විසල් හදක කවි – උගුල්ලා දැමුව ගස

උගුල්ලා දැමු පසුව
ගසක් හුන් පොළොවෙන්
මලානික මුහුණින්
ගස හිඳී ළපළු පත් පවා
බිම හළමින්

නව බිමෙක ඇදෙන්නට
තන්තු මුල් නැතියෙන්
ගස හිඳී මලානික මුහුණින්

කළා යැයි ඉර එළිය සොරකම්
පලාඵල නෙලූ අය පවා
කරන විට ගැරහුම්
ගසක් ඉවසිය යුතුද කෙතරම්

බිම වැටෙන විට දිනෙක
කිසියම්
ගෙන පොරෝ කියත්
ඔප දමමින්
හපා රසකර බුදින
සිහිනයේ කෙළවරක
ගස හිඳී ක්‍ෂාන්තිවාදීව
හිසනමාගත් වන ම තනියෙන්

පමාවනු නොදෙයි
බිම හැලූ පත් අසුලමින්
තැවෙමින්
ගසත් නරක ම ඉරණමට වුව
ඉතින් සුදානම්

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ – 31/12/2021

www.londonkavi.com