මහ සද්දෙට ඇහෙනවා දැන් නිස්සද්දකම !

ආයෙ එන්නෙ නැති බව කියද්දිත්
ඔබේ මූණෙ තිබ්බ යම් මදහසක්
දොර රාමුවට පිට දීගෙන,
ගෙතිල්ලෙන් ලෙහුණ
කෙස් කැරැල්ලක් දබරැඟිල්ලෙ පටලවගෙන
ඉබාගාතේ එහෙ මෙහෙට කරකව කව
කවියක් වාගෙ.

මම හිටියෙ මෙතන,
ඔබේ දිහා බලාගෙන
වාඩිවෙලා.
රත්තරන් පාටට ඉර
ඔබේ ගෙලේ යාන්තමට තැවරිලා.
“ඔය කිව්වට හෙට එන්න”
මම කීවෙ කොඳුරලා.’

.
.
.

ඒත්
ඒක වුණේ එහෙම නෙවෙයි නෙ!

කඩිමුඩියෙ ඔබ ගත්ත අත් බෑගය
පනාවෙන් කීස් කීස් ගා පීරා එකතු කළා කෙස් වැටිය.
“යන්ඩ ඕන – ආයෙ එන්නේ නෑ” කිව්වා
ඉන් පස්සෙ ගිඩි ගිඩියෙ
පඩිපෙලේ දිව්වා ඔබේ පා
හඬ
ඔබ ගියා!
කඩිමුඩි ටැක්සියක.

ඉන් පස්සෙ නිස්සද්දකම.

ඊට මොහොතකට පෙර අපි රණ්ඩු වුණා.
රණ්ඩුව ඔබෙ වුණා
මම නිස්සද්ද වුණා.
නිස්සද්දකම බෝ වුණා.
මගෙන් ඔබට-
ඔබෙන් හුළඟට-
ගහට කොළට –
ඊට පස්ස ඝන වුණා වායුව!

හුස්ම හිර කරන ගාණට ඝනකම
නිස්සද්දතාවය අතරෙයි,
ඔබ ගත්තෙ අත් බෑගය.

ඊට පස්සෙ නිස්සදයි ලෝකයම.
දැන් මට මහ සද්දෙට ඇහෙනවා
නිස්සද්දකම!
අපරාදේ රණ්ඩු වෙන්න තිබ්බේ
අපි දෙන්නට.

~ සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්