වරුණි සහ ගයාන් කොඩිතුවක්කු – දීප්තිමත් සහෝදර උල්කා දෙකක කතාව ….

0
150

මේක මරණය ගැන කතාවක් නෙවෙයි‍, ජීවිතය ගැන කතාවක්‍. නිරෝගී ව මෙලොවට උපත ලබන අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි ගැන කතාවක්. එයාල ජීවත් වෙන්නෙ සීතල කඳුකරේ කඳු ගැටයක් මුදුනෙ තිබිච්ච ලස්සන ගෙදරක. අනෙක් හැම පොඩි දරුවෙක්ම වගේ ඒ දෙන්නත් ඉස්කෝල බෑග් පිටේ දාගෙන ළපටි පාදවලට බර දීල පයින් ඉස්කෝලෙට ගියා. ඔට්ටු සෙල්ලම් කළා. පාර දිගට නතර වෙලා ලොකු කහපාට සූරියකාන්ත මල් කැඩුවා. ටිකක් ලොකු වෙද්දි ඒ හැමදේම වෙනස් වුණා. කිසියම් රෝගයක් එයාලගෙ ශරීරය වෙලා ගත්තා. දෙන්නටම ඇවිද ගන්න බැරි වුණා. දෙමව්පියන් කරන්න පුලුවන් හැම ප්‍රතිකාරයම කළා. හැම තැනම දිව්වා. ලෝකෙ වේගෙන් දිව්වට මේවා වුණේ හෙමින් හෙමින්. එයාල තරුණ වියට එළඹෙන්නෙ රෝද පුටුවලින්. ඔවුන්ට සාමාන්‍ය මනුස්සයෙකුට හිමි ජීවිතය අහිමි වෙන්න නියමිතව තිබුණා. ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුණා. ඒත් වෙනස් නොවුණු එක ම එක අසාමාන්‍ය දෙයක් තිබුණා. ඒ තමයි නොසිඳුණු ධෛර්යය. ඒ දෙමව්පියන්ගෙ අසීමිත ආදරය සහ ධෛර්යය දරුවො දෙන්නටත් ලැබුණා.

“මරු කවියෙක් ඉන්නවා.” මට ගයාන් ඉන්දුල කොඩිතුවක්කු ගැන මුලින්ම කියන්නෙ රුවන් බන්දුජීව. අපි ගොඩ දෙනෙකුට ගයාන්ව‍, නැත්තං මේ කතාවෙ අයියව ශාරීරිකව හම්බ වෙන්නෙ හරියට ම මීට අවුරුදු දහයකට කලින් ඔක්තෝබර් 17 වැනිදාවක මහවැලි කේන්ද්‍රයෙදි ඔහුගෙ පළවෙනි කවි පොත -‘විරාමයකට පසුව හමුවෙමු’ එළි දක්වන දවසෙ. එතකොට මේ කතාවෙ නංගි‍, වරුණිවත් හම්බ වෙනවා. අයියා තාත්තගෙ ව්‍යාපාරවලට උදව් කරන ගමන් කවියෙක් වෙලා. නංගි චිත්‍ර ශිල්පිනියක් වෙලා. එතැන ඉඳල අයියයි නංගියි ලියන කියන හුඟක් අයගෙ හිත මිතුරු සම්පත්තිය ලබනවා. ගයාන් තව කවි ලියනවා. වරුණි දිගට ම චිත්‍ර ඇඳලා චිත්‍ර ප්‍රදර්ශනත් කරනවා.

මේ හැමදේම අතරෙ‍, රෝගයේ සංකූලතා එක්ක එයාල කරන සෞඛ්‍ය අරගලය අනවරතව කෙරෙනවා. 2019 දෙසැම්බර් 14 වැනි දා ගයාන් ඉන්දුල කියන ධෛර්යවන්ත ආදරණීය කවියා ඒ අරගලය නිමා කරනවා. ඊට පහුවදා අපි බොහෝ දෙනෙකුගෙ වේදනා සුසුම් සහ නිල්පාට සීත තවලන්තැන්න කොත්මලා කඳු අතරෙ ගයාන් අවසන් ගමන් යනවා. ගියාට අපි කාටවත් ගයාන් අමතක වුණේ නෑ. හැමදාම හැම හමුවකදි ම මතක් කරනවා. කවි කියවනවා. වරුණි‍, අයියා එක්ක තද බැඳීමකින් හිටපු වරුණි මේ බිහිසුණු හුදෙකලාව කොහොම දරා ගනියිද? කාලයක් යනකම් අපි වරුණි එක්ක දිගටම කතා කරනවා. වරුණි දිගටම චිත්‍ර අඳිනවා. අන්තිමේදි ඊයේ‍, ගයාන් ගිහින් අවුරුදු හයකට පස්සෙ වරුණිත් ගිහින් කියන ආරංචිය එනවා.

වරුණි ගිය පණිවුඩය කියන්න කතා කරන යාළුවන්ට අපහසුවෙන් කෙටියෙන් උත්තර දිදී මම ගයාන් ගැනයි වරුණි ගැනයි හිතනවා. එයාල එක විදිහක ෆ්‍රීඩා කාලෝ ලා. එයාලට සාමාන්‍ය මිනිස්සු වගේ ඇවිදින්න බැරි වුණාට අසාමාන්‍ය වේගයකින් මේ සෞර ග්‍රහ මණ්ඩලය හරහා අධික දීප්තියකින් දැල්වෙමින් ගමන් කළා. උල්කාපාත වෙලා නිවුණා. ඒ දීප්තිය මේ විශ්වයේ සදහට ම තියෙයි. ඒ කවි‍, ඒ චිත්‍ර – තව බොහෝ කාලයක් මිනිස්සු කියවයි‍, බලයි. ඒ අසාමාන්‍ය ආදරයේත් ධෛර්යයේත් දිදුලන කතාන්දරය අපි හුඟ දෙනෙකුගෙ ලේසි ජීවිතවල‍, අමාරු තැන්වලදි පාර කියයි.

වරුණි ගෙ සමුගැනීම ගැන ලියනගේ අමරකීර්ති නම් අපූරු ලේඛකයා තැබූ සටහනක අමතක නොවන වැකියක් තිබුණා.

‘රෝද පුටුවක සිටි ඇය‍, නටන ගැහැනුන් ඇන්දා.’

ආදරණීය වරුණි‍, ඔබ අපට‍, මෙලොවට දුන් ඒ වර්ණවත් දීප්තියට ස්තුතියි. ❤️

(පින්තූරවල තියෙන්නෙ ගයාන්ගෙ පොත්‍, මහාචාර්ය අමරකීර්තිගෙ නිවසේ තියෙන වරුණි ඇඳපු චිත්‍රයක් සහ ඔවුන් ගැන අපේ මතක කිහිපයක්)

~ මාලතී කල්පනා ඇම්බ්‍රෝස්