ආ බැවින් යායුතුය අප දවසක ….

0
156

කොදෙව්වක් තිබේ සිටියහැකි
සිතූ සේ පැතූ සේ සාමෙන්
කුඩා නිවසක් තිබේ එහි
දැල්වූ පහනක්ද වේ මා නාමෙන්

මිතුරනි මෙතෙක් අප විසූවෙමු
එකිනෙකා කෙරේ මහත්වූ ප්‍රේමෙන්
ආ බැවින් යායුතුය අප දවසක
මේ කවිය එදා වෙනුවෙන් !

නිහඬ මුත් ඇතැම් දිනවල හැඬූ කඳුලෙන්ය කඳුවැටි
සනසවන්නට ගිය මාවත් දුෂ්කරය ඒ ගියෙත් වැටි වැටි
ඇල්ලක් කන්දකින් පනිනවා බලාගෙනත් සිනාසුනුහැටි
සන්තෝසය සංවේගය අතර ගමනය සංසාරයක හැටි

තුරු ගොමුවක වන ගුල්මෙක
ඇල්මකින් අල්ලාගත් තැන්වල
හාත්පස කිසිත් නැති
හිස්කමෙනුත් හිස් මුඩු බිම්වල
සොහොනක, බියක් දනවන ලැහැබක
කාන්තාරමය දිනවල
දැනුනු හැඟීමම එකසේ දැනේ දැන් දැන්
ජනාකීර්ණ වීදිවල ශාලාවල

සුවිසාල ලෝකයක අප පිරවූ
ශරීර අවකාශය
තවෙකෙකුට දිය යුතුය
මෙම බිම සමබර විය යුතුය
වාලුකා බිම්වල තැබූ පාසටහන්
හමන සුලඟකින් සෙමින්
මැකී යා යුතුය
එසේ තවත් පා සලකුණකට
එම බිම සූදානම් කළයුතුය
එබැවින් පරිසරයට පිළිසකරවීමට
කාලයක් ලබාදිය යුතුය

නැගෙන බිඳෙන රැලි සහිත ගංගා වැව්වලටද
නොනැවතී පාවෙන වලාකුළු සහිත අහසටද
සංකාවක් නොදී සවන් සැනස්සූ විහඟ ගීවලටද
තාරකා පිරුනු රැයක් සැදූ මුලුමහත් විශ්වයටද

ප්‍රේමයෙන් පිරුනු දින වලට රාත්‍රීන් වලට
උනුසුම් හාදුවලට වැරෙන් තුරුලුකරගැනුම් වලට
මා කෙරේ නෙත් කඳුළු නැගූ ඇස් වලට
බර සුසුම් හෙලූ පපුවලට ලයාදර පෙම්වත් හිත් වලට

ස්තුති වන්ත විය යුතුය මා අවසන
ජීවිතය මෙතරම් පහසු කෙරුවාට !

කොදෙව්වක් තිබේ සිටියහැකි
සිතූ සේ පැතූ සේ සාමෙන්
කුඩා නිවසක් තිබේ එහි
දැල්වූ පහනක්ද වේ මා නාමෙන්

මිතුරනි මෙතෙක් අප විසූවෙමු
එකිනෙකා කෙරේ මහත්වූ ප්‍රේමෙන්
ආ බැවින් යායුතුය අප දවසක
මේ කවිය එදා වෙනුවෙන් !

~ MKCP ශෂීන්