පරීක්ෂා නොකර වරායෙන් බහාලුම් නිදහස් කිරීමට කටයුතු කළේ වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් බවත් පසුව ඔවුන් ඒවායේ වගකීම රාජපක්ෂවරුන් පිට පැටවීමට උත්සාහ කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“දැන් මේ කන්ටේනර් දෙකක් ගැන කියනවා. කොක්කු දෙන්නෙක් කන්ටේනරේ උස්සන් ගිහිල්ලා මිද්දෙනියට දැම්මෙ නෑනෙ ? මේ කන්ටේනර් වරායෙන් ආවෙ. වරායෙන් එනකොට පෝට් කන්ට්‍රෝලින් යුනිට් එකෙන් මේක නවත්වනවා. නවත්වලා මේක චෙක් කරනවා. ඒ වගේම තමයි විදේශ බුද්ධි අංශවලින් වාර්තා ලැබුණා කියලා පුවත්පත්වල සඳහන් වෙනවා. වෙන කාගෙවත් ඒවායෙ නෙවෙයි, මේ ආණ්ඩුවේ පත්තරේ, දිනමිණ පත්තරේ. මේක මම සභාගත කරනවා. දිනමිණ පත්තරේ ලිපියක පැහැදිලිවම සඳහන් වෙනවා මේ බුද්ධි අංශය ඉන්දියාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන එකක් බවත් මීට පෙර ද එම බුද්ධි අංශය විසින් සාර්ථක තොරතුරු මෙරටට දී ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය කියලා. මේ බුද්ධි තොරතුර එම ඒජන්සිය විසින් දී ඇතැයි පැවසෙන්නේ ඉකුත් වසරේ අග හෝ මේ වසරේ මුලදී ය. ඒ වනවිටත් එම කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කර තිබී නැත. මේ ගැන පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ද සහාය ඇතිව වහාම ක්‍රියාත්මක වී රේගු භාරයේ තිබූ එම කන්ටේනර් දැඩි පරීක්ෂාවකට ලක්කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. මේ ආණ්ඩුවේ පත්තරේ කියන්නෙ. පරීක්ෂණෙත් කරලා, කන්ටේනර් ගෙදරත් ගිහිල්ලා. කොහොමද ගියේ ? දැන් ඒකත් රාජපක්ෂලාද ? එහෙම නම් ඉතින් වැඩක් නෑනෙ ආණ්ඩුවෙන් ? මේ කියන විදියට මුළු වරායත් කන්ට්‍රෝල් කරන්නෙ රාජපක්ෂලා නම්, රේගුව කන්ට්‍රෝල් කරන්නෙත් රාජපක්ෂලා නම්, පොලීසිය කන්ට්‍රෝල් කරන්නෙත් රාජපක්ෂලා නම්, සංවිධානාත්මක අපරාධකරුවො කන්ට්‍රීල් කරන්නෙත් රාජපක්ෂලා නම්, ඉතින් ඔබ තමුන්නාන්සෙලාගෙ ආණ්ඩුව වැඩක් තියෙනවාද ? වැඩක් තියෙනවාද ?
ඔබ පැහැදිලිවම මේ වරායෙන් කන්ටේනර් පැන්නුවා. වරාය භාර නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශයක් දීලා තියෙනවා මාධ්‍යයට මේ ගියපු කන්ටේනර්වල සම්පූර්න වගකීම එයා භාරගන්නවා කියලා. මාධ්‍යවේදියා අහනවා. ගේට්ටුවට උපදෙස් දුන්නා කියලා කියනවා. මාධ්‍යවේදියා අහනවා මේවායෙ මත්ද්‍රව්‍ය තිබ්බොත් මොකද වෙන්නෙ කියලා. අමාත්‍යවරයා කියනවා අපි මේකෙ වගකීම බාරගන්නවා කියලා. දැන දැන කන්ටේනර් ටික එළියට දැම්මෙ. අර කන්ටේනර් තුන්සීය ගාණ පමණක් නෙවෙයි, දිගින් දිගටම මේ වැඩේ සිද්ධ වුණා. ජාත්‍යන්තර බුද්ධි ඒකකවලින් කියලා තියෙද්දීත් පොලීසිය ක්‍රියාත්මක වුණේ නෑ මේක අල්ලන්න. ඒ විතරක් නෙවෙයි අගෝස්තු මාසෙදීත් බුද්ධි අංශ දැනුම් දීලා තියෙනවා මේ ගැන හොයලා බලන්න කියලා. ඔබතුමාලා ඒකට ක්‍රියාත්මක වුණේ නෑ. ඔබතුමාලා ක්‍රියාත්මක වෙන්නෙ නැතිව පසුකාලීනව මේකට අපට චෝදනා කරලා වැඩක් වෙන්නෙ නෑ. යම්කිසි කෙනෙක් මේකෙ වැරදිකරුවෙක් ඉන්නවා නම් දේශපාලන තරාතිරම අදාළ වෙන්නෙ නෑ, ඔහුට දඬුවම් දෙන්න ඕනෙ. හැබැයි ඒ කරන පරීක්ෂණ අපක්ෂපාතී වෙන්න ඕනෙ. සාධාරණ වෙන්න ඕනෙ. ඒ වගේම ආණ්ඩුවේ ඩීල් එක අපෙ ඇඟේ ගහන්න ලෑස්ති වෙන්නත් එපා. කන්ටේනර් පැන්නුවේ ආණ්ඩුවෙන්. වරායෙන් කන්ටේනර් එළියට දැම්මෙ ආණ්ඩුවෙ ඇමතිවරු. මේ අපි නෙවෙයි. ආණ්ඩුවෙන් කන්ටේනර් ටික පන්නලා දැන් මෙතන හැක් හැක් ගානවා”
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.
