හෝර්ටන් තැන්නේ වසර 12කට වරක් සිදුවන ‘මහා නෙළු වසන්තය’

0
366

හෝර්ටන් තැන්නේ වසර 12කට වරක් සිදුවන ‘මහා නෙළු වසන්තය’ මේ දිනවල ආරම්භ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජීව විද්‍යාත්මකව ඉතා ඉහළ වැදගත්කමක් සහිත ජාතික උද්‍යානයක් වන්නේ හෝර්ටන් තැන්නයි.

ආසන්න දින කිහිපය තුළ මෙලෙස හෝර්ටන් තැන්නේ නෙළු මල් පිපීම ආරම්භ වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප හුවමාරු වන ආකාරය දැකගත හැකි විය.

මෙම නෙළු ශාකය යනු කුමක් ද? එහි මල් හටගැනීම වසර 12කට වරක් සිදුවන්නේ ඇයි? මේ ඒ සමබන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.වීඩියෝව නරඹන්න

වීඩියෝ ශීර්ෂ වැකිය,සෑම වසර 12කට ම වරක් හෝර්ටන් තැන්නේ පිපෙන නෙළු මල්

මොකක්ද මේ නෙළු ශාකය?

නෙළු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා බීබීසී සිංහල විසින් පෙරදේශීය විශ්වවිද්‍යාලයේ ශාක පර්යේෂකයෙකු වන භාතිය ගොපල්ලවගෙන් විමසීමක් සිදු කරන ලදී.

“මේ නෙළු කියලා හඳුන්වන්නේ Strobilanthes කියන ශාක විශේෂවලට. මේ ශාක ගණය අයත් වෙන්නේ Acanthaceae කියන ශාක පවුලට. Strobilanthes ශාකයේ ලෝකයේ ව්‍යාප්තිය, නිවර්තන කලාපීය ආසියානු රටවල්වල වගේ ම අග්නිදිග ආසියානු රටවල්වලත් දකින්න ලැබෙනවා,” ඔහු පැවසුවේ ය.

“ලංකාවේ දැනට Strobilanthes විශේෂ 35ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මෙයින් ශාක විශේෂ 30කට ආසන්න සංඛ්‍යාවක් ආවේණික විශේෂ විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. 2020 රතු දත්ත වර්ගීකරණවලට අනුව මේවායේ 30කට ආසන්න සංඛ්‍යාවක් තර්ජිත කාණ්ඩවලට තමයි අයත් වෙන්නේ,” ඔහු පවසයි.

පාරිසරික වැදගත්කම

මෙම නෙළු ශාකයේ පාරිසරික වැදගත්කම ද ඔහු විස්තර කළේ ය.

“පරිසර විද්‍යාත්මක වැදගත්කම ගත්තොත් මේක හමුවෙන්නේ උප කඳුකර, පහතරට තෙත් කලාපයේ වගේ ම වියළි කලාපයේත් යටි ස්ථරයේ ප්‍රධාන ශාකයක් විදිහට තමයි හම්බෙන්නේ.”

එමෙන් ම මෙම ශාකයේ මල් හටගන්නා කාලය ආහාර දාම සඳහා ද වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

“මේ ශාකවල මල් පිපෙන කාලයට මී මැස්සෝ, බඹරු වගේ රොන් ගන්න කෘමි විශේෂවලට විශ්ෂයෙන් වැදගත් වෙනවා. ඊට අමතරව මල් පිපිලා ගෙඩි හැදුනට පස්සේ වලි කුකුළෝ වගේ පක්ෂි විශේෂ මේ ශාකවල බීජ මත යැපෙනවා. මේ වගේ බීජ ආහාරයට අරගෙන මත්වෙලා වැටෙන පක්ෂීන් ආහාරයට ගන්නත් කඳුකර කොටියෝ වගේ සත්ව විශේෂවලටත් මේ ශාකය වැදගත් වෙනවා,” භාතිය පෙන්වා දුන්නේ ය.

“මේ Strobilanthes කියන ගණයට අයත් ශාක විශේෂවල මුල් මත වැඩෙන ශාක තියෙනවා.”

හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය

මේ වන විට හෝර්ටන් තැන්නේ මල් පිපීම ආරම්භ වී තිබෙන නෙළු ශාක සම්බන්ධයෙන් භාතිය පැහැදිලි කළේ ය.

හෝර්ටන් තැන්නේ මේ දවස්වල ශාක විශේෂ 5ක විතර මල් පිපිලා තියෙනවා. Strobilanthes pulcherrima ලා දම් පාටට හුරු මලක් පිපෙන ශාකය, Strobilanthes sexennis ශාකයේ මල නිල් පාටයි. Strobilanthes calycina කහ පාටට හුරු මලක් පිපිලා තියෙනවා. Strobilanthes viscosa ශාකයේ මල ලා දම් පාටයි.”

“නෙළු ශාකයේ මල් අවුරුදු 12කට සැරයක් පිපෙනවා කියන කතාව ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ ස්වභාවික විද්‍යාඥයෙකු වන තෝමස් ෆා සටහන් කරලා තියෙනවා 1800 ගණන්වලත් 1900 ගණන්වලත් අවුරුදු 12කට ආසන්න කාල ප්‍රාන්තරවලින් මල් පිපිලා තියෙනවා කියලා. මෑතකාලීන උදාහරණය ගත්තම 2013දී තමයි මේ වගේ විශාල ප්‍රමාණවලින් හෝර්ටන් තැන්නේ මල් පිපුණේ,” ඔහු පැවසුවේ ය.

“නෙළු ශාක හෝර්ටන් තැන්නට විතරක් ආවේනික ශාක නෙවෙයි. හෝර්ටන් තැන්නේ පිපෙන නෙළු ශාක මධ්‍යම කඳුකරයේ පිදුරුතලාගල, නකල්ස්වල පවා දකින්න හම්බෙනවා,” භාතිය පවසයි.

Nelu Flower
ඡායාරූප ශීර්ෂ වැකිය,’මේ වගේ ශාක පරිණාමිකව ම හැඩගැහිලා තියෙන්නේ එක ජීවන චක්‍රයකදී කාලයක් තිස්සේ තිබිලා මල් පිපිලා ගෙඩි හැදිලා ඉවර වෙලා මැරිලා යන්න’

වසර 12කට වරක් මල් පිපීම සිදු වන්නේ ඇයි?

මෙම ශාකයේ මල් පිපීම වසර 12කට වරක් සිදුවන්නේ ඇයි ද යන්න සහ ඒවායේ ඵල සහ ඵල හටගැනීමෙන් පසුව ශාකය් මිය යන්නේ ඇයිදැයි එහිදී බිබීසී සිංහල විසින් ශාක පර්යේෂක භාතිය ගොපල්ලවගෙන් විමසන ලදී.

“මේ නෙළු වගේ ශාක පඳුරු ශාක. හැම අවුරුද්දේ ම මේ ශාකවල මල් පිපිලා ගෙඩි හැදෙන්න ගත්තොත් විශාල ශක්තියක් වැය කරන්න වෙනවා. මේ නිසා මේ වගේ ශාක පරිණාමිකව ම හැඩගැහිලා තියෙන්නේ එක ජීවන චක්‍රයකදී කාලයක් තිස්සේ තිබිලා මල් පිපිලා ගෙඩි හැදිලා ඉවර වෙලා මැරිලා යන්න. ඒ නිසා තමයි මේ ශාක මල් පිපිලා ගෙඩි හැදිලා ඉවර වුණාට පස්සේ මැරිලා යන්නේ,” ඔහු පවසයි.

“මේ වැටෙන බීජ පොලොව යට තිබිලා හිතකර පරිසර තත්ත්ව යටතේ නැවත හටගන්නවා.”

‘මල් කැඩීම වරදක්’

හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය නැරඹීමට මේ වන විට බොහෝ දෙනෙකු හෝර්ටන් තැන්න වෙත යමින් සිටින අතර, එම ජාතික උද්‍යානයේදී අනුගමනය කළ යුතු නීතිරීති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ද සමාජ මාධ්‍ය සටහනක් යොදා තිබේ.

“නෙළු බලන්න යන අයගෙන් ඉල්ලන්න තියෙන, විශේෂ ම දෙයක් වෙන්නේ ඔයාලා යන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වෙන ජාතික උද්‍යානයකට.

පාක් එකේ පිළිපදින්න ඕනේ නීතිරීති සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කරලා භාෂා තුනෙන් ම බෝඩ් ගහලා තියෙනවා. ඒවා හොඳට කියවන්න,” භාතිය පැවසුවේ ය.

“විශේෂයෙන් ම මේ ශාක විශේෂවලට හානි කරන්න යන්න එපා. මේ ශාක විශේෂ බොහොමයක් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතෙන් ආරක්‍ෂිත ශාක. මල් කඩලා හෝ ශාකයට හානියක් කරලා අහු වුණොත් වනජීවී දෙපාර්තමේන්තුව මගින් නීතිමය ක්‍රියාමාර්ග වුණත් ගන්න හැකියාවක් තියෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

බීබීසී සිංහල