දවස් තුනට ප්‍රශ්න 245කට උත්තර දෙන්න තියෙනවා – නිමෝදි ජිනීවා එක්කන් යන්න ගිය හේතුව ඇමති වසන්ත කියයි

ලෝක වෙළඳ සංවිධානයේ සාකච්ඡාවක් සඳහා තම මහජන සම්බන්ධතා නිලධාරිනිය ජිනීවා සංචාරයකට එක්වීම පිළිබඳව විපක්ෂයේ ඇතැමුන් බාල මට්ටමින් ප්‍රශ්න කරන්නේ ඔවුන්ට එවැනි බැරෑරුම් සමුළු පිළිබඳව අවබෝධයක් නොමැති නිසා බවත් ආණ්ඩුව සාර්ථකව ජාත්‍යන්තර මට්ටමෙන් මේ ගමන යද්දී විපක්ෂයට ටිකක් අමාරු වී ඇති බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“ජිනීවාහි තියෙන, ලෝක වෙළඳ සංවිධානයේ අවුරුදු පහෙන් පහට පවත්වන ට්‍රේඩ් පොලිසි රිවීව් – වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචන සාකච්ඡාව තියෙනවා ලබන 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා දවස් 3ක්. ඒ 14 වෙනිදා ඉඳන් 17 වෙනිදා වෙනකල් දවස් තුන ඇතුළත තියෙන මේ වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡාවට වෙළඳ අමාත්‍යාංශය යටතේ තියෙන වාණිජ දෙපාර්තමේන්තුවත්, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව, රේගුව, ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන්නෙ වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡාවට. එහෙම නැතිව සංචාරයක් නෙවෙයි. ඒ සාකච්ඡාවට යන්න කලින්ම මේ වෙනකොට ලංකාව අනුගමනය කරපු වෙළඳ ප්‍රතිපත්ති මත ඇතිවෙච්ච ගැටලු පිළිබඳ මේ වෙනකොට එවලා තියෙනවා 245ක්. මේ ප්‍රශ්න 245ටම ඒ දවස් තුනේ උත්තර දෙන්න ඕනෙ මේ යන නිලධාරීන්. මේ දවස් තුනේ. ඒ විතරක් නෙවෙයි, ප්‍රශ්නවලට උත්තර දෙන ගමන් ලංකාවේ කන්ටෑක්ට් පොයින්ට් එකක් තියලා යන්න ඕනෙ සාකච්ඡාව යන අතරතුර – ටෙක්නිකල් ඩිස්කශන් මේවා, තාක්ෂණික සාකච්ඡා – අපි දෙන උත්තරයකට සෑහීමකට පත්වෙන්නෙ නැතුව ආපහු සාකච්ඡා කරලා ප්‍රශ්න අහනවා, ආපහු ලංකාවත් එක්ක කතා කරලා නැවත උත්තර දෙන්න ඕනෙ. එවැනි සාකච්ඡාවක් පිළිබඳව අවබෝධයක් නැතිව ඉතාම පහත් මට්ටමේ – ඉස්කෝලෙ නොගියා කියලා කියන්න යන්නෙ නෑ මං – බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පිළිබඳව මතුකරන කතාව විපක්ෂයේ සමහර සමාජ මාධ්‍යවල යවලා තියෙනවා, ඒ පිළිබඳව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක ගන්නවා. මොකද මේ කතාව ඇතුළෙ උත්සාහ කරනවා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව ඉතාම ලාබ, ඉතාම බාල තත්වයේ ඒවා, එහෙම ඒවා නෙවෙයි. මොකද රටක් හැටියට රට නියෝජනය කරමින් ජාත්‍යන්තරය ඇතුළෙ ඒ අවශ්‍ය කටයුතු ටික අපි කරනවා. ඒ නිසා ඒ කටයුත්ත කරගෙන ආණ්ඩුව ඒ ගමන යනකොට විපක්ෂයේ අයට ටිකක් අමාරු ඇති, ඒක එහෙම තමයි”

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

සබැඳි පුවත් –