රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW :
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක, මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රාන්ෂ් මහතා (Marc-André Franche) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදී,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඉදිරි වර්ෂය (2026) තුළ දී මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට අවශ්‍යකරන සියලුම ඉදිරි සැලසුම් මේ වන විට සකස්කර ඇති බවත්, රජයේ රෝහල් මගින් ජනතාවට නොමිලේ ලබා දෙන ඖෂධ තත්ත්වයෙන් උසස්, ගුණාත්මක ඖෂධ බවට සහතික වන බවත්, වර්තමානයේ දී ඖෂධ මිළදී ගැනීමේ සිට රෝගියාට ඖෂධ නිකුත් කිරීම දක්වා සිදුවන ක්‍රියාවලිය ඉතා විනිවිදභාවයෙන් සිදුවන බවත්ය.
මෙම හමුවේ දී මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ මෙන් ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන සහයෝගය සහ ප්‍රදානයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව තිබූ ගැටලුකාරී තත්ත්වය ඉතා වෙහෙසකර ක්‍රියාවලියකින් පසුව වර්තමානය වන විට සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකි වූ බව අවධාරණය කළ අමාත්‍යවරයා කුමන බාධක අභියෝගයන් පැමිණියත් එයට සාර්ථකව මුහුණ දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රාන්ෂ් මහතා හමුවේ පැවසී ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිය කටයුතු දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කරමින් ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමට මෙන්ම සහතික කිරීමට අඛණ්ඩව කටයුතු කර ඇති බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිහිපත් කළේය. සෞඛ්‍ය සේවාවේ මෙන්ම සමස්තයක් ලෙස මෙරට ආර්ථික සාමාජීය, සංස්කෘතිය ආදී සියළු ක්ෂේත්‍රයන් හි ඉදිරි ප්‍රගමනයන් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග හවුල් කාරීත්වයෙන් ඉදිරියටත් කටයුතු කිරිමට ලැබීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක, මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රාන්ෂ් මහතා දීර්ඝ කාලයක සිට මෙරට පවතින රජයන් සහ ජනතාව සමඟ ගෙනගිය හවුල්කාරිත්වය තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ද අඛණ්ඩව කටයුතු කරන බව පැවසීය. පසුගිය මැතිවරණය තුල ලබාදුන් විශාල ජනවරමත් සමග මෙරට මහජන අපේක්ෂාවන් ද ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බව ද නේවාසික සම්බන්ධීකාරකවරයා මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.
එමෙන්ම රට තුළ තිරසාර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන නව රජයේ මුලපිරීම සඳහා ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබා දෙන බවද නේවාසික සම්බන්ධීකාරකවරයා මෙහිදී පැවසීය.
වත්මන් රජය නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබීම තුළින් ඉදිරි කාලය තුළ දී මෙරට සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය වෙනසක් බලාපොරොත්තු වන බව ද, එම පරිවර්තනීය වෙනසේ දී දීර්ඝකාළීන මිතුරකු ලෙසින් ලබා දිය හැකි උපරිම සහය නිබඳව ලබාදෙන බව ද නේවාසික සම්බන්ධීකාරක, මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රාන්ෂ් මහතා අමාත්‍යවරයා හමුවේ මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.
