වත්මන් ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ග වලට අනුව ජනමාධ්‍යයට අදාළව ආණ්ඩුවේ අනියත බිය හා තිගැස්මක් ඇති බවත් ඒ පිළිබඳ දීර්ඝ ව්ග්‍රහයක් නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදු කර ඇත. එහි සම්පූර්ණ ලිපිය පහත දක්වා ඇත.
සොහොන් ලකුණ, හොල්මන් සහ ආණ්ඩුව.
පැරණි ගැමියන් සොහොන් භූමියක් ළඟින් රාත්‍රී කාලයේ ගමන් කිරීමට දක්වන්නේ අනියත බියකි. “හොල්මන්”, එම බියට මුල් වූ ග්‍රාම්‍ය සංකල්පයයි. සරම මඳක් ඔසවා ශබ්ද නගා කුණුහරුපයක් කියමින් එම සොහොන් භූමියේ සීමාවන් පසු කිරීම එම අභ්‍යන්තර භීතිය සහ චකිතය මගහරවා ගැනීම සඳහා අනුගමනය කළ ආදි ගැමියා ගේ පුරුද්දය.
වත්මන් ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ග දෙස බැලීමේදී උක්ත ග්‍රාමීය අභ්‍යාසය නිතැතින්ම අප සිහියට නැගේ. 2024 සැප්තැම්බර් 23 දින සිට ගැනීමේදී ගත වූ දින 107 තුළ ජනමාධ්‍යයට අදාළව එලෙස ආණ්ඩුවේ අනියත බිය හා තිගැස්ම ප්‍රකාශ වූ අවස්ථා, ආණ්ඩුව ගෙවා දමන ලද දින ප්‍රමාණයෙන්, දහයෙන් එකකට, 1/10 වඩා වැඩිය.
ජනමාධ්‍යයට ප්‍රති ප්‍රහාර ආරම්භය ලබා දුන්නේද අනෙකෙකු නොව ජනාධිපතිවරයාමය. ඇතැම් මාධ්‍ය නම් කරමින් ඔවුන් වැරදි හදාගත යුතු බවට දැවැන්ත නමුත් අප්‍රකාශිත තර්ජනයක්, ආරම්භක පිතිකරුවා ලෙස මාතර උයන්වත්ත පිටියේ දී ඔහු සමාජයට මුදාහලේය. ඊයේ, 08 පාර්ලිමේන්තුවේදී මාධ්‍ය දෙකක් නම් කරමින් ගරු අග්‍රාමාත්‍යතුමිය ගෙන් ඇසුණේද පැරණි “මාලිගාවත්ත ලී මෝලේ” හඞමය.
හම්බන්තොට වරායේ ගල ගැන, කොළඹ වරාය නගරය වෙනුවෙන් මුහුද ගොඩ කිරීම සඳහා කැඩිය යුතු සීගිරියට වඩා විශාල ගල් ප්‍රමාණය ගැන, උගන්ඩා වේ සඟවා ඇති මුදල් ගැන ආදී වශයෙන්, වර්තමාන ආණ්ඩු නායකයන් එදා කරනු ලැබූ ප්‍රකාශ එලෙසින්ම ප්‍රචාරණය කරනු ලැබුවේ ද චූදිත මාධ්‍ය ප්‍රමුඛ මාධ්‍ය ඇණියම බව අද ඔවුනට අමතකව ඇති සේය. වෙනසකට ඇත්තේ එදා පාලක පක්ෂය, එම ප්‍රවෘත්ති ප්‍රචාරණයෙන් උරණව, එම මාධ්‍ය ආයතන දංගෙඩියට දැක්කීම සඳහා සරම් කැසපට ගසාගත් ගමේ චණ්ඩීන් මෙන් කෑ නොගැසීම පමණි.
මා මතකය නිරවුල් 1970 පසුව බිහිවූ සෑම ආණ්ඩුවක්ම තම පාලනයේ සොහොන් ලකුණ නියම කරවා ගත්තේ මෙලෙස මාධ්‍ය භීතිකාවෙන් ඔත්පලව, ඊට නියම ඖෂධ බවට විශේෂ නාමධාරී හොර වෙදුන් නිර්දේශ කළ ගොඩ බෙහෙත් පානය කිරීමෙනි.
ලැබුණු බලයේ ප්‍රමාණය කොතරම් විශාල වුවද පාලක සිතිවිලි කුඩාවන්නේ නම් දේශපාලන බුන්වත්භාවය, මෙලෙස ස්වයංව ප්‍රදර්ශනය වීම වැළැක්විය නොහැකි බව දේශපාලන විද්‍යාවේ එක් ශාස්ත්‍රීය උපකල්පනයක් වේ. නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන්නාගේ ද ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරදීම බව නූතන නිර්වචනයයි. එය, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද භාෂණයේ නිදහස ලෙස තුන්වෙනි පරිච්ඡේදය නමින් අවධාරණය කොට තිබේ.
අසූව දශකයේ අග, පාලකයින්ගේ දින රහිත මරණ සහතික සාක්කුවේ තබාගෙන ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස වෙනුවෙන් පෑන අතටගත් මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම, ඉතාම කෙටි කාලයක් තුළ හෝ වෘත්තියේ පෞරුෂය වෙනුවෙන් පෙනී සිටි ජන මාධ්‍ය අමාත්‍යවරයෙකු ලෙස මෙය මෙලෙසින්ම සටහන් නොකරන්නේ නම් එය, ඉතිහාසයට අකාරුණික වීමක් වනවා නිසැකය. ඒ අනුව, සහෝදරත්වය පෙරදැරිව අප පෙන්වා දෙන්නේ පසුගිය මැතිවරණ වලදී “හඳ” පෙන්වමින් ජනතාවට දිගු කළ පොරොන්දු වෙනුවට, ඔබගේ “ඇඟිලි” දෙස බැලීමේ උවමනාවක් ජනමාධ්‍යයට නැති වග තේරුම් ගැනීම, ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකර වන්නට පුළුවන් බව පමණි. එමෙන්ම, “ලබ්බට තැබූ අත පුහුලටද දික්වීම නියතයක්” බව මේ මොහොතේ දබර ඇඟිල්ල එසවී නැති අනෙකුත් මාධ්‍ය ආයතන ද සිහිපත් කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව ද කිවමනා නොවේ.
මිත්‍රවරුනි, කලෙක මා මෙන්ම ඔබ ද ගුරු කොටගත් දේශපාලන න්‍යායන් නැවත පීරා බැලීමට කාරුණික වුව මැනවි. එවිට, "න්‍යාය ටොන් එකකට වඩා, භාවිතාව අවුන්සයක් වටිනා බව"
ඔබට වැටහෙනු ඇත. ඒ සඳහා දැනුදු ප්‍රමාද නැත.
ඩලස් අලහප්පෙරුම
නායක,
නිදහස ජනතා සභාව.
09.01.24