*
Sunday, March 9, 2025
spot_img

Latest Posts

ලංකා නිව්ස් වෙබ් (LNW) : දහසය වසරක් අඛණ්ඩව ඔබ සමග ….

“ලංකා නිව්ස් වෙබ්” පුවත් වෙබ් අඩවිය ආරම්භ කර අදට (මාර්තු 07) දහසය වසරක් සපිරේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි ….

2009 වසර ආරම්භ වන විට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව ශ්‍රී ලංකාවේ පැවතුණේ මර්දනයේ අඳුරු සෙවනැලිවලින් හාත්පස වෙළුණු තත්වයකි. 2009 ජනවාරි 08 වනදා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ දවල් මහ පාරේ ඝාතනය කෙරිණි. ඒ, දෙනෝ දාහක් බලා සිටියදීම ය. ඒ භීෂණය අතරේ ශ්‍රී ලංකාවේ විකල්ප මාධ්‍ය කලාව ඉදිරියට ගෙන යන්නේ කෙසේද, ජනතාවට සත්‍ය තොරතුරු අනාවරණය කරන්නේ කෙසේද යන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා මෙරට සහ විදෙස්ගතව සිටි කිහිපදෙනෙකු ඇරඹූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් ලංකා නිව්ස් වෙබ් බිහිකිරීමට මුල පිරිණි.

මූලික කටයුතු වේගයෙන් සම්පූර්ණ කරගනිමින් එංගලන්තය කේන්ද්‍ර කරගෙන 2009 මාර්තු 07 වනදා ලංකා නිව්ස් වෙබ් දියත් කෙරුණු අතර ශ්‍රී ලංකාවේත් තවත් රටවල් කිහිපයකත් සිට පුවත් පළකිරීම සිදුකෙරිණි. එවකට පැවති ආණ්ඩුවට මේ අලුත් වෙබ් අඩවිය කොතරම් හිසරදයක් වීද යත් මාස කිහිපයකින්ම ලංකා නිව්ස් වෙබ් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරිණි. එහෙත් vpn ක්‍රම හරහා දහස් සංඛ්‍යාත පාඨකයින් පිරිසක් දිනපතා අප වෙබ් අඩවිය සමග සම්බන්ධ වූ අතර අපට වසර හයක්ම ඒ ගරිල්ලා මාධ්‍ය භාවිතාවේ නියැළෙන්නට ද සිදුවුණේ ජාත්‍යන්තර රතු වරෙන්තුවක් පවා නිකුත් කර තිබුණු තත්වයක් යටතේ ය.

2015 ආණ්ඩු පෙරළියත් සමග අපට පනවා තිබුණු තහනමත් ඉවත් කෙරුණු අතර ගරිල්ලා ක්‍රමය අත්හැර ශ්‍රී ලංකාව මූලස්ථානය කරගනිමින් අපේ ආයතනික කටයුතු කරගැනීමටත් රට රටවල විසිර සිටි අපේ කණ්ඩායමට ශ්‍රී ලංකාවේදී මුණගැසීමටත් හැකිවුණි. ලන්ඩනය සහ කොළඹ යන දෙපැත්තේම සිට ක්‍රියාත්මක වෙමින් අදටත් අපි අපේ වගකීම 2009 මාර්තු 07 ඇරඹූ ආකාරයෙන්ම කරගෙන යන්නෙමු.

වසර 16ක් යනු සුළුපටු කාලයකුත් නොවේ. විශේෂයෙන්ම ගතවූ වසර 16 තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ දෑ පිළිබඳ සලකා බැලීමේදී එය අතිශයින්ම දීර්ඝ කාලයක් වශයෙන් දැනේ. යුද්ධය, යුධ ජයග්‍රහණය, මාධ්‍ය සහ සිවිල් ක්‍රියාකාරීන්ට එරෙහි දැවැන්ත මර්දනය, 2010 ජනාධිපතිවරණය, මහින්ද රාජපක්ෂගේ තුනෙන් දෙකේ ආණ්ඩුව, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 2015 ජනාධිපතිවරණය, යහපාලන ආණ්ඩුව, දින 52 කුමන්ත්‍රණය, පාස්කු ඉරිදා ප්‍රහාරය, 2019 ජනාධිපතිවරණය, ගෝඨාභයගේ තුනෙන් දෙකේ ආණ්ඩුව, කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය, ගෝඨාභයට එරෙහි ජනතා අරගලය, ගෝඨාභයට ඉල්ලා අස්වීමට සිදුවීම, රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වීම, IMF ගිවිසුම, 2024 ජනාධිපතිවරණය, අනුර කුමාර දිසානායකගේ සුවිශේෂී ජයග්‍රහණය, අනුරගේ තුනෙන් දෙකේ ආණ්ඩුව යනාදී වශයෙන් මේ වසර 16 තුළ සිදුවූ සිදුවීම් බොහෝ ය.

රටට විවිධාකාරයෙන් බලපෑම් කළ මෙවන් එකිනෙකට වෙනස් සිද්ධීන් සමුදායක් අතරේ අප ලද ජයග්‍රහණය මේ වසර 16ම අඛණ්ඩව ඔබ සමග රැඳෙමින් මේ සියල්ල සීමා මායිම්වලින් ඔබ්බට යමින් වාර්තා කිරීමට හැකිවීමයි. ප්‍රධාන ධාරවේ මාධ්‍යකුත් නොවන, ව්‍යාපාරික පසුබිමකුත් නොමැති අප වැනි ආයතනයක් වසර 16ක් අඛණ්ඩව පවත්වාගෙන ඒමම එකතරා ආකාරයක යුද්ධයක් වැනි ය. තහනම, නීතිමය ගැටලු, හැමදාම පැවති ආර්ථික දුෂ්කරතා යනාදී අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙමින් මේ පැමිණි ගමන ගැන අපි සතුටු වන්නෙමු. අපේ දෑස් ඉදිරියේම ඇතිවී නැතිවී ගිය පුවත් වෙබ් අඩවි විශාල සංඛ්‍යාව දෙස බැලීමේදී “ලංකා නිව්ස් වෙබ්” වසර 16ක් අඛණ්ඩව පවත්වාගෙන එන්නට හැකිවීමම අපට අනුව “වැඩකි”.

නිවැරදි තොරතුරු ඉක්මනින්ම වාර්තා කිරීමට අපි සෑමවිටම ප්‍රමුඛතාව ලබා දුන්නෙමු. දිනකට පුවත් හතළිහක් හෝ ඊටත් වැඩි සංඛ්‍යාවක් බැගින් පසුගිය වසර 16ක් පුරා අප පළකළ අතිවිශාල පුවත් ගණන අතරින් කිහිපයක් වරදින්නට ද ඇත. වැරදි දුටු වහාම ඒවා නිවැරදි කරගැනීමට ද අපි කටයුතු කර ඇත්තෙමු. එසේම කවර තත්වයක් යටතේ පවා අපගේ මූලික ප්‍රතිපත්ති රාමුවෙන් පිට නොපනින්නට අප වගබලාගත් අතර මොනම දුෂ්කර මොහොතකදීවත් ජාතිවාදයට ආගම්වාදයට බුරුලක් නොදීමට ද අපි කටයුතු කළෙමු. ඒ ගැන අපට ඇත්තේ ආඩම්බරයකි. එක් එක් තත්වයන් යටතේ නොයෙකුත් පාර්ශ්ව අප සමග සිත් නොහොඳකම් ද ඇතිකරගත් අතර අප පුවත් වාර්තාකරණයේ නියැළෙන මාධ්‍යවේදීන් මිස අයිස්ක්‍රීම් වෙළෙන්දන් නොවන බැවින් සෑම දෙනාම සතුටු කිරීමේ හැකියාවක් අපට නොමැති බව ද අප කිව යුතුය.

මේ වසර 16 තුළ අප උපයාගත් වටිනාම ධනය නම් අපේ පාඨක පිරිසයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම අප හා රැඳෙමින් මේ දක්වා අප සමග පැමිණි පාඨක ඔබ සැමට අපි ස්තූතිවන්ත වන්නෙමු. හෙටත් අප හා රැඳෙන්නට ආරාධනා කරන්නෙමු.

ගත වූ වසර 16 තුළ ලංකා නිව්ස් වෙබ් ප්‍රධාන වෙබ් අඩවියට අමතරව නෙළුම් යාය, අවුට්බවුන්ඩ් ටුඩේ සහ රීඩ් ෆොටෝස් යන වෙබ් අඩවි නිර්මාණය කරමින් පෝෂණය කිරීමටත් නෙළුම් යාය පදනම හරහා විවිධ සමාජ සත්කාරක ව්‍යාපෘතිවල නියැළීමටත් අපට හැකිවිය. මේ සියල්ලටම අතදුන් අපේ සමීප හිතවතුන් පිරිස ද අපි ගෞරව ස්තූති පූර්වකව සිහිපත් කරන්නෙමු. ඔවුන්ගේ උදව් නොතිබෙන්නට අද මේ කිසිවක් බිහිවන්නේ හෝ පවතින්නේ නැත.

ලංකා නිව්ස් වෙබ් යනු දේශපාලනික පුවත් වෙබ් අඩවියකි. එහෙත් අපගේ දේශපාලනය පවතින්නේ පක්ෂ දේශපාලන රාමුවලට ඔබ්බෙනි. අපේ දේශපාලනයේ පදනම මිනිස් නිදහසයි. එය ජාති, ආගම්, පක්ෂ, පාට, කුලමල සියල්ල තබා දේශසීමාවලටත් කොටු නොවන්නා වූ ගෝලීය සංකල්පයකි. ගතවූ වසර 16 තුළ සිදුවූ දේශපාලන සිදුවීම් දෙස ආපසු හැරී බැලීමේදී අප ඇතැම් ඒවාට සෘජුවමත් ඇතැම් ඒවාට වක්‍රවත් දායක වී ඇති අතර ඇතැම් ඒවාට කිසිදු අයුරකින් සම්බන්ධ නොවී හුදෙක් වාර්තාකරණය පමණක් සිදුකර ඇත. දායක වූ දේවල් පවා අපේ පරාමිතීන් අනුව ඒ මොහොතට අදාළව සිදුකළ දෑ මිස ඒවා සමග බැඳීම් තබා ගනිමින් කළ දෑ නොවේ. ඉදිරියටත් අප ක්‍රියාත්මක වනු ඇත්තේ ඒ ආකාරයටම ය.

අදින් ඇරඹෙන අපේ 17 වැනි වසරේදී අපි දේශීයව දේශපාලනයේ අපට හුරුපුරුදු “පේළි අතර දිවෙන කතා”වලට යම් ඉඩක් ලබාදෙමින් අපේ අනන්‍යතාවය රැකගන්නා අතරේම සමාජයීය මාතෘකාවලට වැඩි ඉඩක් වෙන්කිරීමටත් ජාත්‍යන්තර තලයේදී දේශගුණික විපර්යාස වැනි පාරිසරික මාතෘකාවලට වැඩි ඉඩක් වෙන්කිරීමටත් අපේක්ෂා කරන්නෙමු. ඊට හේතු ඉදිරියේදී පැහැදිලි කෙරෙනු ඇත.

ගතවූ වසර 16ක් තුළ තාක්ෂණයේ දියුණුවත් සමග ජනමාධ්‍ය තුළ සිදුවූ විපර්යාස අපි අත්දුටුවෙමු. පුවත්පත්වල තීරණාත්මක භූමිකාව අවසන් වුණේ අප බලා සිටියදීමය. වෙබ් අඩවි ද පවත්වාගෙන යාම පහසු කාර්යයක් නොවේ. දහසය වසරක අත්දැකීම් සමග වඩාත් තියුණු වෙමින් දියුණු වෙමින් තවත් වසර දහසයක් ඔබ සමග ඇවිද යන්නට අප කැමති ය. ඒ වසර දහසය තුළ අපේ අත් ගිළිහුණත් එතැනට අලුත් අත් එකතු වනු ඇත. ස්වරූපය කුමක් වුවත් “ලංකා නිව්ස් වෙබ්” පවතිනු ඇත. ඒ, මෙය හුදෙක් පුවත් වෙබ් අඩවියක් පමණක්ම නොව “ලංකා නිව්ස් වෙබ්” පවුලක් නිසා ය. ඊටත් එහා යමින් මේ වෙබ් මුහුණතට පසුපසින් “අරමුණක්” පවතින නිසා ය.

වසර 16ක් අප හා රැඳුණු, නන් අයුරින් අපට උපකාර කළ සියලුම දෙනාට නැවත වතාවක් ස්තූති කරන්නෙමු. හෙට දවසේත් අප සමග රැඳෙන්නට නැවතත් ආරාධනා කරන්නෙමු ….

~ Team LNW

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan