උපාලි කොළඹගේ
කොළඹ LNW:බටලන්දට ගිනි තිබ්බේ අල් ජසීරා මාධ්‍යවේදියකි. නමුත් එයින් පිච්චෙන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ නම් දරාපු කප්පිත්තන්ය. රනිල් වික්‍රමසිංහ එහි මහමොළකරු ලෙසය මාධ්‍ය විසින් නම් කරනු ලැබ ඇත්තේ. ඇතැම් මාධ්‍යයන්ට දිනපතා ආහාරයට ගතහැකි දිව බොජුනක් බවට බටලන්ද කොමිසන් සභා වාර්තාව පත්ව තිබේ. එහිදී රනිල් සමග ඇති එරියර්ස් කවර් කිරීමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබේ. අල් ජසීරා මාධ්‍යවේදියාගේ ප්‍රශ්න කිරීම් පවා මොළයෙන් නොව ඇඟෙන් කරන බවක්ද දක්නට ලැබිණ .
කුමන තත්ත්වයක් යටතේ වුව රනිල්ගේ කිල්ලෝටයේ හුණු යහමින් ඇති බව නම් පැහැදිලි ය. ඒ වගේම අනික් පාර්ශවය ද නිදොස් කොට නිදහස් කළ නොහැකි බවද පරම සත්‍යයකි. දෙපැත්තේ ලැයිස්තු කියා ගෙන ගියහොත් වඩා දිග මොන ලැයිස්තුව ද යන්න කිවනොහැක.
රනිල් වික්‍රමසිංහ නොවෙයි ඊට වඩා ජගතෙක් වුව අනීතිකව අපරාධවලට සම්බන්ධ වී ඇත්නම් දඬුවම් විඳිය යුතුමය. එමෙන්ම එවක ජනතා විමුක්ති පෙරමුණ හෝ ඔවුන්ගේ සෘජු මැදිහත් වීම මත ක්‍රියා කළ කණ්ඩායමක් නීතිය තමන් අතට ගෙන අනීතිකව කටයුුතු කර ඇත්නම් ඔවුන් ද දඬුවම් විඳිය යුතුය. නමුත් මේ සියල්ල සිදුවිය යුත්තේ සාධාරණ නඩු විභාගයකින් පසුවය. එසේ නොමැතිව සමාජ මාධ්‍ය බලකර සිටින නිසා හෝ යම් යමි පිරිස් උද්ඝෝෂණ කරන නිසා හරි හමන් නඩු විභාගයකින් තොරව දඬුවම් පැමිණ වීමක් කිසිසේත් සිදු කළ යුතු නැත .
වර්තමාන ආණ්ඩුව අනිසි ලෙස අධිකරණ කටයුුතුවලට මැදිහත් නොවීමේ විශිෂ්ට ක්‍රියා පිළිවෙත දිගටම පවත්වා ගෙන යන්නේද යන්න මෙය හොඳින් බලාගැනීමට හැකි අවස්ථාවකි. මා හිතනව මෙම ලිට්මස් පරීක්ෂාවෙන් අනුර කුමාර ආණ්ඩුව ජය ගනීවිය කියා. අපගේ අපේක්ෂාවද එයයි.
දැනට උත්කර්ෂයට නංවමින් තිබෙන බටලන්ද වාර්තාව කරණු සෙවීමේ කොමිසන් සභා වාර්තාවක් බව දැනටමත් ප්‍රකාශයට පත්ව තිබේ. එම නිසා ඉන් හෙළිවන කරුණු පිළිබඳව අධිකරණ විභාගයක් අනිවාර්ය බව නීති වේදීන්ගේ මතයයි.
කොහොම වුණත් මෙම සිද්ධි දාමය නිරීක්ෂණය කිරීමේදී යුක්තිය පසඳලීම තව බොහෝ දුර බව දැකිය හැක. මෙය වර්තමාන ආණ්ඩුවේ හිසට පාත්වූ හෙණ ගෙඩියක් ලෙසය මා දකින්නේ. පැරණි ජවිපෙ සමාජිකයන් තෘප්තිමත් කිරීමත් රට තුළ නීතිය හා සාමය සමබරව පවත්නා ගෙන යෑමත් එක විට කිරීමේ උභතෝකෝටිකයකටය දැන් ආණ්ඩුව මුහුුණ පා සිටිනුයේ. එමෙන්ම මේ හව් අස්සේ පක්ෂයේ පරණ කැරැට්ටුව එළියට ඒ විද යන බියක් ඔවුන් තූළ පවතිනවාද විය හැක.
එතකොට ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනය කිරීම පිළිබඳව කොමිසමක් පත් කිරීම දැන් අකැපද? මා අසන ප්‍රශ්නය එයයි.
ඔහු බාගෙට මරා කනත්තේ උදුනට වීසිකළ බවටද චෝදනා නැගෙයි. එම වකවානුවේ මෙවැනි ඛේදනීය සිදුවීම් රාශියක් සිදුවිය. එවිට උතුරු නැගෙනහිර ක්‍රියා කොමිසමක් මගින් පිරික්සිය යුතු නැද්ද ?
මගේ පෞද්ගලික අදහසනම් මේ සියල්ලට කොමිෂන් පත්කර අතීතය හාරවුස්සන්නට ගිය හොත් ඊට දිගු කාලයක් ගතවන බවය. එමෙන් අති විශාල ධනස්කන්දයක් වැය කිරීමට සිදු වනුද නියති.
මා සිතන විදියට නම් එකම විකල්පය මේ අතීත සිදුවීම් සියල්ල ආවරණය වන පරිදි එක් කොමිසමක් පත් කිරීමය. දරුණු ගණයේ සාහසික ක්‍රියා වෙන වෙනම ගෙන නඩු පැවරීමක් කළ හැක.
