වේ. එනම් වසර මිලියන බොහෝ කලකට පෙර අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව එකට යාවී තිබුනාක් මෙන්, බයිකල් විලෙන් භුමි දෙකක් යාවී ඇත. ඒවා කෙමෙන් ඈත් වේ.
රුසියාව සහ මොන්ගෝලියාව යන රටවල් දෙකටම පොදු බයිකල් විල පිහිටා ඇත්තේ පෘථිවියේ ගැඹුරුම මහාද්වීපික ඉරිතැලීම් නිම්නයේය. ඒවා භූ විද්‍යාත්මකව ක්‍රියාකාරී බැවින්, භූ තැටි තව තවත් ඈතට ගමන් කිරීම විලට බලපායි. ඒ මහාද්වීප තල අතර විල පවතින හෙයින් එය ඉතා ගැඹුරු වේ. වසරකට අඟලක් පමණ මේ භූ තල ඈත් වේ.
සෙඩාර්, ෆීර් සහ ස්පරුස් [cedar, fir and spruce]යන ගස් බයිකල් විල අවට පරිසරයට ආවේනික වන අතර ඒ සමහරක් ගස් වසර 800ක් පමණ පැරණි වේ. මෙහි “ස්ප්රූස්” යන ලී වර්ගය ලෝකයේ උසස්ම වයලීන වර්ග තැනීමට ගනී. තවද “ඇන්ගාරා” යයි හැඳින්වෙන පයින් ගස් විශේෂයද මේ පලාතට ආවේනික වේ. ලෝකයේ පරිසර උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන් විලේ ඇති යම් යම් ඇල්ගී වර්ග වර්ධනය වේගවත් වී ඇත. එනිසා එහි සිටින සමහර සත්වයන්ට එම ඇල්ගී හානිකර යයි සොයාගෙන ඇත.
සුදුසු කාලගුණික තත්ත්ව යටතේ සංචාරකයින් උණුසුම් මාසවලදී, “සයිබීරියාවේ මුතු ඇටය” හෙවත් “බයිකල් විල” නැරඹීමට පැමිණේ, නමුත් වඩාත් නිර්භීත අය ජනවාරි මාසයේ වැව මතුපිට වාහනයෙන් ගමන් කරති. යම් හෙයකින් අයිස් තට්ටුව කැඩී ගියහොත් විල පත්ලේ සදහටම ඔවුන්ට නිදා ගැනීමට හැකි වනු ඇත. එහෙත් එවැනි අවස්ථාවල් ඉතා විරළ වේ. බොහෝ විට එවැනි තත්ත්ව ගැන අධිකාරීන් බොහෝ කල්පනාවෙන් සිටී.විල මිදී ගිය විටෙක ධාවනය කරන ලද වාහන වල වාහන පාරවල් පින්තුරයේ දැකිය හැක.
සීල් සත්වයන් මේ බයිකල් විල් තෙර අසබඩ ගල් පර මත සිටිති. මේ සත්වයන්ට අද වන තෙක් පරිසර ආශ්‍රිත ව්‍යසන වලට මුහුණ දීමට සිදුවී නැති බව ඇසීම සතුටට කරුණකි. මේ විලට අනන්‍ය වූ, ලෝකයේ ඇති කුඩාම සීල් සත්වයන් වන්නේ ඔවුන් යයි කියති. බයිකල් විලට ආවේනික සත්වයන් සහ ශාඛ ප්‍රමාණය අති විශාල වේ. ඒ හා එක්ව ජීවත්වන කුරුළු වර්ගයන්ගේ ප්‍රමාණය පමණක් 236ක් බව සොයාගෙන ඇත.
හිම මත ලිස්සා යාමේ, මැරතන් සිට බයිකල් පැදීම, අයිස් ගොල්ෆ් තරඟාවලිය දක්වා සෑම දෙයකටම තරඟ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මිදුණු බයිකල් විල, අපූරු ක්‍රීඩා පිටියක් බවට පත්වේ. ශීත කාලයේ විල මිදී ඝනකම ඇති විට, මෙහි පින්තූරයේ ඇති ප්‍රධාන භූමිය සහ “ඕල්කොන් දූපත” අතර අයිස් මාර්ගයක් විවෘත වේ. එය වඩාත් සුරක්ෂිත වේ. මේ “ඕල්කොන් දූපත” මිරිදිය විලක ඇති විශාලතම දූපත වේ. බයිකල් විලේ, දූපත් විසි හතක් ඇත. ඔබට මුදල් යහමින් තිබේ නම්, ඒ එක දූපතක් මිළට ගැනීමට උත්සාහ කිරීම වටී.
මේ දූපත් වල “ග්‍රෝටෝ” [Grotto] සේ හැඳින්වෙන හුණු ගල් ස්තර, ස්වභාවික ජනෙල් තිර මෙන් පහතට වැටෙන දර්ශන දැකිය හැකිය. බයිකල් විල මිදුණු විටද මෙසේ ඇතිවන “ග්‍රෝටෝ’ දර්ශන ඉතාමත් මනස්කාන්ත වේ.
මිදී ඇති අයිස් අතර සිරවුණු වායු බුබුළු මනහර දර්ශනයක් මවා පායි. ඒ වායු බුබුළු ඇති වන්නේ විල පත්ලෙන් එන මීතේන් වායුවෙනි.
මිදුණු අයිස් හරහා වාහන වලට ගමන් කරන විට අපූරු දර්ශනයක් දැක ගත හැකිය. එනම් ඒ අයිස් ඉතා පැහැදිළි හෙයින් විල පත්ලේ අඩි 100 ක් පමණ ගැඹුරට විනිවිද පෙනීමය. යම් බියක් සිතට දැනුනද, ඒ අත්දැකීම මනස්කාන්තය.
UN