ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දැන් ආර්ථික ගැලවුම්කරුවකු වගේ. ඔහු මහබැංකු අධිපතිධුරයට පත්වූයේ සිය පාසල් සගයා මලික් සමරවික්‍රම නිසා. ඔහු ඇත්තටම මහත්මා ආර්ථික විශේෂඥයෙක්. නමුත් මූල්‍ය වෙළඳපොල පිළිබඳ ඔහුගේ දැනුම ඉතාම අවම බවයි මහබැංකු මූලාශ්‍ර අනාවරණය කරන්නේ. ඉතින් ඔහු බොහෝ විට තම නිලධාරීන් මත යැපුනු බව කියවෙනවා. තම ධුරකාලයේදී ඩොලර් බිලියන 12ක් වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ලබා ගැනීමට ඔහු රජය පෙළඹූ බවට දැන් පැහැදිලියි. එසේ කිරීමෙන් ශ්‍රී ලංකාවේ ණය සේවාවන්වල තිරසාරභාවය බිඳවැටුනා. රටේ බාහිර ණය ගැටළුවේ ආරම්භය මෙයයි. වසංගත තත්ත්වය ආරම්භයේ දී පටන් ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුර්වල තත්ත්වයක පැවති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලිපිය 04 නම් වාර්තාවේ දැක්වෙන්නේ එම නිසා තමයි.
කෙසේවෙතත්, ණය හා පොලී ගෙවීමට සහ කල් පිරෙන ණය පෙරළීම් ගෙවා දැමීමට අවශ්‍ය විදේශ විනිමය ගලා ඒම් රැකගැනීමට මහාචාර්ය ලක්ෂ්මන්, කබ්රාල් සහ ආටිගල වැන්නවුන් සමත් වූවා. එමෙන්ම, ප්‍රමාද වී හෝ ඉන්ධන, ගල් අඟුරු, ඖෂධ, ගෑස් හා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සහ ආනයන රැගත් කන්ටේනර නිදහස් කර ගැනීමට අවශ්‍ය විදේශ විනිමය සොයා ගැනීමටත් ඔවුන් සමත් වූවා.
2022 මාර්තු මස තුළ පමණක්, රජය විසින් ගෙවිය යුතු දළ වශයෙන් ඩොලර් මිලියන 7,100 ක මුළු ආපසු ගෙවීමේ ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1,166 ක් තරම් වූ විශාල ප්‍රමාණයක ස්වෛරී විදේශ විනිමය ණයක් ආපසු ගෙවා දැමීමට අප සමත් වූවා. කබ්රාල් සහ ආටිගලගේ අධීක්ෂණය යටතේ එය නිසි පරිදි සිදුවූවා.
2022 අප්‍රේල් වන විට, විදේශ විනිමය ණය සේවා පැවතියේ ඩොලර් මිලියන 244 ක ප්‍රමාණයක් පමණි, මැයි සහ ජූනි වන විට තවත් ඩොලර් මිලියන 789 කි; සමස්තය ඩොලර් මිලියන 1033 කි. අපනයන වලින් ලැබෙන සියයට 25ත් – නැතිනම් ඩොලර් මිලියන 750 ක පමණ මුදල – කල්පිරෙන සංවර්ධන බැඳුම්කර නැවත ගෙවීමෙන් ලැබෙන ඩොලර් මිලියන 363 ත් ඇතුළුව ඩොලර් මිලියන 1,113 ක මුදලක් මහබැංකුවට ලැබෙද්දී ඉහත ණය ආපසු ගෙවීම කළමනාකරණය කර ගැනීමට පහසු වී තිබුනා.
මීට අමතරව, ඉකුත් මැයි මස මුල හෝ අග කාලසීමාවේදී ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 01 ක මුදල් ණයක් සහ ඩොලර් බිලියන 1.5 ක වෙළඳ ණයක් ලැබීමට නියමිතව තිබුණා. මේ අතර, තවත් ඩොලර් බිලියන 01 ක ණයක් සහ ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) බේරුම්කරණ කල් දැමීම තුළින් අතිරේක ඩොලර් මිලියන 500 ක මුදලක් ඉන්දියාවෙන් ලැබීමට නියමිතව තිබුණා; ඒ වෙනුවෙන් පැවති සාකච්ඡා සාර්ථක අවධියක තිබුණා.
එහෙත්.. අලි සබ්‍රි, නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන සහ [තිරය පිටුපස] හර්ෂ ද සිල්වා නඩය විසින් පෙළහර පාන්නක් මෙන් ණය පැහැර හැරීමක් හැර වෙනත් විකල්පයක් නැති බව කියමින් නාටකයක් රඟ දක්වා රටක් ඇන්දවූවා. අප්‍රේල් 12 වන දින විට එය නිල වශයන් ම නිවේදනයත් කළා; 74 වසරක ණය ගෙවීමේ වටිනා රජයේ ප්‍රතිපත්තිය අමු අමුවේ පාවාදෙමින් ණය පැහැර හැරියා. අවම වශයෙන් ණය පැහැර හැරීමේ තීරණය ගෙන තිබෙන්නේ මුදල් මණ්ඩලයේ නිර්දේශ මත හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව වත් නොවෙයි. පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලැබී ද නැහැ. හැබැයි 2022 අයවැය අනුමත කරන විට සියලුම විදේශ විනිමය ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් සඳහා පාර්ලිමේන්තුව උනන්දුවෙන් අත නම් එසවූවා.
මොවුන්ගේ වගකීම් විරහිත හා අතිශය ආන්දෝලනාත්මක ණය පැහැර හැරීමේ වීරක්‍රියාව නිසා රට නැත්තටම නැතිවී ගියා. මෙහි ප්‍රතිවිපාක ලෙස, විදේශ විනිමය ණය නොගෙවූවත්, අලි සබ්‍රි සහ නන්දලාල් වීරසිංහ ම කියනා පරිදි අත්‍යාවශ්‍ය සැපයුම් කිසිවක් මිලදී ගැනීමට තවමත් විදේශ විනිමය නැහැ. භාණ්ඩ හිඟය සහ පෝලිම්වල නිමාවක් පෙනෙන්නට නැහැ, මන්ද, රට බංකොලොත් බව නිල වශයෙන්ම ප්‍රකාශ කර ඇති පසුබිමක කිසිඳු රටක් හෝ සැපයුම්කරුවකු ඉදිරි ගෙවීමකින් තොරව ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමට කැමති වන්නේ නැහැ. මෙම නිවේදනය මත, ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායන විසින් ශ්‍රී ලංකාව ස්වෛරී ණය පැහැර හැරීමේ “D” ශ්‍රේණිය දක්වා වැටී ඇති බව නිවේදනය කර තිබෙනවා.
පුද්ගලයකු බැංකුවකට ණයක් ගෙවීම පැහැර හැරි විට ඔහු හෝ ඇයගේ නම ණය තොරතුරු කාර්යාංශය වෙත ලබාගත් විට සිදුවන්නේ කුමක්ද යන්න සරලව සිතා බලන්න. එවන් අවස්ථාවක දී, එම පුද්ගලයාට එම බැංකුවෙන් හෝ වෙනත් බැංකුවකින්, හෝ වෙනත් ණය දෙන්නකු පවා ණයක් ලබා දීමට කැමති වන්නේ නැහැ. ණය පැහැර හැරීමේ රටවලටත් මේ සරල මූලධර්මය වලංගුයි. අලි සබ්‍රි සහ නන්දලාල් වීරසිංහ රටේ ස්වෛරී ණය පැහැර හැරීමට තීරණය කරන විට රටට සිදුවන්නේ කුමක්ද යන්න කල් තියාම දැනන් ඉන්න ඇති නේද?
කොහොම වෙතත්, කුමාරස්වාමි, අලි සබ්‍රි, වීරසිංහ, සිරිවර්ධන සහ හර්ෂ ද සිල්වා විසින් නිර්මාණය කරදුන් මේ දුර්වල පසුබිම තුළ මෙම අර්බුදයට වගකිව යුතු බව කියමින් මාධ්‍යය, රජයේ ඇමතිවරුන්, විපක්ෂයේ දේශපාලකයන් සහ අනෙකුත් පිරිස තවමත් තඩිබාන්නේ කබ්රාල්, පී.බී. ජයසුන්දර, ආටිගල සහ ලක්ෂ්මන්ටයි.
අමතක කරන්න එපා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ම කියනවා වගේ වසංගත තත්ත්වය ආරම්භයේදී නම් මෙම ආර්ථික අර්බුදය ආරම්භ වූයේ – ඒ ආරම්භයේදී රටේ ආර්ථික කටයුතු වල සුක්කානම මෙහෙයවූයේ හර්ෂ ද සිල්ව ලා සමඟ කුමාරස්වාමි, වීරසිංහ සහ සිරිවර්ධන! එම නිසා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ම කියනවා වගේ අර්බුදය නිර්මාණය වූයේ ඔවුන් බලයේ සිටි කාලසීමාවේදී නම් – මෙම අර්බුදයේ වගකීම ඔවුන් විසින් ම භාරගත යුතුයි. ඉන්පසුව, වීරසිංහ සහ සිරිවර්ධන සේවය කරනු ලැබුවේ ලක්ෂ්මන් සහ ආටිගල යටතේ නියෝජ්‍ය අධිපතිවරුන් විදියට. කබ්රාල් යටතේ පවා, සිරිවර්ධන සේවය කරනු ලැබුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස. වීරසිංහ ත් එම තනතුරේම සේවය කළත්, ඒ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස විශ්‍රාම ලැබ සිටි ඔහු සම්බන්ධ වන්නේ 2021 අප්‍රේල් අගභාගය වන විට.
තත්ත්වය එසේ නම්, වීරසිංහ සහ සිරිවර්ධන ට ඇඟ බේරාගෙන සිටිය හැකියි ද? වත්මන් අර්බුදය නිර්මාණය කළාට අන් කවරකුටත් වඩා වගකීම දැරිය යුතු මොවුන් දෙදෙනාට තවකෙකුට බෝලය පාස් කර අස පිසදා ගෙන සිටිය හැකියි ද?
එම නිසා, ණය පැහැර හැරීමේ හදිසි සහ අමනෝඥ තීරණය නිසා උද්ගතව ඇති සත්‍ය තත්ත්වය ජනතාව අවබෝධ කර ගැනීම බෙහෙවින් වැදගත්. ණය පැහැර හැරීමෙන් රට මෙවන් තත්ත්වයකට ඇද දැමූ පුද්ගලයන් ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ ඇත.
කුමාරස්වාමි, වීරසිංහ, සිරිවර්ධන ඇතුළු සැබෑ චූදිතයන් වත්මන් ආර්ථික කඩාවැටීමට වගකිව යුතු බව පෙනීයාම වළකාලන සහ ඔවුන් එම වරදින් මුදවා ගන්නා පිඹුරුපත් දැනටමත් සකස් වී අවසාන ද යන්න පවා පවතින තත්ත්වය යටතේ අප සිතා බැලිය යුතුයි.
රට ආපසු හැරවිය නොහැකි තරම් වූ මේ අගාධයට ඇද දැමූ අදූරදර්ශී පාර්ශවයන් කවුරුන්ද යන්න අප හඳුනාගත යුතුයි. ජනප්‍රිය මාධ්‍යවේදීන් සහ පුරවැසියන් මහජන පරිභෝජනය සඳහා වත්මන් බලධාරීන් විසින් කියනා සෑම දේම අන්ධ ලෙස විශ්වාස නොකර නිවැරදි ප්‍රශ්න ඇසීමට කාලය එළඹ ඇත්තේ එබැවිනි.