දිනන්න බැරි ඇයි?ලෝක කුසලානය දෙස හැරී බලමු.

0
133

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 14, කොළඹ LNW:

ආසියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව, ක්‍රිකට් පවතින සෙසු මහද්වීපවලින් ඉගෙනගත යුතු කාරණා කවරේද යන්න මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලිය හරහා කතා කරන්නට මාතෘකා මතුවෙමින් ඇත.මෙය චමරි අතපත්තු හොඳින් කියවාගෙන තිබෙයි.ඇය ඉන්දියාවට එරෙහිව තරගය පරාජය වූ වේලාවේ දී උඩ පන්දු අත හැරීම,ඒ නිසා ලොකු ලකුණු පූවරුවක් ඉන්දියාවට ලැබීම මෙන්ම ඉන්දියාව ලබා ගන්නා ලකුණු ප්‍රමාණය කුමක් වුව එය හඹා යාමේ හැකියාව ද තම කණ්ඩායම සතු විය යුතු බව ප්‍රකාශ කළේය.ජයග්‍රහණයට යන පාරට කවුරුන් ගල් පෙරළුවද,නැතිනම් ගල පෙරළුණ ද ඒ ගමන නොසැලී යා යුතු බව චමරි අවබෝධ කරගෙන සිටීම අගනේය.

මේ තරගාවලියේදී ආසියානු කණ්ඩායම්වලින් දකින ලොකුම අර්බූදය වී ඇත්තේ ද චමරි පවසන කාරණයය.තමන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය ප්‍රතිවාදීන්ගෙන් රැක ගැනීමේ අඩුව මෙන්ම ප්‍රතිවාදීන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය තමන් ලබා ගන්නේ කෙසේද කියා නිසි සැළසුමක් නොතිබීමද මේ අඩු අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන්නේය.

ශ්‍රී ලංකාව ඉන්දියාවට ලකුණු ලබාදීම එම ලකුණු හඹා යාමට හැකියාවක් සැළසුමක් නිසි පරිදි ක්‍රියාත්මක කරන්නට නොහැකි වීම යන කාරණා දෙකම ඔස්ට්‍රේලියාවට මෙන් ඉන්දියාවට නැති බව කියා පෑවේය.ඉන්දියාව ලකුණු 330 ක ඉණිමක් ගොඩ නැඟීමෙන් පසුව මුල සිටම එම ලකුණු ප්‍රමාණය ප්‍රතිවාදීන්ට පීඩනයක් ලැබෙන ආකාරයට හසුරුවා,එම ලකුණු ප්‍රමාණය රැක ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බව ඉන්දියාවට කියා දුන්නේ ඔස්ට්‍රේලියාවය.

විශේෂයෙන් ඔස්ට්‍රේලියානු නායිකා අයේෂා හීලි ලකුණු 330 ක් යනු තම කණ්ඩායමට ඉතා සුළු ඉලක්කයක් බව පෙන්වමින් දියත් කළ ඉණිම ඉන්දියාව සම්පූර්ණයෙන් සුනු විසුණු කර දැම්මේය.මීටත් පෙර අප්‍රිකාවෙන් පැමිණ සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාවට ඒ බව කියා දුන්නේය.ඔවුන් බංගලාදේශයටත් ඒ බව කියා දී අවසන්ය.බංගලාදේශය එරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය වෙනස් කළ ඉණිමක් ක්‍රීඩා කළ ෂොර්නා අක්තාර් අවසාන මොහොතේදී අත් හළ උඩ පන්දුව නිසා දකුණු අප්‍රිකාව ජය ගත්තා ද කියා කියන්නට නොහැකිය.වැදගත් වන්නේ අක්තාර් විසින් නිර්මාණය කළ අභියෝගය ඉදිරියේ කඩුලු 5 ක් දැවී ලකුණු 78 ක් ලෙස පැවති දකුණු අප්‍රිකාවේ ඉණිම ජය ගැනීමට හැකි බවට ඔවුන් තුළ තිබූ විශ්වාසයය.නොසැලුණු බවින් පිරුණු ඔවුන්ගේ ශරීර ප්‍රකාශනය, ප්‍රතිවාදීන්ට බලාපොරොත්තු රහිත පීඩනයක් එල්ල කළ එකක් විය.

දකුණු අප්‍රිකාව මේ තරගාවලියේ පළමු තරගයේදී එංගලන්තයට එරෙහිව ලද පරාජය දරුණු එකක් විය.එහෙත් එම පරාජයට වඩා විශාල ඉඩක් ඔවුන් ලබා ගත් ජයග්‍රහණයන්වලින් සෙසු කණ්ඩායම්වලට උගනින්නට හැකිය.චමරි අතපත්තු සිය කණ්ඩායමෙන් අපේක්ෂා කරන්නේ එයය.එයට වෘත්තීමයභාවය යැයි ද කියන්නට හැකිය.අවසානයේ වෘත්තිමයභාවය යනු පිත්තෙන් පන්දුවට පහරදීම සහ පන්දුවෙන් කඩුලු ලබා ගැනීම ලෙස අයෙකුගේ පෞද්ගලික හැකියාවන්වලට සීමා නොවුණු පුළුල් ක්‍රියාවලියක් ලෙස ගත හැකිය.

එහෙත් එක් අවස්ථාවක් ලැබුණු පසු පෞද්ගලිකව තරගයක් කණ්ඩායම වෙනුවෙන් රැඟෙන යා හැකිය යන්න එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී නැට් ස්කිවර් බ්‍රන්ට් පෙන්නුම් කළාය.ඒ ඇය සතුව ඉහත දැක් වූ පුළුල් වෘත්තිමය ගුණාංග තිබුණ බැවින්ය.ශ්‍රී ලංකාවේ හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම හොඳ සබඳතාවයක් ඇති කරන්නට පදනම දැමුවද එය විශාල දුරක් කරා ගෙන යන්නට හැකි නොවීය.අන් පිතිකාරිණියනට ඒ තරම්වත් දෙයක් කළ නොහැකි විය.ශ්‍රී ලංකාව පරාජය වූයේ ඒ පසුබිම තුළ දිනන්නට හැකිව තිබුණ තරගයක්ය.

අද ශ්‍රී ලංකාව මේ තරගාවලිය තුළ අවසන් කණ්ඩායම් හතරට එනවාද නැද්ද යන්න ගැන විශාල තීන්දුවක් පැහැදිළි වන දවසක්ය.ජයග්‍රහණ එකක් පමණක් තිබෙන නවසීලන්තය සහ බංගලාදේශය ශ්‍රී ලංකාවට ඉහළින් සිටින අතර ශ්‍රී ලංකාව මේ තරගාවලියේ පළමු ජය අද ලබා නොගතහොත් නවසීලන්තයේ ජයග්‍රහණ ප්‍රමාණය දෙකක් ලෙස ඉහළට යන්නේය.පසු බෑ සිටියද ඔවුන් මේ තරගාවලියට එන්නේ දිනා ගත් ලෝක කුසලාවය තව දුරටත් ආරක්ෂා කර ගැනීමේ උවමනාවෙන්ය.එ් නිසා ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව සිය උපරිමය කරන්නට වග බලා ගන්නා බව සහතිකය.

එහෙත් ශ්‍රී ලංකාවට නවසීලන්තය පරාජය කරන්නට හැකිය.එය ඔප්පු කර ඇති ඇත්තකි.වෘත්තිමය නිපුනතාවයන්ගෙන් නවසීලන්තය පොහොසත් වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම සතු දක්ෂතා එක මිටට එකතු වූ දිනයේදී ඔවුන්ට ලෝකයේ ඕනෑම කණ්ඩායමක් මෙල්ල කිරීමේ හැනියාව ඇති බව සහතිකය.ඒ වෘත්තියභාවය එදාට අදාළ එසේත් නැතිනම් තාවකාලික එකකි.මේ තාවකාලිකව ඇති වන විශ්වාසය සහ එකුවන හැකියාවන් කළමණාකරණය කිරීමෙන් වෘත්තීමයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් ඉනික්බිති පුංචි ශ්‍රී ලංකාවේ කෙල්ලන්ද කාටවත් මෙල්ල කළ නොහැකි වනු ඇත.මේ වන විටත් මේ යෝධ වැඩ ගැන බරපතල විදිහට සෙසු කණ්ඩායම් සිතන බව සමතිකය.කිසිවෙකුත් චමරිගේ බල ඇණීය පහසුවට ගෙන තරග වඳින්නට නොයන්නේය.මෙම තරගාවලියේ මේ දක්වා වූවේද ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට පහසු කර දීමය.

අද දක්ෂතාවය ක්‍රියා පදයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.අපහසුම කොටස් ඉටු කොට තරගය උඩ පන්දු ලෙස බිම දැමීමට ඉඩ නොතබා වෘත්තිමය නිපුනතාවයකින් තරග කරන්නට ශක්තිය පතමු.ඒ වෙනුවෙන් ලංකාවම රොඳ බඳින්නටනම් ශ්‍රී ලංකාව වෙනුවෙන් නොමිලේ වෙන් කර ඇති අසුණක ඉඳගෙන සිටින ප්‍රේක්ෂකයෙකු වන්න ඔබත් පැමිණිය යුතුය.

අද නවසීලන්තයට අත් කර දෙන පරාජයකින් මේ ගමන අරඹමු!