කොළඹ LNW:වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිවේදනයක් නිකුත කර තිබේ.
එහිදී හිටපු රාජ්‍ය ආරක්ෂක අමත්‍යවරයා පවසන්නේ අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූ කාරණය අසත්‍ය බවයි.

”වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමුව පවතී. ගුවන් යානයේ එන්ජිමේ හෝ බඳෙහි හෝ කිසිඳු වරදක් නැති බවත් පුහුණුවන නියමුවන්ගේ අත්වැරදීමක් අනතුරට හේතු වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබීය. අමාත්‍යවරයාගේ ඒ ප්‍රකාශය නිවැරදි නොවන අතර එහි කිසිඳු සත්‍යතාවයක් නැත.ගුවන් හමුදාවේ යානයක් අනතුරට පත් වූ විට අනුගමනය කරන ක්‍රමවේදයක් පවතී. අනතුර සිදුවූ විගසම ඒ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණ අධිකරණ මණ්ඩලයක් (Court of inquiry) පත් කිරීම සිදුවේ. අනතුරුව ගුවන් නියමුවන්ගෙන් ප්‍රකාශ ලබා ගත හැකි නම් ඒ තොරතුරු පරීක්ෂණ මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙයි. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරෙන්නේ ඉහත මූලික පියවර ගැනීමෙන් පසුවය.ගුවන් යානයක් අනතුරට පත් වූ විට ඒ පිළිබඳව පැති රාශියකින් කරුණු විමසීම සිදුකරනු ලැබේ. ඒ සඳහා යම් කාලයක් ගතවීම මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රමවේද දෙස බැලීමේදී පැහැදිලිව පෙනී යයි.
පරීක්ෂණ අධිකරණ මණ්ඩල වාර්තාව ප්‍රථමයෙන්ම ගුවන් හමුදාපතිවරයාට යොමු කරනු ලබන අතර පසුව එය ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාරදීම පැවතුන සම්ප්‍රදාය වේ. ඒ පිළිබඳව කිසියම් ප්‍රකාශයක් කිරීම සිදුවන්නේ මේ සියලු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුවය.එවැනි පසුබිමක් යටතේ වාරියපොළ මිනුවන්ගැටේ සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා අවසන් නිගමන ඉදිරිපත් කිරීම වගකීම් විරහිත ක්‍රියාවකි.
ගුවන් හමුදාව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් විය යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශය හරහාය. ඒ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා කරන ප්‍රකාශවල කිසිඳු වැදගැම්මක් නැත.
ඒ පිළිබඳව වග විය යුතු ප්‍රකාශය ආරක්ෂක අමාත්‍යංශය විසින් කළ යුතු වන්නේය. එසේම තමන්ට අදාළ නොවන වැඩකටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් වහාම සමාව ද ගත යුතුය.” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
