නිශ්මං රණසිංහ අප්‍රේල් 09 කොළඹ LNW :
මේ වන විට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කරන ලද මලල ක්‍රීඩා සංචිතයෙන් හර්ෂ කරුණාරත්නගේ නම ඉවත් කර තිබෙනවා.හර්ෂ ශ්‍රී ලංකාවේ මීටර් 800 ඉසව්වේ ජාතික වාර්තාලාභිණිය මෙන්ම ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ආසියානු ක්‍රීඩා උළෙලේ සූරිය මෙන්ම පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ තරුෂි කරුණාරත්නගේ සොහොයුරායි.තරුෂි ඔහු පසුපස පැමිණියා මෙන්ම ඔහු සිය මලල ක්‍රීඩා ජීවිතයේ බොහෝ තැන්වලින් පයක් පසුපසට ගෙන සිය නැගණියට ඉදිරියට එන්න තල්ලුවක් දුන් සොහොයුරෙක්ද වෙනවා.
මේ සියල්ල පසෙක තබා බැලූ විට ඔහු මේ ගෙවන කාලයේ බොහෝ අවස්ථාවන්වල මීටර් 800 ඉසව්වේදී ජාතික මට්ටමේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයත් වෙනවා.එහෙත් දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට ඔහුව තෝරා ගෙන නැහැ.එම ඉසව්ව සඳහා තෝරා ගෙන සිටින ක්‍රීඩකයාද දක්ෂයෙක්.ඒ ගැන විවාදයක් නැහැ.එහෙත් සමහර ඉසව් සඳහා මෙන් මීටර් 800 ඉසව්ව සඳහා ද දෙදෙනෙක් ඉදිරිපත් කර හර්ශට සාධාරණයක් කිරීම නොකළ හැක්කක් නොවේ.
එසේ හර්ශට අවස්ථාවක් නොදීම ඔහු තරුෂිගේ සහෝදරයා නිසා සිඳුවූවක් ද යන්නත් දැන් කේෂ්ත්‍රෙය් කතාබහට ලක් වෙනවා.ඊට හේතු හැටියට තරුශි කරුණාරත්න සිය ඔලිම්පික් ගමණට තේරීම සඳහා ශ්‍රී ලංකාවේදී අවසාන මොහොතේදී දිවූ තරගයේදී වැසි සහිත තත්ත්වය නිසා ධාවන පථයේ තිබූ අවහිරතා නොසළකා එම තරගය පැවත්වීමයි.ඒ සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමයේ නිලධාරි කියූ කරුණුවල සහ තරුශි විසින් කී කතාවලත් යම් යම් පරස්පරතා දක්න්නට ලැබෙනවා.එම තත්ත්වය මත තරුශිට අසාධාරණයක් වූ බවට ගොඩ නැඟූ තර්ක විශ්වසනීයභාවයකින් බිඳ දැමීමට නොහැකි වීම විශාල ගැටළුවක් වූ අතර සමහර විට තරුශිට එම තරගයේ ප්‍රතිපලය සමඟ ඔලිම්පික් සුදුසුකමෙන් පස්සට යාම, යළි සකසා ගන්නට නොහැකි වූයේ නම්, 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඇයව දකින්නටවත් නොලැබෙන්න තිබුණා.
තවත් අතකින් බොහෝ විට, ‘ඉකුත් දකුණු ආසියානු තරගාවලියේ දක්ෂතා‘ කියා යම් ක්‍රීඩකයෙක් නොතේරුණ විට හෝ තේරුණ විට එම පැරණි දත්ත පෙන්වා ඒවා ඊට පදනම් කරගත් බව පෙන්වා දෙනවා.එම තර්කයට අනුව ගතහොත් හර්ශගේ දක්ෂතා ඒ ආකාරයෙන් බලද්දිත් තිබෙන්නෙත් ඉකුත් තරගාවලියේනම් පදක්කම් සීමාවෙයි.
මෙවර තේරීම් අතර එසේ නොවන තේරීම් ද තිබෙනවා.අප එයට වැරදි යැයි චෝදනා කරන්නේ නැහැ.ඒ, දකුණු ආසියානු තරගාවලිය යනු, ඒ ඉසව්වල දක්ෂයන්ට ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් ගන්නට තිබෙන හොඳම අවස්ථාව වන නිසයි.ඒ නිසා අප විශ්වාස කරන්නේ මේ නම් කර තිබෙන සියළුම ක්‍රීඩකයින්ට ඉන්දියාවේ රංචි හී පැවත්වෙන දකුණු ආසියාතික තරගාවලිය නියෝජනයට අවස්ථාව ලබා දිය යුතු බවයි.ඒ අතරට හර්ෂ නැතිවීමේ අඩුවද මකා ඔහුද ඇතුළත් කර දකුණු ආසියානු තරගාවලිය නියෝජනය කිරීම සඳහා ඔහුටත් අවස්ථාවක් දිය යුතු බවයි.
වඩාත්ම වැදගත් වන්නේ මීටර් 800 ඉසව්වත් මේ මොහොතේ පවතින්නේ ශ්‍රී ලංකාවේ තරගකාරීම ඉසව් අතරයි.විශේෂයෙන් කාන්තා තරග පිටිය ගත් විට ඉතාමත් සීමිත වසර ගණනක් තුළ මිටර් 800 ඉසව්වේ ජාතික වාර්තා ගයන්තිකා අබේරත්න,නිමාලි ලියනආරච්චි,ඩිල්ෂි කුමාරසිංහ සහ තරුශි කරුණාරත්න අතට පත් වෙමින් වෙනස් වෙමින් තිබෙනවා.පිරිමි මීටර් 800 ඉසව්වෙත් මේ තත්ත්වය දකින්නට ලැබෙනවා.ජාතික වාර්තා අලුත් නොවුණ ද,නිතර ජයග්‍රාහකයාට අභියෝග කළ හැකි සම තත්ත්වයේ පිරිසක් දකින්නට ලැබෙනවා.ඒ අතරින් නිතර පෙරමුණ ගන්නා ක්‍රීඩකයෙක් වන හර්ශ කරුණාරත්න අවස්ථා විශාල ප්‍රමාණයක ජාතික මට්ටමේ තරගවල පළමු තැනත් දිනා තිබෙනවා.
මේ තත්ත්වයට පැහැදිළිව මලල ක්‍රීඩාවෙන් දකුණු ආසියාව පමණක් නොව ආසියාව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මට්ටමෙන්ද ජයග්‍රහණ සනාත කර ඇති,ඔලිම්පික් නියෝජනය කර ඇති මලල ක්‍රීඩකයෙකු ද වන ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නට තාර්කිකව මැදිහත් විය හැකියි.ඔහු හිටපු මලල ක්‍රීඩා සංගම් සභාපතිවරයෙකු මෙන්ම දකුණු ආසියාතික මලල ක්‍රීඩා ප්‍රධානීන්ද දන්නා අයෙකු වෙනවා.මේ තත්ත්වය පදනම් කරගෙන සුගත්ට හර්ෂව ඇතුළත් කිරීම සඳහා මැදිහත්වීම සහ අවශ්‍යය සම්බන්ධීකරණය කල් වේලා ඇතුව කරන්නට මැදිහත්වීමේ හැකියාව තිබෙනවා.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටුව මෙන්ම ජාතික තේරීම් කමිටුව අතර සම්බන්ධීකරණය ඇති කර ගැනීමත්,ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපතිවරයා සමඟ අවශ්‍යය තත්ත්වයන් සාකච්ඡා කිරීමත් නොපමාව කර,මෙවැනි තේරීම් සාධාරණ කිරීමට පසුව ගෙන එන තර්කය වන ‘දැන් ඇතුළත් කරන්නට ප්‍රමාද වැඩියි‘ යන උත්තරයෙන් මිදීම වැදගත් වෙනවා.
මේ අපට අවධානයට ලක් වූ, ඇතුළත් විය යුතු බවට අවධානයට ලක් වූ එක් කාරණාවක් පමණයි.සමහර විට මීට වඩා මඟ හැරුණු අවස්ථා ද තිබෙන්නට පුළුවන්.අප්‍රේල් 9 දා මීටර් 400 සහය දිවීම් තරග සඳහා තේරීම් තරග සඳහා අවසාන තීරණය ගැනීමට නියමිතයි යනුවෙන් මේ තේරීම් වෙනස් වීමේ ඉඩක් ද තබා තිබෙනවා.සමහර විට මේ තීරණය ඊට වඩා පුළුල් කර තවත් තරග සඳහා යාමේ ඉඩක් නිර්මාණය කර ගන්නට ද හැකියාව තිබෙනවා.අවශ්‍යයනම් කාන්තා දුර පැනීම වැනි ඉසව්වක් ගැනත් සිතිය හැකියි.මධුශානි හේරත් වැනි අනාගතවය වැදගත් ක්‍රීඩිකාවක් සමඟ දිල්නි නෙත්සලා වැනි ලාබාල ක්‍රීඩිකාවකට ද එහිදී අවස්ථාවක් හිමි වුවහොත්,එය ද අනාගතයට වඩාත් පලදායි ක්‍රියාවක් වෙනු ඇති.
බොහෝ විට මෙවැනි තේරීම්වලදි නැවත ඇහුංකං දීම සහ නමණීයත්වය දකින්නට ලැබෙන්නේ නැහැ.රටක් හැටියට දකුණු ආසියාතික තරගාවලිය යනු දක්ෂයන්ට වැඩි අවස්ථාවක් දිය හැකි මොහොත බව අප අමතක කළ යුතු නැහැ.ඒ නිසා ජාතික මට්ටමෙන් දක්ෂතා ඇති වැඩි පිරිසක් මේ තෝරා ගැනීම් අතරට යොමු කිරීම වැදගත් වූ අවස්ථා අවසාන වරට පැවති නේපාල තරගාවලියේදී ද මැනවින් ඔප්පු වුණා.
ඒ වන විට ආසියාතික මට්ටමේ සිටි නිමාලි ලියනාරච්චි අවසාන මොහොතේදී අනතුරකට ලක් වෙනවා.කණ්ඩායමේ සිටිය එම ඉසව්වට අතිරේක ක්‍රීඩිකාවක් ලෙස නම් කර සිටි ඩිල්ෂි කුමාරසිංහ ඒ අවස්ථාවේදී එම හිස්තැන පුරවමින් මීටර් 400 සහ 800 රන් පදක්කම් දෙකම දිනා දෙනවා.එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වීම නිසා තරගාවලියට සහභාගි වන්නට ගිය අදාළ ඉසව්වල අංක එකට සිටි අය වෙනුවට වෙනත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වී එම ඉසව් ජයග්‍රහණය කළ බවද සිහියට ගැනීම වැදගත් වෙනවා.
එසේම හර්ෂ සම්බන්ධයෙන් මේ ඇති වි ඇති තත්ත්වයම එම තරගාවලියේදී යුපුන් අබේකෝන් සම්බන්ධයෙන්ද ඇති වුණා.තේරීම් තරගය ලෙස ගෙන ඒ මොහොත පාදක කරගෙන යුපුන්ගේ තේරීම නොසළකා හැරීමට ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ද තර්ක ගොඩ නැඟුවා.ප්‍රතිපලයක් හැටියට මීටර් 100 සහ 200 ඉසව් ද්විත්වයේම අපට රන් පදක්කම් අහිමි වුණා.එහෙත් යුපුන් මීටර් 100 සහය දිවීමේ තරගයේදි සුපිරි ධාවනයක යෙදෙමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දිමට විශාල වැඩ කොටසක් කළා.



