මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW:

මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ නිලවරණය කල් දමා ඇත.බොහෝ දෙනා කේෂ්ත්‍රයට අදාළව කතා කරමින් කීවේ අලුත් හුස්මක් ගන්න ඉඩ ලැබෙනු ඇති බව කියාය.ඒත් අලුත් මුහුණක් අලුත් අදහසක් ඇති වෙනස්ම කෙනෙක් එය වෙනස් කරන්නට එන බවක් දකින්නට නොලැබිණ.
මේ සිඳුවීමට පෙරම මේ නිලවරණයට ඉදිරිපත් වී කුමන හෝ තනතුරකට රිංගීමේ අපේක්ෂාවෙන් සිට එය මඟ හැරුණු පිරිස් තැන තැන කියමින් ඇවිද්දේ නිලවරණය නවතනු ඇති බව හෝ පත්වන අතුරු කමිටුවේ මුල් පුටුව තමන්ට හිමිවන බවය.ඒ කොටස ද සිඳුවිය හැකිය.ක්‍රීඩාවේ හතර කොණ කෙතරම් දුරට දන්නේද කියන කාරණය ගැන සොයා බැලීම වෙනුවට ක්‍රීඩා අමාත්‍යවරයා බොහෝ විට තමන් දන්නා ටික සියල්ල ලෙස ගැනිමේ පිළිවෙත මෙයට හේතුවය.


ක්‍රීඩා පණත වෙනස් කිරීමේදී ඔහු සිය වෘත්තියද ඇතුළත් වන ලෙස ක්‍රීඩා සංගමයක මුල් පුටුව දරන්නට සුදුසුකම් ඇති අයෙකු බවට තමන්ගේ වෘත්තීය තත්ත්වය උසස් කර ගත්තේය.එහෙම දේවල් උන්නැහෙට තදින්ම ඇත.තමන් ගොඩක් ඉහළින් තබා කටයුතු කරන අයට වැඩේ පහසුය.ඔහු දන්නා තරම් තමන් නොදන්නා බව පෙන්නීමෙන් අමාත්‍යවරයා අසීමිත ලෙස ප්‍රතීයට පත් කළ හැකිය.මාධ්‍යයක ඔහු අසමත් බව කී අයෙකු තමා සමත්වන තුරුම නැවත අමාත්‍යංශයේ කරන කිසිම වැඩ සටහනකට නොගෙන්වන බව ඔහු මාධ්‍යවේදීන් ඉදිරියේම කීවේය.මේ තත්ත්වය තව දුරටත් පැවතුණහොත් ඔහු කිසිම මාධ්‍යවේදියෙකු අමාත්‍යංශයට නොකැඳවනු ඇත.සමත් යැයි කිව හැකි වැඩක් නොවන විටත් ඇමතිතුමා මරු කියා කියන්නට හැකි අය පමණක් අමාත්‍යංශයට යනු එනු ඇත.


ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා ඇමතිකම පටන්ගන්නා තැන සිට ක්‍රීඩාව ගැන දන්නේය.ක්‍රීඩාවේ නොපනත්කම් සහ එහි ක්‍රියාදාමයන් සම්බන්ධ විවේචන කළ මාධ්‍යය ඔහු තමන් ආර්ථික කොළම ලියූ ලංකා පත්තරේවත් ක්‍රිඩා පිටුව නොබලන කාලේ ක්‍රීඩාවේ වෙනස්කම් අපේක්ෂාවෙන් ලියූ කියූ සටන් කළ අයය.අඩුම ගණනේ බලාපොරොත්තු වූ සංශෝධන සහ යෝජනා ලංකා පිටුවලින් කියවා ගත්ත ද අදහසක් ගන්නට ඉඩ ඇත.
ජාත්‍යන්තර බලපෑම් යනු ව්‍යවස්ථාවන් පවා වෙනස් කර ඊට යටත්වීම නොවේය.අමාත්‍යවරයා රගර් වැනි ක්‍රීඩාවකදී ආශිර්වාද කළේ ඒ වෙනුවෙන්ය.තිබුණු ව්‍යවස්ථාවෙන් බලය පැවරුණු කණ්ඩායමට නිලවරණයක් තබා ජාත්‍යන්තර සංග්ම සමඟ සාකච්ඡා කරන්නට ඉඩ නොතබා අමාත්‍යවරයාගේ ආශිර්වාදය හිමි වූයේ ඔහු පාර්ලිමේන්තුවේ අපහාසයට ලක්කළ නාමල් රාජපක්ෂලා වෙනුවෙන් රගර් හැසිර වූ රගර් අරමුදල් හිස් කළ පිරිසට අවශ්‍යය විදිහට ව්‍යවස්ථාව සකසා දීමය.සමහර විට මේ කාරණයේ අවසාන ඉම අයිඕසී විය හැකිය.ව්‍යස්ථාවෙන් බලය පැවරුනු පිරිසක් නොසළකා හැර තාවකාලිකව කළ හැකි පවරා ගැනීමකින් ඉනික්බිතිව එම බලය යොදා ගෙන ව්‍යවස්ථාව වෙනස් කිරීම යනු යම් සාපරාධීබවක් යන්න අපේ හැඟීමය.


මලල ක්‍රීඩාව වෙනුවෙන් සිඳුවෙමින් පවතින්නේ එහි දිගුවක්ම විය හැකිය.අමාත්‍යවරයා යටතේ තිබෙන තරුණ කටයුතු අමාත්‍යංශයට අයත් යෞවන සමාජ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වයම ක්‍රීඩාව සම්බන්ධයෙන්ද ඇති විය හැකිය.මිය ගිය පසු රන් ආලේපිත පිළිම හදන්නට යාමේ දේශපාලන සංස්කෘතියෙන් ක්‍රීඩාව මුදවා ඒවා සජීවීව පවත්වාගෙන යාම වැදගත්ය. මලල ක්‍රීඩා නිලවරණය පැවත්වීම හැකිලීම සුබදායි පුවතක් නොවේය.අමාත්‍යවරයාගේ බලතල යොදා අතුරු කමිටුවක් හෝ ඒ වැඩේට වෙනත් නමකින් කණ්ඩායමක් පත්කිරිම හෝ මලල ක්‍රීඩාවේ පැවත්ම සම්බන්ධයෙන් වන විසඳුමක් නොවේය.


ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් වන ගැටළු නිවැරදිව කියවා ගත්තේද යන්න අපි නොදන්නෙමු.ඔහු පත් වූ දා සිට ක්‍රීඩාව කියවා ගැනීම සහ එය සමස්ත ක්‍රීඩාව ලෙස අර්ථකතනය කර ගැනීම තුළ තරුශි කරුණාරත්න සම්බන්ධයෙන් වූ ඔලිම්පික් නියෝජනයේ ගැටළු සහ රුමේෂ් තරංග සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොතිබි නිසා ඔලිම්පික් අහිමිවීම වැනි කතාවන් අමාත්‍යවරයාට අදාළ නොවනවා විය හැකිය.
එහෙත් මෑත කාලයේ අමාත්‍යවරයා ඉදිරියේ දිග හැරුණු කතාවක් පමණක් ගත් විට හර්ශ කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන් කපා හැරිම උදාහරණයකට ගත හැකිය.ඊට හේතුවක් වූයේ තවත් තේරීම් තරගයක් නොපැවත්විමය.තේරීම් තරගයක් පැවත්වීමට යන වියදම දරාගන්නට ඊට අනුග්‍රහයක් සොයා ගන්නට මලල ක්‍රීඩා සංගමයට නොහැකි දුප්පත්කම එය නොපැවත්වීමේ හේතුව ලෙස පෙරට ආවේය.හර්ශ මෑතකදි ඔහු කවුද කියා ඔප්පු කර පෙන්වා එම තර්කය බිඳ දැම්මත් ඒ අහිමි කළ අවස්ථාව ඔහුට නොලැබෙන්නේය.එහි තව කොණක තවත් අවස්ථා දිය හැකිය එහෙත් ඒ සඳහා අමාත්‍යංශයට මුදල් නැත යන්නද මතු වී තිබිණ.


වසර ගණනාවක සිට අප මතු කරන තර්කයනම් ක්‍රීඩා නිලවරණවලට පෙර එම නිලවරණය සඳහා ඉදිරිපත්වන කණ්ඩායම් ඔවුන් පාලනය කරන ඉදිරි වසර කිහිපයට අවශ්‍යය මූල්‍යමය පහසුකම් සපයා ගන්නේ කෙසේද කියා සැළසුමක් ඉදිරිපත් කළ යුතු බවය.ක්‍රීඩා අමාත්‍යංශය ඒ ගැන උනන්දු නොවන්නේ එවැනි ස්වාධීන මූල්‍යමය ශක්තියක් තිබීමෙන් තමන්ට එම සංගම්වල පාලනයට බලපෑමක් කළ හැකි ඉඩ අඩුවීමය.
සරලව සිතා බලන විට මේ මෑතකදී ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට විදේශීය ක්‍රීඩකයින් විශාල පිරිසක් එන මොහොතක සුගතදාස ක්‍රීඩාංගණය රටට පොදුවේ ලැබෙන ඩොලර් ආදායම ආදිය නොසළකා විදේශිකයන් ක්‍රිඩා කරන නිසා වැඩියෙන් ගෙවන්න කීමය.බැඩිමින්ටක් සංගමය සහනයක් ඉල්ලූ වීට ලැබුණ පිළිතුර එය විය.සෑම ක්‍රීඩාවකම පරිපාලනයට එසේ සළකා නැති බව ඒ පාළකයන්ගේම සටහන්වලින් පැහැදිළිය.


ලංකාවේ ක්‍රීඩාවන් සම්බන්ධ පුද්ගල සහ අමාත්‍යංශ මට්ටමෙන් සම්බන්ධ පුද්ගලයන්ගේ තත්ත්වය පිළිබඳව සුළු අනන්‍යතාවයක් මේ සිඳුවිම සමඟ යා කර මතු කර ගන්නට හැකිය.බැඩිමින්ටන් ව්‍යාපෘති නිලධාරි ලෙස සිට විශ්‍රාම ගිය කමල් ගම්ලත් අද ජාතික තේරීම් කමිටු සාමාජිකයෙකි.ඔහු සම්බන්ධ ක්‍රිඩාව බැඩ්මින්ටන්ය.ඔහු බැඩ්මින්ටන්වලට සුගතදාසය සැළකූ හැටිය එම පත්වීම භාර ගනිද්දී වැදගත් වූයේ නැත.එම ව්‍යහුය තුළට ඇතුළුවන්නට ඔහුට එය හේතුවක් ද නොවන්නේය.එසේම අමාත්‍යංශයේ ආයතනයක් විසින් ඒ ආකාරයට සළකන ක්‍රීඩාවක සිටින කෙනෙක් අමාත්‍යවරයාට වගකියන තනතුරකට ගෙන එන්නට යොදා ගැනීම ද අමාත්‍යංශ පැත්තෙන් ප්‍රශ්නයක් වී නැත.මේ දෙමුහුම් තත්ත්වය ලංකාවේ ක්‍රීඩාව පරිපාලනයේ සාමාන්‍ය ස්වභාවය ය.


ඒ නිසා මේ මලල ක්‍රීඩා පරිපාලනය සම්බන්ධ නිලවරණය එද්දී මිනිසුන්ගේ දෙමුහුම් බවත් පෙනෙන්නට පටන් ගෙන ඇත.පැවති පරිපාලනය සම්බන්ධ විවේචනය කරමින් ඊට දමා ගසමින් සිටි අවි වෙනත් ආකාරයකට එම පාලනය ආරක්ෂා කරන පළිහ ලෙස නැඟෙමින් ඇත.මේ තත්වය මත පවතින පරිපාලනයට යටත් කළ නොහැකි යම් ආකාරයකින් පවතින පාලනයද තමන්ගේ උවමනාවන් වෙනුවෙන් යටත් කරගත් සුනිල් ගුණවර්ධන පෙරට පැමිණීම ගැටළුවක් කර ගත් පිරිස් ඇත.සමහර අමාත්‍යතුමාගේ ප්‍රභූ රැකියා පිනවීමේ ආශිර්වාදයෙන් තනතුරකට ඒමට උත්සාහ කරන පිරිස් සුනිල් ගුණවර්ධනගේ සාලයේ වැටී තනතුරක් ඉල්ලුවද එය නොලැබීම ගැන විස්සෝපය මේ වන විට අමාත්‍යවරයාගේ කණ හැපීමේ ව්‍යාපෘතියක් දක්වා පත් කර ගෙන ඇත.


සුනිල් ගුණවර්ධන පිටුපසම සුනිල් ජයවීර ද සිටිම නිසා සුනිල්ලා එන්පීපී දේශපාලනයෙන් බැහැර පුද්ගලයන් වීම පරිපාලනය සඳහා වන සුදුසුකම් සළකා බැලීමේදී කෝම් පිට්ටුවක් තරම්වත් නොවිය යුතු කාරණා වුව ද,කණ හැපිමේ බලඇණිවලට එය සීගිරි පර්වාතය තරම් උස කර පෙන්විය හැකිය.ක්‍රීඩා ගුරුවරයා සහ ක්‍රීඩා පුහුණුකරුවා යන සංකල්ප දෙකම පාසල් පද්ධතියට මැවූ සුනිල් ජයවීර සහ සුනිල් ගුණවර්ධන යන දෙදෙනාම සම්බන්ධ ඉතිහාසය ඇරෙන්නට මතකය තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලවල් පැමිණි කාලයක් නැත.එසේම අනුග්‍රහයන් ලැබුණු කාලයන්ද නැත.


එහෙත් මේ සුනිල්ලා යනු අති පාරිශුද්ධ චරිතනම් නොවේය.ඒවායේ කඩතොළු කළු ගැන් වූ තැන් නැත්තේ නොවේය.එහෙත් ක්‍රීඩා අමාත්‍යංශයට ද,මලල ක්‍රීඩා පරිපාලනයට ද වැඩ කරන්නට මුදල් හිඟයක් පවතින වපසරියක සුනිල්ලා මුදල් සොයා ගැනිමේ හැකියාවෙන් යුක්ත වීම මෙන්ම තරුණ කොටස් ඔවුන් සමඟ සිටීම කියන කාරණය මත නිලවරණයෙන් ඔවුන් බලයට එනු ඇතැයි අපේක්ෂා කර අකුල් හෙළීමනම් පලක් නැත.
ත්‍රිවිධ හමුදාවන් මත යැපෙන මලල ක්‍රීඩාව නිසා ක්‍රීඩාවේ අරගලය සිදී ඇත.බිදී ඇත.හෘද සාක්ෂියට දැනෙන දෙයක් සම්බන්ධයෙන් වචනයක් කීමට ප්‍රථම බොහෝ දේ සිතිය යුතුව ඇත.අරගලය අවස්ථවේ මලල ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පිරිසකට එය නියේජනය කරන්නට අවශ්‍යය වුව ද ඒ වෙනුවෙන් සහභාගි වෙන්නට නොහැකිව අසරණ වූ බව අපි අත්වින්දෙමු.සුගත් තිලකරත්න සමඟ ටොරිංටනයේ සිටගත් සුළු පිරිසට එකතු වූ අයෙකු ලෙස මේ ගැන සුගත් ද දන්නා බව මේ ලියුම්කරු හොඳින්ම දන්නේය.


සුනිල් යුගලයේ පාලනය තුළ සුසන්තිකා සීමිත කාලයක් හැරෙන්නට සුගත්,ශ්‍රියාණි මෙන්ම දර්ශාට ද වෙනත් රැකියා අවස්ථාවන් සඳහා ඉඩ කඩ විවර විණ.එයින් හමුදාව නොසළකා හරිය යුතුය කියන තැන නැත.ඔවුන් මේ කාලය තුළ මලල ක්‍රීඩාව රැක දීමේ මුර දෙවිවරු මෙන් කටයුතු කළ බව ද පිළිගන්නෙමු.එහෙත් එසේ අකමැති අයට ද එයම තෝරා ගන්නට වීම වෙනුවට විකල්ප සොයා ගැනිමට හැකි පරිපාලනයක් අවශ්‍යය වන්නේය.


මලල ක්‍රීඩා නිලවරණය කල් දැමීම සඳහා ක්‍රීඩාව ගැන අවධානයේන් පසු වූවානම් සහ සිහිබුද්ධියෙන් සිටියානම් මේ මොහොතේ එය කල් දැමීම සදහා ආශිර්වාද කරන්නේ නැත.එය දේශපාලන උවමනාව සම්බන්ධ තීරණයක්නම් අමාත්‍යවරයාට කිව යුත්තේ ඔබ වඩාත් ගැඹුරින් සිතය යුතු වන්නේ කණේ හපපින් ඔබන විෂ නොවේය.ක්‍රීඩාවට ජයගත හැකි වැඩ පිළිවෙලක් ගෙන ආ හැකි කෙනාගේ උර මත ඇමති ආශිර්වාදය තබා තමන්ගේ දේශපාලනය සංතර්පනය කර ගැනීමය.එහිදී වැදගත් වන්නේ තමන්ගේ දේශපාලන නියෝජිතයා තනතුර මත හිඳුවා තැබීම නොවේයජයග්‍රහණ ගෙන ආ හැකි කෙනා හිඳුවා තැබීමය.එය දේශපාලනික වැඩක්ය.අමාත්‍යවරයා එයවත් ක්‍රීඩාවවත් නොසළකා නොදන්නාකමට ද මන්දා රගර්වලට කළ ආකාරයට මලල ක්‍රීඩාවට ද කරන්න යන්නේ නැට්ට ගැන නොසිතා,නොබලා කූඤ්ඤය ගලවන්න යාමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...