ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා පසුගිය සතියේ විශ්‍රාම ගියේය.
සිය අවසන් රාජකාරි දිනයේදී විනිසුරු තීන්දු ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අගවිනිසුරුවරයාගේ සහ අනෙකුත් විනිසුරුවරුන්ගේ අවසරය ඇතිව අධිකරණය අමතමින් ඒ මහතා ප්‍රකාශයක් ද සිදුකළේය.
එහිදී විනිසුරු ගාමිණී අමරසේකර මහතා සඳහන් කර තිබුණේ නිවැරදි විශ්වාසයන් ඇති විනිසුරුවරයකුට අධිකරණයේ ස්වාධීනත්වයට පිටතින් එල්ල වන තර්ජනවලට එරෙහිව නැගී සිටිය හැකි අතර, නීතිඥයන් සහ විනිසුරුවරුන් එක්රැස් වීමෙන් එවැනි බාහිර තර්ජන පහසුවෙන් පරාජය කළ හැකි වුවද, ඇතුළතින් එල්ල වන තර්ජන වඩාත් දුෂ්කර බවයි.
තමන් අධිකරණයට සම්බන්ධ වූයේ 88 – 89 කැරලි සමයේදී බවත් තමන්ට මුල්ම පත්වීම ලැබුණේ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බවත් ඒ මහතා සිහිපත් කළේය.
“වලස්මුල්ලේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා, මට නීතිඥ මණ්ඩලයේ සම්පූර්ණ සහයෝගයක් තිබුණා, බොහෝ ස්ථානවල, එදිනෙදා ගැටළු විසඳීම සඳහා නීතිඥ මණ්ඩල රැස්වීම් පැවැත්වුවා. අන් අය සමඟ මගේ සම්බන්ධතාවයේ මානුෂීය ස්පර්ශයක් පවත්වා ගැනීමට මට හැකියාවක් ලබා දීම ගැන මම සර්වබලධාරී දෙවියන්ට ස්තූති කළ යුතුයි”
තමන් අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් ඇති අයෙකු බව පැවසූ ඒ මහතා තම අධිකරණ ජීවිතයේ ආරම්භක වසරවලදී තමාට මඟ පෙන්වූ විනිසුරු සෝසා විසින් තමාට පැවසූ කලීෆ්වරයකු සේවයෙන් ඉවත් කිරීම ගැන කතාවක් ද එහිදී සිහිපත් කළේය.
“තරඟකාරී සමාජයක, කලීෆ්වරයකු ඉදිරියේ තම ස්වාධීනත්වය පාවා දෙන හෝ ඔවුන්ගේ පෞද්ගලික ප්‍රතිලාභ සඳහා ඔවුන් පසුපස යන විනිසුරුවරුන්ගේ මෙම ප්‍රවණතාව අපි නතර කරන්නේ කෙසේද? එය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මගේ සිහිනයට තර්ජනයක් බව මට හැඟෙනවා”
තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා,
“නීතිඥයන් කතා නොකරන්නේ ඒ ඔවුන්ගේ විනිසුරුවරයා නිසා විය හැකියි. විනිසුරුවරුන් කතා නොකරන්නේ එය ඔවුන්ගේ පෞරුෂයට බලපාන නිසා විය හැකියි. අවසානයේ දුක් විඳින්නේ කවුද? මම මෙය කියන්නේ මම විනිසුරුවරයකු වීම ගැන ආඩම්බර වූ නිසා නමුත් අධිකරණ සේවා කොමිසමේ සහ මෑත අතීතයේ මගේ අත්දැකීම් එම හැඟීම තරමක් බිඳ දැමූ නිසයි. එවැනි තර්ජන ජය ගැනීම අප සැමගේ යුතුකමයි” යනුවෙන් ද සඳහන් කළේය.
රටක යහපැවැත්මට අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යාවශ්‍යම සාධකයකි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා විශ්‍රාම ගැනීමේදී පැවසූ මේ කරුණු සියල්ලන්ගේම අවධානයට ලක්විය යුතු බව අපේ හැඟීමයි.
