ඇමරිකන් තීරු බද්ද අඩුකරගන්න අදත් සාකච්ජාවක්!

0
355
Screenshot

කොළඹ LNW:මෙරට අපනයන සඳහා ඇමරිකාව විසින් පනවා තිබෙන 30%ක තීරු බදු ප්‍රතිශතය තවදුරටත් අඩුකරගැනීම වෙනුවෙන් අද (18) දිනයේදීද ඇමරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් අතර මාර්ගගත ක්‍රමයට සාකච්ජාවක් පැවැත්වෙන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සාකච්ජාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම සහභාගී වීමට නියමිතයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 3 වැනිදා එරටට ආනයනය කරන භාණ්ඩ මත විශ්වීය තීරු බද්දක් අයකිරීමට තීරණය කර තිබුණු අතර එහිදී මුල් අදියරේ ශ්‍රී ලංකාවට 44%ක තීරු බද්දක් පනවා තිබුණි.

ඇමරිකාවේ මෙම නව තීරු බදු ප්‍රතිපත්තියට ලොව පුර විරෝධය එල්ල වූ අතර එම පසුබිම මත මෙම බදු ප්‍රමාණය අවම කර ගැනීම වෙනුවෙන් ඇමරිකානු
වෙළෙඳ නියෝජිත ආයතනය සමඟ ශ්‍රී ලංකාව සාකච්ජා ආරම්භ කරන ලද අතර එම සකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය 12 වනිදා එම බද්ද 30%ක් දක්වා අඩුකිරීමට ඇමරිකාව තීරණය කරන ලදී.

මෙය අතරමැදි එකඟතාවක් වන අතර මෙම තීරු බදු ක්‍රියාත්මක වන්නේ එළඹෙන අගෝස්තු 01 වැනිදා සිට නිසා අවසන් එකඟතාවට පැමිණීමට ඉදිරි කාලයද යොදාගන්නා බවට මෙරට රජය ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව අඛණ්ඩව එම සාකච්ජා සිදුවන බවත් කොන්දේසියකට යටත් නොවී ද්විපාර්ශ්වික සාකච්ජා මත එකඟතාවන්ට පැමිණ ඇමරිකානු තීරු බදු ප්‍රතිශතය අවම කර ගැනීමට රජය මැදිහත්ව සිටින බව ඊයේ (17) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

රජය බලාපොරොත්තු වන්නේ යහපත් වෙළෙඳ සබඳතා ගිවිසුමකට පැමිණීම බවයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ