අහස් මාලිගා නොව සරුපස ජය ගැනීම
මේ ලිපිය අර්ථවත් හරවත් රසාලිප්ත ඉහත ගීතයෙන්ම අරඹන්නට සිතුවෙමි. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් 1505 පසුව පෘතුගීසින් විසින් යටත් කර ගත්තේය. පසුව ලන්දේසීන්ටත්, ඊටත් පසුව ඉංග්‍රීසීන්ටත්, අප රට යටත් වුණා. ඒ ආකාරයට, අවුරුදු 443 ක කාලයක්, ජාතියක් වශයෙන්, අපි විදේශිකයන්ට යටත් වී සිට, 1948 දී “නිදහස” ලැබුවා.
මම මහ බැංකුවට පිවිසුනාට පසුව, 1948 දී අප රටේ තිබූ තත්ත්වය ගැන ක්‍රමවත්ව සොයා බැලුවා. පොත්පත්, කතා, හැන්සාඩ් වැනි නිල වාර්තා, පුවත්පත්, විවිධ ගුවන් විදුලි වැඩසටහන් සහ ජන හා සංඛ්‍යාලේඛන සටහන් හරහා, 1948 දී රටේ තිබූ ආර්ථික තත්ත්වය සහ සමාජීය මට්ටම ගැන පරීක්ෂණයක් කළා. ඒ ආශ්‍රිතව කරුණු සහ තොරතුරු කීපයක් හරහා අපට මේ විග්‍රහය කළ හැකියි
1948 දී විදුලිය තිබුණේ මේ රටේ 1% ක ජනතාවට පමණයි. ටැප් වලින් ජලය ලබාගැනීමේ පහසුකම තිබුණේ ජනතාවගෙන් 0.5% පමණයි. මුළු රටේම පාසල් තිබුණේ 2,000 ක් පමණයි. විශ්වවිද්‍යාල තිබුණේ 1 යි. වසරකට විශ්වවිද්‍යාලයට බඳවා ගත්තේ මුදල් ගෙවූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 දෙනෙකු පමණයි. සෞඛ්‍ය කේෂ්ත්‍රය සහ රජයේ රෝහල්වල තිබුණේ ඉතා අඩු පහසුකම්. බොහෝ මව්වරුන් විසින් දරු ප්‍රසූතිය කරනු ලැබුවේ තම නිවෙස්වලමය. නිදහසෙන් අවුරුදු ගණනාවකට පසුව, මගේ පියා වෛද්‍යවරයෙකු වුවද, මම ද උපත ලැබුවේ ගෙදර. ළදරු මරණ අනුපාතය තිබුණේ සෑම උපත් 1,000 කට මරණ 92 ක් වැනි ඉතා ඉහළ අගයක. සෑම උපත් 100,000 කට මව් මරණ 830 ක් පමණ වාර්තා වුණා. ජනතාවගේ ආයු අපේක්ෂාව (life expecancy) වාර්තාවී තිබුණේ වසර 50 කටත් අඩු අගයක.
ජනගහනයෙන් 90% ක්ම සිටියේ දරිද්‍රතා රේඛාවෙන් පහළින්. රටේ පාරවල් වලින් 98%ක්ම තිබුණේ බොරළු පාරවල්. ශ්‍රී ලාංකික “බිස්නස් ලීඩර්ලා” කියලා එක් කෙනෙක්වත් සිටියේ නෑ. 1948 ට පෙර සිටි හොඳ ලාංකික ව්‍යාපාරිකයෙකුගේ නමක්වත් අප මතකයට එන්නේ නැහැ. ඒ කාලයේ ඉහළතම ව්‍යාපාරිකයන් සහ රජයේ පාලන තනතුරු සියල්ලම පාහේ තිබුණේ බි්‍රතාන්‍යයේ හෝ ලන්දේසි අය අතේ. බොහෝ කලාතුරකින් ලංකාවේ කෙනෙකුට මධ්‍යම මට්ටමේ පාලන තනතුරක් තිබුණා. විශ්වවිද්‍යාලයට පිවිසි උපාධිධාරියන් කිසිවෙකු ගම්වලින් පැමිණි අය නොවේ. නගරේ අයත් හිටියේ නැති තරම්. රටවැසියන්ගේ භාෂා සහ ගණිත සාක්ෂරතාවය තිබුණේ 35% ක පමණ ඉතා අඩු අගයකයි. ඒ කාලයේදී මැතිවරණ පවත්වද්දී, නිල ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයින් හඳුන්වනු ලැබුවේ විවිධ වර්ණ වලින්.

ඔවුන්ගේ නම්වත් කියවගන්නට සාමාන්‍ය ජනතාවට හැකියාවක් තිබුණේ නැහැ. රටේ ආර්ථිකයට 60% ක්ම දායකත්වය ලබාදුන්නේ කෘෂිකර්මයයි. කර්මාන්ත සහ සේවාවන් තිබුණේ ඉතාම අඩුවෙන්. දොස්තරවරු දෙතුන් දෙනෙක් හැර, පිටරටවල ශ්‍රී ලාංකිකයන් සේවය කළේ නැහැ. රික්ෂෝ සහ කරත්ත වලින් ගමන් කළ ආකාරය ඒ කාලේ පින්තූර බැලුවම පේනවා. අපි පාසල්වලට ගමන් කළේ බක්කි කරත්තෙන්. ගෙවල්වල වැසිකිළි බොහෝ විට තිබුණේ ගෙවල් වලින් බැහැරව. බොහෝ ගෙවල් සෙවිළි කර තිබුණේ පොල් අතු වලින්. එහෙම නම්, විදේශික පාලනය යටතේ අවුරුදු 443 කට පසුව ශ්‍රී ලංකාවේ “රිපොට් කාඩ්” එක දෙස බලද්දී, අපට පෙනී ගියේ මෙවැනි රටක්.
අවුරුදු 77ක නිදහස ලැබුවායින් පසුව, තිබෙන තත්ත්වය දෙස දැන් බලමු. අද ජනතාවගෙන් 99% කටම ගෙවල්වල විදුලිය තියනවා. 60% කට පමණ ටැප් එකේ ජලය තියනවා. අධිවේගී මාර්ග කිලෝ මීටර් 200 ක් පමණ තියනවා. කිලෝ මීටර 64,000 කටත් වඩා තාර දමා “කාපට්” කළ මාර්ග තියනවා. ලොකු කුඩා පාලම් සිය ගණන් ඉදිකොට තියෙනවා.
පෞද්ගලික සහ රජයේ විශ්වවිද්‍යාල 47 ක් පමණ තියනවා. මේ විශ්වවිද්‍යාලවලට අවුරුද්දකට ශිෂ්‍යයින් 42,000 ක් පමණ බඳව ගන්නවා. රටේ රෝහල් පද්ධතිය දකුණු ආසියාවේම ඉදිරියෙන් තියෙන එකක් බව ජාත්‍යන්තරව පිළි ගැනෙනවා. ළදරු මරණ අනුපාතය දරු උපත් 1,000 කට මරණ 5 දක්වා අඩුවී තිබෙනවා. උපත් 100,000 කට මව් මරණ අනුපාතය 29 දක්වා අඩුවී තිබෙනවා. පහසුකම් රාශියක් තිබෙන පාසල් 10,000 කට වඩා රට වටේ තියෙනවා. භාෂාව සහ ගණිතය සාක්ෂරතාවය ජනගහනයෙන් 95% ඉක්මවා තියෙනවා. 2014 අග වන විට, දරිද්‍රතාවය ජනගහනයෙන් 6% කට අඩුවී තිබුණා.
ජනතාවගේ ආයු අපේක්ෂාව අවුරුදු 80 ට ආසන්න අගයකට වැඩිවී තිබෙනවා. වෘත්තීය පුහුණු සහ තාක්ෂණ මධ්‍යස්ථාන රාශියක් රට වටේම තියෙනවා. සංචාරක, තොරතුරු තාක්ෂණ, ගමනාගමනය, වෘත්තීය සේවා සහ බැංකු ඇතුළු සේවා කේෂ්ත්‍ර දැවැන්ත ලෙස දියුණු වෙලා තියෙනවා. දැවැන්ත කර්මාන්තශාලා රට පුරාම තියනවා. ජනතා පහසුකම්, විනෝද විය හැකි ස්ථාන, ක්‍රීඩා පිටි, හෝටල්, රථවාහන යනාදිය සෑම පළාතකම පාහේ තියෙනවා. විසිලක්ෂයක පමණ ශ්‍රී ලාංකිකයන් පිටරටවල සේවය කරනවා. ඔවුන් විශාල මුදලක් රටට එවනවා. දක්ෂ ව්‍යාපාරිකයන් දහස් ගණන් ඉන්නවා. හැම ගමේම ඉන්නවා. දිගින් දිගටම, දුම්රිය මාර්ග අලුත්වැඩියා කොට තියෙනවා. නව දුම්රිය මැදිරි සහ එන්ජින් තියෙනවා.
පෞද්ගලික වාහන දසලක්ෂ ගණන් තියෙනවා. ගුවන් තොටුපොළ, වරායන්, විදුලි බලාගාර, සාප්පු සංකීර්ණ, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන රාශියක් ඉදිකර තියෙනවා. වැව් දහස් ගණනින් ප්‍රතිසංස්කරණය කොට තියෙනවා. මේ වගේ දියුණු කිරීම් දිග ලැයිස්තුවක් අපට හඳුන්වන්න පුළුවන්.
මේ ආකාරයට පසුගිය වසර 77 තුළ අප රටේ මෙවැනි තීරණාත්මක සහ ඇසට පෙනෙන, ඇඟට දැනෙන ප්‍රගතියක් සිදුවී තිබෙන බව අපට අවිවාදයෙන් පිළිගන්නට සිදු වෙනවා. ඒ ප්‍රගතිය සමහර කාලවලදී වේගවත් වන්නට ඇති. සමහර කාලවලදී මන්දගාමී වන්නට ඇති.
කෙසේ වුවත්, සමස්තයක් හැටියට, ඒ ප්‍රගතිය සිදුවී තිබෙනවා. ඒ අනුව, එම කාලය “ශාපයක්” ලෙස හැඳින්වීම අප අපටම කරගන්නා රවටා ගැනීමක්. මේ යටිතල පහසුකම් හැදුවේ කවුද? මේ ප්‍රගතියට වගකිව යුත්තේ කවුද? මේවා හැදුවේ, කෙරුවේ බි්‍රතාන්‍ය අය නොවේ. මේවා හැදුවේ ලන්දේසීන්, පෘතුගීසීන් නොවේ. මේවා හැදුවේ ලංකාවේ ජනතාවගේ මුදලින්, ලංකාවේ රජයන් බව අප අමතක නොකළ යුතුයි. ඒ රජයන් ගැන අපට වෙන වෙනම ප්‍රශ්න තියෙන්නට පුළුවන්. ඒ රජයන්ගේ ප්‍රතිපත්ති හොඳයි, නරකයි, වැරදියි, නිවරැදියි, කියා අපට වාද කරන්න පුළුවන්. එහෙත්, දේශපාලනික කෝණෙකින් තොරව, මේ වර්තමාන “රිපෝට් කාඩ්” එක දෙස බැලුවහොත් අපට පෙනී යා යුත්තේ පසුගිය අවුරුදු 77 තුළ ශ්‍රී ලංකාව, ශ්‍රී ලාංකිකයන්ම භාර ගත් පසු, වාර්තා කොට ඇති ප්‍රගතිය, අපට ආඩම්බර විය හැකි එකක් බවයි.
ශ්‍රී ලාංකික මානසිකත්වය
මෙවැනි ප්‍රගතියක් අප රට වාර්තා කර තිබුණද, ඒ පිළිබඳව සෑහීමකට පත් නොවී, ආඩම්බර නොවී, අපේ රටවැසියන් බහුතරයකගේ මානසිකත්වය වී තිබෙන්නේ දිනපතාම කෙඳිරි ගෑමයි, දොස් පැවරීමයි, අඩුපාඩු සෙවීමයි. සෑම විටම පාහේ අපේ බහුතරයක් අඬ අඬා කියන්නේ “අයියෝ, අපට මුකුත් වෙලා නෑ, අප ඉන්නේ පහත් මට්ටමක.
අපේ රටේ හැමෝම හොරු” කියලා නේද? අපි දිගටම එහෙම හිතුවොත්, අපට සදහටම ඉන්න වෙන්නේත් ඒ පහත් තැනේම තමයි. එසේ නම්, අපි අපේම මනස මුලින්ම වෙනස් කර ගන්නට ඕනේ. කෙනෙකුගේ මනස යනු ඉතා ප්‍රබල දෙයකි. අපේ මනස අපි හරි ආකාරයට හැඩගසා ගතහොත්, අපට ඉදිරි අභියෝග දිනාගන්න පුළුවන්. අප රට දෙස බලන කෝණය වෙනස් කරගන්න ඕනේ. මා හිතන්නේ මේ ගැන අපේ රටේ ජනතාව දැනුවත් වී මදියි, කියලා. ඉගෙන ගත් බොහෝ අය පවා හිතන්නේ, කතා කරන්නේ, සෘණාත්මක (negative) කෝණයකින්. බොහෝ දෙනෙකු බලා සිටින්නේ වෙනත් කෙනෙකු තමන්ට සෑම දෙයක්ම ලබාදෙන තුරුය. වෙනත් කෙනෙකු තමන්ට ඒවා කරදෙන තුරුය.
ඇමරිකානු පුරවැසියෙකු සමග අප කතා කරන විට, ඔවුන් මහත් උජාරුවෙන් අපට කියන්නේ, “we are the best” we will do it ourselves” we don’t want your help” කියාය. වර්තමාන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හැම විටම පාහේ කියන්නේ, “we are fantastic” we have done this” we have done that” කියලා නේද? ඒ වුණාට, ශ්‍රී ලාංකිකයන් හැටියට අපි එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්න අපි බයයි. එහෙම කියන්න අපි ලැජ්ජයි. අපි තරගයකින් දින්නත්, විශිෂ්ට දස්කම් දැක්වූවත්, පුදුමාකාර ප්‍රථිපලයක් වාර්තා කළත්, “we are the best”, කියා කිසිදා කියන්නේ නෑ. එහෙම කියන්න අපිට ඇඟේ ශක්තියක්, හිතේ ආත්ම විශ්වාසයක්, කටේ වචන, නැහැ. ඉදිරියේදීවත්, එහෙම නිශ්ශබ්දව සිටින්නේ නැතුව, ජාතියක් හැටියට, රටක් හැටියට, අවුරුදු 77 ක් තුළ අපි ලබාගෙන ඇති ජයග්‍රහණ ගැන යම් ආඩම්බරයකින් කතා කරන්නට අපි පුරුදු වෙන්න ඕනේ.
ඇමරිකාවේ “නාසා” ආයතනයේ විද්‍යාඥයන් ලෙස අපේ රටේ පුරවැසියන් සේවය කරන බව අපි දන්නවා. ඒ අය බහුතරයක් ඉපදුනේත්, ඉගෙන ගත්තේත්, ඇමරිකාවේ නෙමෙයි. ඔවුන් ඉපදුනේ ශ්‍රී ලංකාවේ. ඔවුන් ඉගෙන ගත්තේ ලාංකික පාසල්වල. අපේ රටේ කුඩා පාසලක ඉගෙනුම සහ පුහුණුව ලැබූ දරුවෙකු ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් වී, ජාත්‍යන්තර ක්‍රීඩාවක නියැලෙන විට, ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයා කොපමණ පොහොසත් හෝ බලවත් රටක ක්‍රීඩකයෙකු වුවත්, ඒ ගැන අප රටේ ක්‍රීඩකයා හිතන්නේ නැහැ. ප්‍රතිවාදියාට ගරු කළ ද, ඔහුගේ දස්කම් ඉදිරියේ සැලෙන්නේ නෑ. ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ ක්‍රීඩිකාව සුසන්තිකා ජයසිංහ මේ සඳහා හොඳ උදාහරණයක්. ඇය ගමක උපන් දුගී පවුලකින් පැවති කෙනෙක්. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙසත් බලන්න. පැතුම් නිස්සංක වගේ දක්ෂ තරුණයෝ මතු වුණේ කොහෙන්ද? අපේ රටේ එවැනි දක්ෂතා ඇති බොහෝ අය සිටිනවා. ඒ වුණාට, ඒ දක්ෂයන්ගේ මනස හදන්න ඕනේ. සමහර වෙලාවට, අපි මේ දරුවන්ට සෘණාත්මක (negative) සිතුවිලි කවලා, ඒ අයගේ සිත් තුළ හටගන්නා හැඟීම්, සෘණාත්මක කර තිබෙනවා.
එහෙම නැතුව, ඔවුන්ට හොඳ ධනාත්මක හැඟීම් සහ ආත්ම විශ්වාසය වර්ධනය කර දෙන්නට ඕනේ. “ඔබට පුළුවන්” (“you can”) යන හැඟීම සහ විශ්වාසය ඔවුන්ට දෙන්න ඕනේ.
එවිට, ඒ අය ශක්තිමත්ව නැගිටියි. එවිට, ඒ අය ලෝකේ ඕනෑම දක්ෂ කෙනෙකු සමග හැප්පෙන්නට, තරඟ කරන්නට, තර්ක කරන්නට, විශ්වාසයකින් ඉදිරිපත් වෙයි. මගේ පෞද්ගලික අත්දැකීමක් ගැනත්, මම කියන්නම්. මම මහ බැංකු අධිපතිවරයා හැටියට සේවය කරන කාලයේදී, මට ආශ්‍රය කරන්න, වාද කරන්න, තර්ක කරන්න, සිදු වුණේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතනවල ඉගෙන ගත් අය සමගයි. එහෙත්, මගේ සම්පූර්ණ අධ්‍යාපනය සහ පුහුණුව මම දේශීයව ලැබුවත්, ඒ අයගේ දැනුම මගේ දැනුමට වඩා ඉහළ තැනක තියන බවක්, එක විනාඩියකටවත් මට ඒත්තු ගැනෙන්නට හෝ හිතන්නට මට සිදුවුණේ නෑ. සෑම විටම, මට සිතුනේ මගේ දැනුම, දක්ෂතාවය සහ ක්‍රියාකලාපය ඒ අයගේ දැනුමට, දක්ෂතාවයට හා ක්‍රියාකලාපයට දෙවැනි නොවූ එකක් බවයි. ඒ අය ලෝකයේ කුමන ප්‍රසිද්ධ පාසල්වලට ගියත්, හාවඩ්, ස්ටැන්ෆඩ්, යේල්, ඔක්ස්ෆඩ් වැනි විශ්වවිද්‍යාල වලින් උපාධි ලැබුවත්, ඒ අයත් සමග වාද කරන්නට, කරුණු සහිතව සාර්ථකව තර්ක කරන්නට, මට හැකි බව මට පූර්ණ විශ්වාසයක් තිබුණා.
ජනතාවගේ ජීවන රටාව
ඕනෑම ගම්වැසියෙකු දෙස අද අපි බලන විට, ඔහු හෝ ඇය 1948 දී සිටි ශ්‍රී ලාංකිකයා නොවන බව අපට හොඳට පෙනෙනවා, වැටහෙනවා. අතීතයේදී, විදේශිකයන් ලංකාවට පැමිණි විට ඔවුන් කල්පනා කළේ ලාංකිකයෝ සිටින්නේ නිරුවත්වද කියලයි. ඒ කාලේදී, අමුඩ පැළඳගත් අය බහුලව වීදිවල ගමන් කරනවා, අපි දැක්කා. අද එහෙම නෑ. අද, කෙනෙක් පොල් ගහකට නගින්නෙත් ජීන්ස් කලිසමක් ඇඳගෙන, මොබයිල් ෆෝන් එකක් සාක්කුවේ දාගෙන.
1948 දී හෝ 1952 දී හෝ ගත් පරණ පින්තූර දෙස බලන්න. එවිට අපට පෙනෙන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකික මිනිසුන් පාරේ හිටියේ බැනියමක්වත් නැතුව, වැරහැලි ඇඳගෙන, සෙරෙප්පු නැතුව, නේද? එසේ නම්, දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ කෝණයෙන් බලන විට, සෑහෙන ප්‍රගතියක් ඇතිවෙලා තියෙනවා, නේද? තාක්ෂණය සහ සන්නිවේදනය පැත්තෙන් බැලුවොත්, 1948 කාලේ අපට තිබුණේ පුවත්පත් දෙක තුනක් සහ ගුවන් විදුලිය පමණයි, නේද? ගුවන් විදුලියෙන් කුමක් හෝ විකාශනය වුවහොත් අපි ඒක අහගෙන විශ්වාස කරනවා මතකද? 1950 සහ 1960 පමණ කාලයේදී, නගරයක කෙනෙකුට ටෙලිෆෝන් ඇමතුමක් සම්බන්ධ කර ගැනීමට දුරකතන හුවමාරු ඒකකයට ගොස් එය “බුක්” කළ ආකාරය අප සමාජයේ වැඩිහිටියන්ට මතක ඇති. කොළඹ සිට රත්නපුරේට කතා කරන්න අවශ්‍ය වූවා නම්, ඒ ඇමතුම පැය තුනකට පමණ පසුව තමයි, සම්බන්ධ කරගැනීමට හැකි වන්නේ. දුරකතන ඇමතුම පිට රටකට නම්, එම ඇමතුම දවස් තුනකට පමණ කලින්, දුරකතන හුවමාරු ඒකකයට කතා කොට, වෙන්කර ගන්න ඕනේ.
1948 දී, අපේ රටේ එහෙම තත්ත්වයක් තිබුණ ද, එංගලන්තයේ එහෙම තත්ත්වයක් තිබුණෙ නෑ. ඒ අයටත් ඒ කාලයේදී යම් සුළු ප්‍රමාද දෝෂ තියෙන්නට ඇති. නමුත්, අපට වගේ දීර්ඝ ප්‍රමාද දෝෂ තිබුණේ නැහැ. එහෙම නම්, අපේ රට ඒ කාලේ පාලනය කළ විදේශික පාලකයන්, තමන්ගේ රටවල එවකට තිබූ තාක්ෂණයවත් අපට ලැබෙන්නට ඉඩ සැලසුවේ නැති බව අපට පිළිගන්නට වෙනවා. පසුගිය වසර 77 තුළ, සන්නිවේදනය අතින්, ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. එලෙස එම නව තාක්ෂණය අපට භුක්ති විඳීමට හැකි වුණේ, කොටසක් තාක්ෂණයේ නව සොයා ගැනීම් සහ නිපැයුම් ඔස්සේ වූ අතර, තවත් කොටසක් අපට අපේ ඉරණම තීරණය කරන්නට හැකි වාතාවරණයක් නිදහසින් පසු රටේ බිහිවූ නිසයි. අපේ වාසනාවට, එම නව තාක්ෂණයේ වාසීන් අපට යොදා ගන්නට, එකතු කරගන්නට, භුක්ති විඳින්නට, අපට නිදහස තිබුණා. ඒ නිදහස අපට නොතිබුණා නම්, අපි තවමත් තාක්ෂණය අතින් බොහෝ පිටුපසින් සිටින්නට තිබුණා.
විදේශිකයින් 1505 දී ආක්‍රමණය කිරීමට පෙර, අපගේ රජ කාලවල ඉදිකරන ලද වාරිමාර්ගවල බෑවුම, සැතපුමකට අඟලක් ගානේ, අපේම ඉංජිනේරුවරුන් නිර්මාණය කොට තිබුණා. වර්තමානයේදීත්, ඒ ඉදිකිරීම් තාක්ෂණය දෙස බොහෝ දෙනා බලා පුදුම වෙනවා. සීගිරිය ගල මත පිහිටි නගරයට අවශ්‍ය ජලය, පහළ සිට ඉහළට ගෙනියන්නට ඒ කාලයේදී අපේ ඉංජිනේරුවන් සමත් වුණා. ඒ තාක්ෂණය දෙස අදටත් බොහෝ දෙනෙක් බලා මවිතය ප්‍රකාශ කරනවා. රට වටේ වැව් තිස් දහසකට වැඩියෙන් ඉදිකර තිබුණා. එහෙත්, අපගේ අවාසනාවට අප “කොලනියක්” බවට පත්වුණු අවුරුදු 433 තුළ, මේ යටිතල පහසුකම් බොහොමයක් නඩත්තුවකින් තොරව විනාශ වුණා. සමහර දේ ඒ විදේශික පාලකයෝ ඕනෑකමින්ම විනාශ කළා. අපි නිදහස ලබන විට, සමහර දැවැන්ත දාගැබ් ගස්කොළන් වලින් සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණේ. සමහර දාගැබ් තිබුණ ද කියලාවත් අපි දැන සිටියේ නැහැ. ඒවා නැවත ප්‍රතිසංස්කරණය කොට, ඒ ඉතිහාසය නැවත වරක් නිවැරැදිව සටහන් කරන්නට හැකි වන ආකාරයට ඒවා නැවත ස්ථාපනය කොට, ඒවාට පිවිසීමට මාර්ග සකස් කොට, ඉඩ සලසන ලද්දේත්, පසුගිය අවුරුදු 77ක කාලය තුළදී බව අප මතක තබා යුතුයි. මේ ආකාරයට අප රටේ පෞරාණික ශිෂ්ටාචාරය සහ පෞඪත්වය සටහන් කළ නටබුන් සහ කෘෂි යටිතල පහසුකම් දහස් ගණනක් පසුගිය අවුරුදු 77 තුළදී, නැවත ප්‍රතිසංස්කරණය කර ගැනීමට අපට හැකිවූ බවත් අපි මතක තබාගත යුතුයි.
එපමණක් නොව, අපේ රටේ එඩිතර නායකයින් සහ වීර රට වැසියන් රාශියක් අමු අමුවෙන් ඝාතනය කරන ලද බවත්, අපට බොහෝ ශෝකයෙන් කියන්නට සිදු වෙනවා. බොහෝ කීර්තිමත් දේශ හිතෛෂි නායකයින්ට “ද්‍රෝහීන්” යන ලේබලය, එම විදේශික පාලකයන් විසින් ගසනු ලැබුවා. අප රටේ වටිනා සම්පත් රාශියක් කොල්ල කා විදේශ රටවලට ගෙන යනු ලැබුවා. අදටත් කිසිදු ලැජ්ජාවකින් තොරව, ඒවා සමහරක් විවිධ විදේශ නගරවල කෞතුකාගාරවල ප්‍රදර්ශනය කරනු ලබනවා. ඒවා ගැන අපි මෙහිදී විශේෂයෙන් විග්‍රහ නොකළත්, අනාගතයේදී ඒ විනාශය ගැනත් වෙනම දීර්ඝ විශ්ලේෂණයක් කළ යුතු වෙනවා. මේ අතීත ඉතිහාසය ගැන අප රටවැසියන් හොඳින් දැනුවත් කළ යුතු වෙනවා.
ලාංකික භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය
ආක්‍රමණවලට ගොදුරු වූ සමහර රටවල්වල සාම්ප්‍රදායිකව වාසය කළ ජනයා විශාල සංඛ්‍යාවක් ඉතා ඉක්මනින් විනාශ වූ විට, ආක්‍රමණය කළ අයගේ (විදේශ ආක්‍රමිකයන්ගේ) (foreign invaders) ජන සංඛ්‍යාව එමගින් වැඩිවූ අවස්ථා රාශියක් ලෝක ඉතිහාසයේ සටහන් වෙනවා. උදාහරණයක් වශයෙන්, උතුරු ඇමරිකාව, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය වැනි ප්‍රදේශවල ආක්‍රමිකයන්ගේ සංඛ්‍යාව, ඒ රටවල වාසය කළ පාරම්පරික ජනයාගේ (indigenous people) සංඛ්‍යාවට වඩා ශීඝ්‍රයෙන් වැඩි වුණා. එසේ වූයේ ආක්‍රමණය කළ අය විසින් ඒ රටවල සිටි පාරම්පරික ජනයා මරා දැමීමෙන් හෝ විවිධ කෲර ආකාරයට විනාශ කරන ලද නිසයි. එසේ වීමෙන්, ඒ පළාත්, ආක්‍රමණය කළ අයගේ රටවල් බවට ඉබේම පත් වුණා. හිටපු පාරම්පරික ජනයාගේ අනන්‍යතාවය සහ අයිතීන් සදහටම නැති වුණා. ඒ හිටපු අයට ඇත්තටම නිදහසක් ලබන්න දෙයක් ඉතුරු වුණේ නැහැ. ඒ හේතුවෙන්, “නිදහස” යන සංකල්පයකට ඒ රටවල තැනක් නැතිව ගියා. එවිට, ඒ රටවල “උරුමය” භාරගත් නව ආක්‍රමිකයන් හෙවත් නව විදේශ පදිංචිකරුවන්, තමන්ගේ “ජාතික දිනය” වශයෙන්, ඔවුන් එම රට හෝ පළාත ආක්‍රමණය කළ දිනය සමරන්න පටන් ගත්තා. “නිදහස” සමරන්නට හැකි වන්නේ හිටපු පාරම්පරික ජනතාවටයි. එහෙත්, ආක්‍රමිකයන්ට එවැනි අභිලාෂයක් නොතිබූ බව අප තේරුම් ගත යුතුයි.
අප මෙන් ශත වර්ෂ 5 ක පමණ දීර්ඝ කාලයක් තිස්සේ, වෙනත් රටක් විදේශිකයන්ට යටත්වී සිටියා නම්, සමහර විට ඒ රටේ සංස්කෘතිය සහ ආගම ඉතුරු නොවන්නට ඉඩ තිබුණා. මේ සඳහා නිදසුන් කීපයක්ම තියෙනවා. ඔස්ටේ්‍රලියාවේ මුලින්ම වාසය කළ “ඇබරජිනි” වැසියන් සහ නවසීලන්තේ පාරම්පරික “මවුරී” වැසියන් ලක්ෂ ගණනින් ක්‍රමානුකූලව විනාශ කරනු ලැබුවා. ඇමරිකාවේ වාසය කළ “නවාහෝ, චෙරෝකී, චොක්ටෝ, මොහාවේ, අපාචේ, සිවු, “බ්ලැක් ෆීට්” යනාදී ගෝත්‍ර ඇතුළු සාම්ප්‍රදායික වැසියන් ලක්ෂ ගණන් විනාශ කරනු ලැබුවා.
වාසනාවට මෙන් ඉන්දියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල ආක්‍රමිකයන්ට එහෙම කරන්නට බැරි වුණා. ඒ උවදුරෙන් බේරෙන්න්, අපේ රටට පුළුවන් වුණා. ඒ වෙනුවෙන් අපි, අපේ නිදහස වෙනුවෙන් සටන් කළ එඩිතර නායකයින්ට හදවතින්ම ස්තූතිවන්ත වන අතරම, අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම, ඒ අවසනාවන්ත වසර 443 ක කාලයේදී, අපේ බෞද්ධ භික්ෂූන්වහන්සේලා විසින් බුද්ධාගම සහ අපේ රටේ සංස්කෘතිය දිවි හිමියෙන් රැකගනු ලැබුවා. ඒ නිසා ශ්‍රී ලාංකිකයින් හැටියට අපි උන්වහන්සේලාට සදාකාලිකව ණයගැති වෙන්නට ඕනේ. “ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි” යන සංකල්පය රැක්කේත්, උන්වහන්සේලා. ඒ සංස්කෘතිය උන්වහන්සේලා රැක තිබුණේ නැත්නම්, අප රටේ නිදහස වෙනුවෙන් ඉදිරිපත් වෙන්නට අපට හේතුවක් මතුවන්නේ නැහැ. එහෙම නම්, නිදහස ගැන සන්තෝස වෙන්න දෙයක් අප රටේ ඉතුරු වෙන්නේ නැහැ. සමහරු “සුද්දෝ හිටිය නම් හොඳයි” කිව්වාට, විදේශිකයන් මේ රට ආක්‍රමණය කොට පාලනය කළ කාලයේදී, පන්සලක භික්ෂූන්වහන්සේ කෙනෙකුටවත් නිදහසේ ජීවත් වන්නට නොහැකිවූ කාලයක් තිබුණු බව අප මතක් කරගත යුතුයි. භික්ෂූන්වහන්සේලා කී නමක් ඒ කාලය තුළදී අමු අමුවේ ඝාතනය කරනු ලැබුවාද? පන්සල් කීයක් විනාශ කරනු ලැබුවද? මෙවැනි දැවැන්ත අභියෝග ඉදිරියේ වුවද කෙසේ හෝ අපේ රටේ බෞද්ධාගම, සංස්කෘතිය, කෘෂිකර්මය යනාදිය අමාරුවෙන් රැකගනු ලැබුවා.

හිටපු මහ බැංකු අධිපති සහ
මුදල් රාජ්‍ය ඇමැති
අජිත් නිවාඩ් කබ්රාල්
