ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

Date:

ඉසුරු පරාක්‍රම

ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ඩිමොක්‍රටික් ප්‍රයිමරි මැතිවරණයේ දී ඩිමොක්‍රටික් පාක්ෂික සෝරාන් මම්දානි ගේ අතිවිශිෂ්ට ජයග්‍රහණය එරට දේශපාලන පිටිය පුරා පරම්පරාගත භූකම්පාවක් සනිටුහන්කළ බව පැවසිය යුතු ය. 

මන්ද යත්, එම ජයග්‍රහණය හුදෙක් දෙපිරිසක් අතර බෙදී ගිය ඡන්ද සංඛ්‍යාවේ වැඩි ඡන්ද සංඛ්‍යාව මත තීරණය වූ ජයග්‍රහණයක් නොව, එරට පවතින සාම්ප්‍රදායික ධනවාදී ව්‍යූහයන් නව ජෙන්සී පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කර දැමීම සංකේවත් කරයි. 

33 හැවිරිදි සෝරාන් මම්දානි, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පුද්ගලයකු ලෙස තරඟ වැදුණු අතර, එරට විශ්වීය ළමා ආරක්ෂණය, නොමිලේ පොදු ප්‍රවාහන සේවය, ධන කුවේරයන්ගෙන් බදු අයකර ගැනීම සහ අක්‍රමවත් වත්කම් රජය සතුකර ගැනීම වැනි කරුණු වෙනුවෙන් පෙනී සිටින්නෙකි. එවැනි ප්‍රගතිශීලී ප්‍රතිපත්ති, ඔහුට ඡන්දය ලබා දුන් බොහෝ තරුණ ඡන්දදායකයන්ගේ සිතුම් පැතුම් හා ගැළපුනු බව කියවේ. දරාගත නොහැකි ශිෂ්‍ය ණය, හිනිපෙත්තට නඟින කුලී අයකර ගැනීම්, සහ ඉහළ නොයන වැටුප් වැනි කරුණුවලින් පීඩා විඳින තරුණ ප්‍රජාව මම්දානි ට බොහෝ සෙයින් ප්‍රියකරන බව පැවසේ. 

මෙම තරුණ ඡන්දදායකයන් ප්‍රධාන ධාරාවේ, සල්ලිවලට විකිණෙන ජරාජීර්ණ දේශපාලනයට අභියෝගකොට නිර්භීත, ප්‍රජා-කේන්ද්‍රීය විකල්ප වෙත නැඹුරු වීමට සූදානම් බව මෙමඟින් සංඥා කරයි. 

සෝරාන් මම්දානි ගේ දේශපාලන දැක්මේ හරය වන්නේ සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, සහ අනෙකුත් ප්‍රගතිශීලී පරමාදර්ශයි. සියලු මිනිසුන් දෙවියන්ගේ දරුවන් නම්, ආදායම් බෙදී යාමේ දී ඒවා හි ප්‍රතිලාභ ද සියලු මිනිසුන් අතර සාධාරණ ලෙස බෙදී යා යුතු බව මම්දානි විශ්වාස කරයි. එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තන්ත්‍රයේ දැවැන්තයන්වන බර්නි සැන්ඩර්ස්, ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනි පුද්ගලයන්ගේ ප්‍රසාදයට පවා ලක්වන මම්දානි අත්‍යවශ්‍ය සේවාවන් හි පොදු අයිතිය සහ ධනය සාධාරණ ලෙස බෙදා හැරීම සඳහා පෙනී සිටින්නෙකි. 

ක්‍රමානුකූල ප්‍රතිසංස්කරණ ඇතිවනු වෙනුවට, මම්දානි යෝජනාකර සිටින්නේ ව්‍යූහාත්මක පරිවර්තනයක් ඇතිවිය යුතු බවයි. බස් රථ නිදහස් කිරීම, ඉඩම් හිමියන් අධීක්ෂණය කිරීම සහ කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශවල ආයෝජනය කිරීම වැනි කරුණු වෙනුවෙන් මම්දානි පෙනී සිටියි. බිම් මට්ටමේ ජීවත්වන මිලියන ගණනක පීඩිත ජනතාවගේ හෘද්‍යාංගම මූල්‍ය පරිත්‍යාග සහ සහයෝගය මත ගොඩනැඟී ඇති මම්දානි ගේ දේශපාලන ව්‍යාපාරය, ධනවාදී යැපීම කෙරේ ඔහු දක්වන විරෝධය සහ ධන කුවේරයන්ගේ බලපෑමට ඔහු දක්වන විරෝධය විද්‍යමාන කරයි.

සෝරාන් මම්දානිගේ ජයග්‍රහණය, එක්සත් ජනපදයේ මුල් බැසගත් ධනකුවේර සංස්කෘතිය සහ ආක්‍රමණශීලි ට්‍රම්ප්වාදී දේශපාලනයට ප්‍රභල කුලුගෙඩි පහරක් එල්ලකර ඇති බව නිරීක්ෂණයකළ හැකි ය. මම්දානි ගේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වන වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල ටෘත්සෝෂල් ගිණුමේ සඳහන්කර ඇත්තේ, මම්දානි යනු  “සියයට සියයක් ම කොමියුනිස්ට්වාදී පිස්සකු”  බවයි.

ට්‍රම්ප් ගේ ප්‍රතිචාරයෙන් හැඟවෙන්නේ අන් කවරක් නොව, එරට දක්ෂිණාංශික ප්‍රජාව පුරා ජනිත වී තිබෙන බිය යි. මන් ද, ආත්ම ශක්තියෙන් යුතු තරුණ පරම්පරාවක් විසින් මෙහෙයවනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයේ නව රැල්ලක් මත පැමිණෙන මම්දානි ගතානුගතික ඕතඩොක්ස්වාදී සහ ප්‍රභූ-කේන්ද්‍රීය පාලනයට සෘජු තර්ජනයක් එල්ලකරමින් සිටියි.  

මම්දානිගේ ආගමනයේ රසවත් ම කරුණ වන්නේ, ඔහු විසින් ඉදිරිපත්කළ මතවාදයන් ඔහු නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂයේ හර පද්ධතීන් සමඟ පවා ගැටීම යි. 

  • ගාසා අර්බුදයේ දී ඊශ්‍රායලයේ සමූල ඝාතන සෘජුව විවේචනයට ලක්කිරීම, 
  • ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නේතන්යාහු යනු යුධ අපරාධකරුවකු බවත්, ඔහු යම් හෙයිකින් නිව් යෝර්ක් නගරයට පැමිණියහොත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රකාශ කිරීම, 
  • උපතින් ගුජරාති මුස්ලිම් ජාතිකයකුවන තමාගේ ජාතිකත්වය තවදුරටත් සොයාගත නොහැකි තරමට ම ඉන්දියාවෙන් මුලිනුපුටා දැමීමට නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දියානු ජාතිකවාදී දේශපාලනය කටයුතුකළ බව පැවසීම, 
  • ආගමක්, ජාතියක් මත පදනම් ව රාජ්‍යයක් බලය පිහිටුවීම වැරදි අතර, ඒ අනුව යුදෙව් රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයට බලය පිහිටුවීමට අයිතියක් නොමැති බව පැවසීම 

වැනි කරුණු හමුවේ සෝරාන් මම්දානි විශ්වාසකරන රැඩිකල් දේශපාලන අදහස් ඩිමොක්‍රටික් පක්ෂයේ ගැඹුරු හර පද්ධතීන්වලට පවා ප්‍රභල පහරක් එල්ලකර තිබේ. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා හා එරට ජාතිකත්වයන් පිළිබඳව මම්දානි විසින් පැවසූ කරණුවලට ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මම්දානිගේ ප්‍රගතිශීලී උද්යෝගයට පුළුල් ආකර්ෂණයක් නොමැති බවට ඩිමොක්‍රටික් පාක්ෂික ඇන්ඩෘ කුවෝමෝ වැනි ඇතැමුන් චෝදනා කරන අතරවාරයේ, මම්දානිගේ ආධාරකරුවෝ ඔහුගේ අව්‍යාජභාවය සහ තරුණ ප්‍රජාව විසින් මෙහෙයවන ලද ශක්තිය ඔහු නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂය පුනර්ජීවනය කිරීමේ උපායමාර්ගයක් මාර්ගයක් බවට විශ්වාස කරති. 

වර්තමානයවන විට, එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් අඩකටත් වඩා අඩු සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ ක්‍රියාවන්ට සහාය දක්වන බව නිරීක්ෂණයකළ හැකි අතර, පලස්තීනු අරගලය වෙත වැඩි සහයෝගයක් දක්වන බවට සමීක්ෂණවලින් පෙන්වාදෙන බව සඳහන්. ඒ අනුව, මම්දානිගේ ස්ථාවරය වර්ධනය වෙමින් පවතින වාමාංශික අදහස් හා සෘජුවම අනුනාද වේ. ඊශ්‍රායලයට පක්ෂපාතී සහ ප්‍රධාන ධාරාවේ යුදෙව් කණ්ඩායම්වලින් එල්ලවන දැඩි විරෝධතා නොතකා ගමනක් යාමට සූදානම්බව සෝරාන් මම්දානි සිය ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටියි.  

මම්දානිගේ ජයග්‍රහණය සාම්ප්‍රදායික ගතානුගතික ආධිපත්‍යයේ අවසානය පෙන්නුම් කරන බව පැවසිය යුතු ය. නව ලිබරල්වාදය ප්‍රතික්ෂේප කරන, විදේශ ප්‍රතිපත්ති ඒකමතිකත්වයට අභියෝග කරන සහ අනන්‍යතාවය සහ සංක්‍රමණය නිර්දය ලෙස වැළඳ ගන්නා දේශපාලඥයකු ලෙස් සෝරාන් මම්දානි හඳුනාගත හැකි ය. ඔහු ජෙන්සී පරම්පරාවේ දේශපාලන විභවය හා අනුනාද වේ. පැරණි අච්චුවටම අනුගත වීම ප්‍රතික්ෂේප කරන ප්‍රගතිශීලී තරුණ ජනතාවගේ නැඟී එන රැල්ලක කොටසක් මම්දානි විසින් ඉටු කරමින් සිටින බව පැහැදිලි ය. ඔහුගේ ජයග්‍රහණය භූගෝලීය දේශපාලන පෙරළියක් ලෙස අවබෝධකර ගත යුතු ය. ධනවාදයේ ප්‍රභූ කවයන් පසෙකට අතුගා දැමූ නව පරම්පරාවක ආගමනය සිදුවීම, සමාජවාදය වැළඳ ගැනීම, දෙපැත්තට මාරුවන උදාසීන දේශපාලන සංස්කෘතියට අභියෝගයක් සහ විදේශීය සහ අනන්‍යතා දේශපාලනය පිළිබඳ අභීත ප්‍රතිසංස්කරණ ඇතිවීම ඔහු යටතේ සිදුවනු ඇත.

මම්දානි නිව් යෝර්ක් නගරයේ නගරාධිපති වූවත් නැතත්, ඔහුගේ ආගමනය තරුණ ජවයේ විප්ලවය සනිටුහන් කරනු ඇත. ඇතැම්විට, එය ගතානුගතික ආධිපත්‍යයේ හිරු බැස යෑම ද විය හැකි ය.

මූලාශ්‍ර:

https://www.theguardian.com/us-news/2025/jun/26/zohran-mamdani-mayoral-race-gaza
https://www.indiatimes.com/trending/zohran-mamdani-set-to-be-nyc-mayor-donald-trump-labels-him-communist-lunatic-ishaan-tharoor-questions-muslim-identity-662172.html
https://www.opindia.com/2025/05/us-lawmakers-indian-leaders-slam-zohran-mamdani-for-anti-modi-hate-in-nyc-race/
https://thecurrent.pk/nyc-mayoral-candidate-calls-narendra-modi-war-criminal
https://thecommunemag.com/hinduphobe-nyc-mayoral-candidate-zohran-mamdani-calls-pm-modi-a-war-criminal-claims-no-gujarati-muslims-left/
https://apnews.com/article/zohran-mamdani-mayor-south-asian-muslim-hindu-b2f281bb8d31897c03d079ec9d3c7bfd
https://timesofindia.indiatimes.com/world/us/mira-nairs-son-zohran-mamdani-slammed-for-his-statement-against-narendra-modi-critics-say-no-place-for-hindu-hate/articleshow/121420772.cms

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...