ජනිත්ගේ උත්සාහය ටන්වීර් පළුඳු කරයි

0
325

නිශ්මං රණසිංහ ජූලි 06, කොළඹ LNW:

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය ලකුණු 16 න් ජය ගන්නට බංගලාදේශය සමත් විය.ශ්‍රී ලංකාව ජයග්‍රහණය ආසන්නයටම කැඳවා ගෙන එමින් ජනිත් ලියනගේ හුදකලා සටනක නිරත වුණත් බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටන්වීර් ඉස්ලාම් ලකණු 39 ට කඩුලු 5 ක් දවා ගනිමින් පෑ දස්කමට අවසානයේ ජයග්‍රහණය ලබා දෙන්නට සිඳු විය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බංගලාදේශය පන්දුවාර 45.5 දී සියල්ල දැවී ලකුණු 248 ක් රැස් කර ගන්නට සමත් විය.අසිත ප්‍රනාන්දු ඔවුන්ට එරෙහි විශාලම බාධාව ඇති කළේ ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගනිමින්ය.


ප්‍රවීස් හොසේන් එමොන් ශ්‍රී ලංකාවට එරෙහිව නැඟුණු දරුනුම ප්‍රහාරය එල්ල කළේය.හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් සමඟ ඔහු පන්දු 69 දී ලකුණු 67 ක් රැස් කර ගන්නට සමත් විය.අනතුරුව කඩා වැටෙන්නට ගිය බංගලාදේශ ඉණිම වෙනුවෙන් නැඟී සිටි ටව්හිඩ් හිඩ්‍රෝයි ලකුණු 51 ක් ලබා ගන්නට සමත් විය.ඔහුගේ දුවද්දි දැවී යාමේ වගකීම පැවරුණු ටන්සීම් හසන් සකීබ් අවසන් මොහොතේදී ප්‍රවේගකාරී ඉණිමක් දියත් කරමින් පන්දු 21 දී නොදැවී රැස් කළ ලකුණු 33 බංගලාදේශ ජයග්‍රහණය සඳහා බල පෑ සුවිශේෂීම ඉණිම විය.හ්‍රිඩොයි ලකුණු 212 දී දැවී යාමෙන් පසුව බංගලාදේශ ඉණිමට එකතු වූ ලකුණු 36 න් ලකුණු 33 ක් ම ටන්සීම් හසන් සකීබ් ගේ විය.


පළමු තරගයේදී අති සාර්ථක වූ වනිඳු හසරංග දෙවන එක්දින තරගයේදී ද කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුව ද,ඔහුගෙන් ලකුණු 60 ක් පන්දු ඕවර් 9.5 දී උඳුරා ගන්නට බංගලාදේශය සමත් විය.
පිළිතුරු ඉණිමේදී පැතුම් නිශ්ශංක යළිත් අසාර්ථක විය.එහෙත් කුසල් මෙණ්ඩිස් ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලෙමින් පන්දු 31 දී දී ලකුණු 56 ක් රැස් කරන්නට සමත් විය.ඔහු සහ නිශාන් මධුෂ්ක (17) එක්ව දෙවන කඩුල්ලට ලකුණු 69 ක සබඳතාවයක් ද පැවත්වීය.එම කඩුලු දෙකම සිය කඩුලු පැසට දමා ගනිමින් ටන්වීර් ඉස්ලාම් ඇරඹූ කඩුලු දඩයම මැද ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම පහසු නොවීය.


ඉස්ලාම් මූලික කර ගනිමින් විශේෂයෙන් බංගලාදේශ දඟ පන්දු යවන්නන් ඇති කළ පීඩනය මැද සාර්ථකත්වය සහ කණ්ඩායමේ ජයග්‍රහණය සොයා යමින් ජනිත් ලියනගේ දියත් කළ ඉණිම සුවිශේෂි එකක් විය.ඔහුට සහය වෙනුවෙන් සිය කඩුල්ල රැක ගැනීමට හැකියාව ඇති අයෙකු නොවුණෙන් ලියනගේ ට දැණුන පීඩනය වැඩි විය.ඒ නිසා නවවන කඩුල්ල ලෙස ඔහු පිටියෙන් ඉවත්වන විට ලකුනු පූවරුව 228 ක් පමණක් විය.
“ප්‍රේමදාස තණතීරුව පසුවට වෙනස් වන බව අප දැන සිටියා.ඒත් එය පරාජය වෙනුවෙන් කිව හැකි නිදහසට කරුණක් නොවෙයි.අපේ පිතිකරුවන් මේ වගකීම ගත යුතුයි“


ලියනගේ තරගය අවසානයේ පැවසී ය.පිතිකරුවන් මෙන්ම හ්‍රිඩෝයි දැවී යාමෙන් පසුව සරලව තරගය ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද යම් කිසි ප්‍රමාණයකින් අවසාන මොහොතේ ටන්සීම් හසන් එල්ල කළ ප්‍රහාරයේ වගකීම භාර ගත යුතුය.එය පාලනය කර ගැනීමට හැකි වූයේ නම් බංගලාදේශ ඉණිම ලකුණු 225 ට අඩුවෙන් තබා ගන්නට තිබිණ.
කෙසේ වුව ද මේ පරාජය නිසා පල්ලෙකැලේ තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇත.දැන් තරගාවලිය 1-1 ක් ලෙස සමානය.තරග පහක් එක දිගට ජය ගැනීමෙන් ඉනික්බිතිව පරාජය වැළඳ ගත් ශ්‍රී ලංකාව නැවත ජයග්‍රහණයට පිවිස තරගාවලිය ජය ගැනීමට උත්සාහ කරනු ඇත.තරග හයකට පසුව ජයග්‍රහණයක් භුක්ති විඳින්නට ලැබුණු බංගලාදේශ කණ්ඩායම ද,පල්ලෙකැලේ තරගය ජයග්‍රාහී තරගාවලියක් කරන්නට හැකි සෑම උත්සාහයක්ම දරණු ඇත.පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවය.
https://bit.ly/4lfn4Zd