ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළෙඳ බද්ද වැඩි කිරීමට අනුමැතිය!

0
269

කොළඹ LNW: ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) වැඩි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර තිබේ.

ඒ අනුව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගය නිකුත් කර ඇත.

2025 යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා උක්ත තීරණයට පැමිණි බවයි කෝප් කමිටුව සඳහන් කර ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 21වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ එම තීරණයට පැමිණ තිබේ.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමට නියමිතව තිබුණද, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා එය අඛණ්ඩව භාවිතා කර කිරීමටද රජය තීරණය කර ඇත.

ඒ අනුව, 2025 අගෝස්තු 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් (රු. 40 සිට රු. 50 දක්වා) සහ ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් (රු. 60 සිට රු. 80 දක්වා) වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය තිරසාර, සරල, විනිවිද භාවයෙන් යුත් සහ වෙළඳුන්ට නිවැරදී පුරෝකථනයක් කළ හැකි විය යුතු බවට එහිදී නිලධාරීන් පෙන්වා දී ඇති අතර ඒ අනුව පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වෙළඳ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය විසින් පවතින නීති ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සමඟ ඒකාබද්ධ කරන ලෙස කාරක සභාව නිර්දේශ කර ඇත.

එහිදී කාරක සභාව විසින් යෝජිත තීරුබදු ක්‍රමවල වෙනස්කම්වල බලපෑම පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් සිදු කරන ලෙසත් එයට තීරු හතරේ බදු ක්‍රමයකට (Four- band import duty) මාරුවීම , සහ 2027 සිට 2030 දක්වා පැරා තීරුබදු (SCL සහ CESS) ක්‍රමානුකූලව ඉවත් කිරීම පිලිබඳ තොරතුරු ඇතුළත් කරමින් 2026 මාර්තු මස අවසන් වන විට යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශවලට නියෝග කර ඇත.

කන්න අනුව පනවන තීරුබදු මත රඳා පැවතීම අඩු කිරීමට ලොකු ළූණු වගාව සඳහා ඉහළ අස්වැන්නක් ලබා දෙන නව තාක්ෂණික භාවිතයන් පුළුල් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ට ව්‍යාපෘතියක් සකස් කරන ලෙසත්, එම ව්‍යාපෘතිය වසර පහක් තුල ලංකාවේ මුළු වගාබිම් ප්‍රමාණය සඳහාම භාවිතාකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කර ඇති අතර මෙය පසු අස්වනු පාඩු අවම කිරීම සහ ගොවීන් සඳහා මිල ස්ථාවර කිරීම සඳහා “ප්‍රභාෂ්වර” වැනි ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පාලනය කරන ලද ගබඩා, ආපසු මිලදී ගැනීමේ ගිවිසුම් (buy-back agreements) සහ අනාගත කොන්ත්‍රාත්තු (futures contracts) ඇතුළත් පුළුල් උපාය මාර්ගික කොටසක් විය යුතු බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දී තිබේ.